පන්දුවාර හතරකින් ලොකු මුදලක් ඉපයීමට හැකි වීම ටෙස්ට් කඩා වැටීමේ හේතුවයි – Wasim Akram

6137

පාකිස්තාන වේගපන්දු යවන්නන් විස්සයි විස්ස තරගවලට ලබා දෙන අවධානයෙන් බිඳක් පළමු පෙළ තරග සඳහා ද ලබා දිය යුතු බව හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නෙකු වන Wasim Akram විසින් පවසනවා.

මෑත කාලයේ පාකිස්තානයේ පැවැත්වුණු ක්‍රිකට් තරගාවලි බොහෝමයක තණතීරූ බොහෝ විට වේගපන්දු යවන්නන්ට ඒ තරම් සුබදායී නොවූ ඒවා වුනත්, විදෙස් ක්‍රීඩකයින් ලෙස පාකිස්තානයට පැමිණි James Anderson, Ollie Robinson සහ Tim Southee වැනි වේගපන්දු යවන්නන් විසින් එම තණතීරූවල පාකිස්තාන පිතිකරුවන් ව අසරණ කිරීමට සමත් වුනා.

නමුත් පාකිස්තානය පැත්තෙන් ගත් කල ඔවුන්ගේ ප්‍රධාන වේගපන්දු යවන්නා වන Shaheen Afridi ආබාධයක් නිසා තරග බොහෝමයකට සහභාගී නොවූවත්, අනෙක් ප්‍රධාන වේගපන්දු යවන්නන් වන Naseem Shah, Haris Rauf සහ Mohommad Wasim jr යන අය ද සිය රටේ ක්‍රීඩාංගණවල දී ම තරමක් අසාර්ථක වුනා.

සමහර අවස්ථාවල දී ඔවුන් කඩුලු ලබා ගත්තා වුනත්, නිසි එල්ලයක් සහිතව නිවැරදි පාලනයෙන් යුතු ව පන්දු නොයැවූ බව බොහෝ දෙනාගේ අදහස වුනා.

හිටපු සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා Wasim Akram මේ පිළිබඳව සිය අදහස් දක්වමින් සඳහන් කළේ, විස්සයි විස්ස තරග රටාවට ක්‍රීඩකයින්ගේ ඇති දැඩි අවධානය මෙයට හේතුව බවයි.

මීට වසර ගණනකට ප්‍රථම Waqar – Wasim යුගලය විසින් මෙම ක්‍රීඩාංගණවල දී ම ප්‍රතිවාදී පිතිකරුවන් සිය පන්දුවල දෝලනය හමුවේ අන්ත අසරණ කර දැමීමට සමත් වූ අතර, අතීතයේ එවැනි දස්කම් පෑ Wasim අද සඳහන් කරන්නේ වත්මන් වේගපන්දු යවන්නන් විස්සයි විස්ස තරගවලට මෙන්ම පාකිස්තානයේ පළමු පෙළ තරග වෙත ද සිය අවධානය යොමු කළ යුතු බවයි.

පන්දුවාර හතරක් පමණක් යැවීමෙන් මුදල් ඉපයීමට හැකි බව ක්‍රීඩකයින් සිතන්නට පටන් ගතහොත් එය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බව Wasim විසින් අවධාරණය කරනවා.

ඔබට පන්දුවාර හතරක් යැවීමෙන් පමණක් විශාල මුදලක් උපයන්න පුළුවන් නම් ඒක ඉතාමත් පහසුවෙන් ගන්න පුළුවන් තීරණයක්. Naseem Shah, Haris Rauf සහ Mohommad Wasim jr යන අය පළමු පෙළ තරග ක්‍රීඩා කළ යුතුයි. PSL වලට අමතරව ඔවුන් වසරකට ලීග් එකක් හෝ දෙකක් ක්‍රීඩා කළ යුතුයි. නමුත් ඒ අතරේ ම ඔවුන් ටෙස්ට් තරගත් ක්‍රීඩා කළ යුතුයි. අපිට කාලය තිබුණා නම් අපි සිව්දින තරග පවා ක්‍රීඩා කරනවා.”

එමෙන්ම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විදෙස් පුහුණුකරුවකු පත් කර ගැනීමට දරන උත්සාහය පිළිබඳව ද Wasim විසින් මෙසේ අදහස් දක්වා තිබුණා.

“ඔබ මගෙන් ඇහුවා නම්, විදෙස් පුහුණුකරුවන් නො පැමිණෙන බව මම කියනවා. හැමෝම බයයි පාලක මණ්ඩලය වෙනස් වෙද්දී කොන්ත්‍රාත්තුව නැති වේවි කියලා. ඔබ විදෙස් පුහුණුකරුවෙක් ගේ සේවය ලබා ගන්නේ නැත්නම්, දේශීය පුහුණුකරුවෙකුගේ සහය ලබා ගන්න.”

“පරාද වීමට ඇති බිය” මෑතකාලීනව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන් වලට ප්‍රධානතම හේතුව බවත් ඔහු සඳහන් කළා.

මේකට හේතුව පරදින්න තියෙන බයයි. අපිට දිනන්න වගේම පරදින්නත් වෙනවා. නමුත් අපි බිය නො විය යුතුයි. මම කියන්නේ නැහැ කොළ පාට තණතීරූ සූදානම් කරන්න ම කියලා, නමුත් පොඩි ඉලිප්පීමක් තියෙන තණතීරූ සූදානම් කරන්න. දවස් දෙකක් පිති කරණයට සුදුසු වෙලා පසුව පොඩ්ඩක් හැරෙන්න (තණතීරුව වෙනස් වීම) ඕන.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<