ප්‍රභාත් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ICC Men's Player Rankings

228

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දැක්වූ දක්ෂතා සමඟ ලෝක ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි හය වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ප්‍රභාත් ජයසූරිය විසින් සමත් වී තිබෙනවා. 

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඇෆ්ගන් පළමු ඉනිමේ කඩුලු 3ක් සහ දෙවන ඉනිමේ කඩුලු 5ක් සමඟ සමස්ත තරගයේ කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වූ ජයසූරිය තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා. 

මෙම දක්ෂතාව ද සමඟින් ඔහු විසින් ලෝක ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් ලකුණු 783ක් ද සමඟින් ශ්‍රේණිගත කිරීම් හි 06 වැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණීමට සමත් වී තිබෙනවා. ඒ අනුව මෙය ඔහුගේ හොඳම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම ලෙස සටහන් වනු ඇති. 

එමෙන්ම එම තරගයේ දී වේගපන්දුවෙන් දක්ෂතා දැක්වූ අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු පිළිවලින් ශ්‍රේණිගත කිරීම් හි 34, 44 සහ 51 යන ස්ථාන තෙක් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. 

මේ අතර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි අංක එකට පැමිණීමට ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah හට හැකියාව ලැබී ඇති අතර, ඒත් සමඟම ටෙස්ට් පන්දු යවන්නන් අතර අංක එකට පැමිණීමට සමත් වූ පළමු ඉන්දීය වේගපන්දු යවන්නා වීමට ද Bumrah හට හැකියාව ලැබුණා. මීට පෙර 1979 – 80 වසර වල දී Kapil Dev ශ්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා. එමෙන්ම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානය හිමි කර ගත් සිව් වැනි ඉන්දියානුවා බවට පත් වීමට ද Bumrah විසින් මෙහි දී සමත් වුනා. මීට පෙර Ravichandran Ashwin, Ravindra Jadeja සහ Bishan Singh Bed අංක එකේ රැඳීමට සමත් වුනා. 

එංගලන්තය සමඟ පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගයේ දී දවා ගැනීමට සමත් වූ කඩුලු 9 Bumrahගේ මෙම ඉදිරියට පැමිණීමේ හේතුව වග හඳුනා ගත හැකි. 

කෙසේ වෙතත් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි මුල් ස්ථාන දහයේ කැපී පෙනෙන වෙනස්කමක් සිදු වී නැහැ. දිමුත් කරුණාරත්න තවමත් ශ්‍රේණිගත කිරීම් හි 09 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, ඇෆ්ගනිස්තානයට එරෙහිව විශිෂ්ට ශතකයක් වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන හතරක් ඉදිරියට පැමිණෙමින් 24 වැනි ස්ථානයට පත් වී තිබෙනවා. දිනේශ් චන්දිමාල් එහි 23 වැනි ස්ථානයේ රැඳෙනවා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<