ICC රවටා සිදු කළ මුදල් වංචාවක් පිළිබඳ තොරතුරු හෙලි වෙයි!

470

සාමාන්‍ය මිනිසුන් නොව අවශ්‍ය තරමට ශ්‍රම බලකායක් සිටින, අවශ්‍ය තරමේ තාක්ෂණික පහසුකම්වලින් හෙබි සංවිධාන පවා අන්තර්ජාලය හරහා වංචාවට ලක් විය හැකි බව ICC විසින් සනාථ කර තිබෙනවා.

Times of India පුවත්පත විසින් සිදු කරන හෙළිදරව්වක් අනුව වාර්තා වන්නේ වංචාකරුවන් පිරිසක් විසින් අන්තර්ජාලය හරහා ICC වෙතින් ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචා කර ඇති බවයි.

මෙම මුදල් වංචාව වරක් දෙවරක් නොව සිව්වරක් ම සිදු කර ඇති අතර, ඊයේ (19) වන තෙක් ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඩුබායි කාර්යාලයේ නිලධාරීන්ට මේ පිළිබඳ කිසිදු හෝ හෝඩුවාවක් ලැබී නැහැ.

ICC විසින් මේ පිළිබඳව කිසිදු තොරතුරක් මේ වන තෙක් ලබා දී නැතත්, ඇමරිකා එක්සත් ජනපදය මුල්කර ගත් කිසියම් පාර්ශවයකට ICC විසින් මුදල් ගෙවා ඇති බව Times of India පුවත්පත තහවුරු කරනවා. ඔවුන් පවසන්නේ ICCයට සමාන විද්‍යුත් තැපැල් හැදිනුමකින් (Email ID) මෙම වංචාවට මුල පුරා ඇති බවයි.

ඩොලර් මිලියන 2.5ක් යනු අති විශාල මුදලක් වන අතර, ICCයේ පූර්ණ සාමාජිකත්වය ලබා නොමැති රටවල් (Associated Nations) වෙත වාර්ෂිකව වෙන් කෙරෙන මුදලටත් (ඔවුන්ට වාර්ෂිකව ඩොලර් 100,000 – 500,000 මුදලක් පමණක් ලැබෙන බව එහි නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා) වඩා වැඩි මුදලක් ICC වෙතින් වංචා කිරීම පිළිබඳව ICC නිලධාරීන් පුදුමයට පත් වී ඇති බවත් දැන ගැනීමට ලැබෙනවා.

“එවැනි දෙයක් ICCය තුල සිදු වුනා කියලා හිතාගන්නවත් බැහැ,” ICC හී යුරෝපා සාමාජික රටක නිලධාරියෙක් මෙම සිදුවීම පිළිබඳ සිය පුදුමය එසේ පළ කර තිබුණා.

මෙසේ සිව්වතාවක් මෙම වංචාව සිදු වන තෙක් ම ඒ පිළිබඳ හෝඩුවාවක් හෝ නොලැබීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් ICC විසින් මෙම සිදුවීම පිළිබඳව අභ්‍යන්තර සහ භාහිර පරීක්ෂණ කටයුතු සිදු කරන බව ද තව දුරටත් දැන ගන්නට ලැබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා ලෝකයේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<