බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් වලට මොකද වුනේ; විශේෂ කමිටුවක් හේතු දක්වයි!

3239

බටහිර ඉන්දීය කොදෙව් හී හොඳම ක්‍රීඩකයින් ඉදිරියටත් ජාත්‍යන්තර විස්සයි විස්ස ලීගවලට මුල් තැන දෙනවා නම් බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් ආයතනයේ (CWI)  ඉදිරි පැවැත්ම අවදානමක ඇති බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම සිදු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අසමත් වීමට හේතු සෙවීමට CWI විසින් පත් කළ සමාලෝචන කමිටුව විසිනුයි.

විස්සයි විස්ස ලෝක ශූරතාව දෙවතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වූ කණ්ඩායමක් ද වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයෙන් ම ඉවත් වීමට සිදු වූ අතර, එම පරාජයෙන් පසුව කණ්ඩායමට නායකත්වය සැපයූ Nicholas Pooran ද සිය නායකත්වයට සමුදුන්නා.

එම තරගාවලියෙන් පසුව ඒ පිළිබඳව විමර්ශනය කිරීමේ අරමුණෙන් Patrick Thompson jr (සභාපති), Brain Lara සහ ශ්‍රී ලංකාවේ හිටපු පුහුණුකරු මෙන්ම වත්මන් Derbyshire ප්‍රාන්ත පුහුණුකරු වන Mickey Arthurගේ සහභාගීත්වයෙන් යුත් සමාලෝචන කමිටුවක් පත් කෙරුණා.

එම කමිටුවේ කාර්ය භාර්යය ලෙස සඳහන් වී තිබුණේ දුර්වල ක්‍රීඩා විලාශයට හේතු වුන සාධක හඳුනා ගැනීම, විමර්ශනය කිරීම සහ විශ්ලේෂණය කිරීමයි.

එම කමිටුවේ සොයා ගැනීම් ඊයේ (19) ප්‍රසිද්ධියට පත් කළ අතර, එහි සඳහන් වුනේ “විස්සයි විස්ස ලෝක කුසලානයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඉවත් වීමට සිදුවීම මාරාන්තික ප්‍රතිවිපාක වලින් තොර වූවත්, එයා ව්‍යසනයකට සමාන කළ හැකිය,” යන්නයි.

Pooranගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ඕස්ට්‍රේලියාවේ ඉතා අවම අත්දැකීම් ඇති බවත්, ඔවුන් ලෝක කුසලානය වෙනුවෙන් “අඩු සූදානමකින්” පසු වූ බවත් එම වාර්තාවේ සඳහන් වී ඇති නමුත් CPL තරගාවලියේ අවසානයත් සමඟම කණ්ඩායමට ඕස්ට්‍රේලියාවට යාමට සිදුවීම සහ ලෝක කුසලානයේ මූලික වටයේ තරග පැවති ටැන්සානියාවේ හෝබාට් ප්‍රදේශය ඔවුන්ට නුහුරු නුපුරුදු සීතල සහ තෙත් කාලගුණයක් සහිත එකක් වූ බවත් එම වාර්තාවේ සඳහන් කිරීමටත් ඔවුන් අමතක කර තිබුණේ නැහැ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ අයුරින් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන්නේ පිට පිටම දෙවැනි වතාවට වන අතර මීට පෙර 2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණු ලෝක කුසලානයේ දී ද ඔවුන් දරුණු පසුබෑමක් පෙන්නුම් කළා.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව්වන් තමන්ට සිටින හොඳම ක්‍රීඩකයින් කණ්ඩායමට ඉදිරිපත් නො කරන බව ද මෙහි දී විශේෂයෙන්ම අවධාරණය කර තිබුණා.

 IPL වැනි තරගාවලිවල නිත්‍ය ක්‍රීඩකයෙක් සහ තරග දිනවන්නෙක් වන Sunil Narine පසුගිය වසර කිහිපය පුරාවටම බටහිර ඉන්දීය කොදෙව් සංචිත වෙනුවෙන් තේරීම් වලට ඉදිරිපත් නොවූ අතර, විස්සයි විස්ස පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස වඩාත් ඉහළ වටිනාකමකට හිමිකම් කියන Andre Russell ද නිමා වූ ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර ගත්තේ නැහැ.

