Kohli එංගලන්තය සමඟ ඉදිරි ටෙස්ට් තරග දෙකටත් නැහැ!

England Tour of India 2024

111
England Tour of India 2024

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරග ද්විත්වය සඳහා ද ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli සහභාගී නොවන බව වාර්තා වනවා.

රාජ්කොට් සහ රන්චි හිදි පැවැත්වීමට නියමිත තරගාවලියේ තෙවන සහ සිව් වන ටෙස්ට් තරග සඳහා Kohli සහභාගී නොවන බව ESPN Cricinfo විසින් තහවුරු කරන අතරම, මාර්තු මස 06 වැනි දා ධර්මසාලා හිදි පැවැත්වීමට නියමිත තරගාවලියේ අවසන් තරගයට ද Kohliගේ සහභාගීත්වය අවිනිශ්චිත බවට ඔවුන් සැක පළ කරනවා.

පසුගිය ජනවාරි 25 වැනි දා ආරම්භ වූ මෙම ටෙස්ට් තරගාවලියේ මුල් තරග ද්විත්වය සඳහා ද Kohli සම්බන්ධ වුනේ නැහැ. තරගාවලිය ආරම්භ වීමට දින තුනකට පෙර එනම් ජනවාරි මස 22 දා “පෞද්ගලික හේතුන් මත” Kohli තරගාවලියේ මුල් තරග ද්විත්වයට සහභාගී නොවන බව BCCI විසින් දැනුම් දුන්නා.

මේ අනුව බොහෝ විට එංගලන්තය සමඟ සම්පූර්ණ ටෙස්ට තරගාවලියේ දී ම Virat Kohli ව දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට අහිමි ව යනු ඇති.

මේ අතර තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වූ Mohommed Siraj, Ravindra Jadeja සහ KL Rahul යන තිදෙනා ම දෙවන ටෙස්ට් තරගයට සහභාගී වුනේ නැහැ. මේ අතුරින් Mohammed Siraj කාර්ය කළමනාකරණය කිරීම වෙනුවෙන් දෙවන තරගයෙන් විවේක ගන්වා තිබූ අතර ඔහු මීළඟ ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පළමු තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ සාර්ථක ම පිතිකරු යුගලය වූ Ravindra Jadeja සහ KL Rahul ආබාධවලට ලක් වීම හේතුවෙන් දෙවන තරගය මඟහැරී ගියා. ඔවුන් දෙදෙනා ම මේ වන විට බැංගලෝරයේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ (NCA) අධීක්ෂණය යටතේ සුවය ලබමින් සිටිනවා. ඔවුන්ගේ තත්වය පිළිබඳ තවමත් නිල වශයෙන් යාවත්කාලීන වීමක් සිදු වී නොමැති වුවත් එම ආබාධ මේ වන විට බොහෝ දුරට සුව අතට හැරී ඇති බවයි ESPN වාර්තා කරන්නේ. අඩුම තරමේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ මීළඟ ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇති.

තරගාවලිය මේ වන විට 1-1ක් ලෙස සම මට්ටමේ පවතින අතර, තරගාවලියේ තෙවන තරගය එළඹෙන 15 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

ඉන්දු – එංගලන්ත ටෙස්ට් ගැටුමේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<