එමෙන්ම නියමිත ගුවන් ගමනට සහභාගී නොවීම නිසා විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ගිය Shimron Hetmeyerගේ අහිමි වීම ද බටහිර ඉන්දීය කොදෙව් පිතිකරණ ඒකකයට සැලකිය යුතු අඩුපාඩුවක් වූ බවත් වාර්තාවේ විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා.

නමුත් මෙම සියලු ක්‍රීඩකයින් ලොව පුරා වරලත් ලීග් තරගාවලි සඳහා ඉදිරිපත් වන බවත්, ඔවුන් ඒවායින් ඉහළ ආදායම් උපයන බවත් වාර්තාවේ සඳහන් කරමින් ඔවුන් පවසා ඇත්තේ එය සම්පූර්ණයෙන්ම වටහා ගත හැකි ක්‍රියාවක් නමුත් එය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් වලට ඒ තරම් ම සුබ දායි නොවන බවයි.

“අපේ හොඳම ක්‍රීඩකයින් සෑම ගෝලීය ලීගයක ම ක්‍රීඩා කරන අතරේ විකල්ප පදනමක් යටතේ බටහිර ඉන්දීය කොදෙව් වෙත ක්‍රීඩා කිරීම ක්‍රීඩාවේ යහපතට හේතු නොවේ.

මෙම ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සඳහා ක්‍රීඩකයින් සහ පාලක මණ්ඩලය එකිනෙකා සමඟ අවංකව සාකච්ඡාවක් පැවැත්වීම අත්‍යාවශ්‍ය වේ. මෙම කමිටුවේ අදහසට අනුව ක්‍රීඩකයින් සහ පරිපාලනය අතර සැලකිය යුතු තරමේ අවිශ්වාසයක් පවතින අතර, මෙම අවිශ්වාසය සෑම තරගයක දීම හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තරගයට නොපැමිණීමට හේතුව වෙයි.”

“මෙය යම් මැද මාවතකට පැමිණිය යුතු අතර, එසේ නොවුන හොත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය, ආයතනයක් ලෙස තවදුරටත් නො පවතිනු ඇත.”

ඔවුන් ඉහත සඳහන් කරන ඛේදනීය තත්වය මග හරවා ගැනීමට නම් ක්‍රීඩක දක්ෂතා ඵලදායි ලෙස කළමනාකරණය කර ගැනීම අත්‍යාවශ්‍ය බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

මේ අතර මෙම කමිටුව විසින් ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානය මෙම තත්වයෙන් නැවත ගොඩ ඒමට බටහිර ඉන්දීය කණ්ඩායමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් බව ද සඳහන් කරන අතර, ඔවුන් ඒ වෙනුවෙන් උපාය මාර්ගික සැලැස්මක් ද සකස් කර තිබෙනවා.

එමෙන්ම ඔවුන් එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ඉලක්ක ද හඳුන්වා දී තිබෙනවා.

ක්‍රීඩකයින් 30-35 අතර පිරිසක් ලැයිස්තුගත කරමින් එයින් ක්‍රීඩකයින් 15 දෙනෙකු ලෝක කුසලානය වෙනුවෙන් තෝරා ගන්නා ලෙසත්, තම හොඳම ක්‍රීඩකයින් එම තෝරා ගැනීම්වලට ඉදිරිපත් වීම සහතික කර ගත යුතු බවත් ඔවුන්ගේ කෙටි කාලීන සැලැස්මට අන්තර්ගත වී තිබෙනවා. එමෙන්ම මෙහි දී ක්‍රීඩකයින් සමඟ තෝරා ගත් නිලධාරි මඩුල්ලක් අවංකව සාකච්ඡා සිදු කළ යුතු බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම Pooran, Evin Lewis, Akeal Hosein, Hetmeyer, Rovman Powell වැනි ක්‍රීඩකයින්ව වැඩි වශයෙන් ටෙස්ට් තරගවලට යොදවමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කර ගැනීමට ඉඩ සලසා දිය යුතු බවත් එම කෙටි කාලීන සැලසුම්වල දක්වා තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සුදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<