‘2017’ සීගිරිය රැලීක්‍රොස් තරගයේ දී ධාවකයින්ගෙන් ඉහළ දස්කම්

276
Sigiriya Rallycross 2017

2017 වසර සඳහා වන තරග වාරයේ බොරළු ධාවන පථයක පැවැත්වෙන අවසන් මෝටර් රථ ධාවන තරගය වූ 2017 සීගිරිය රැලීක්‍රොස් මෝටර් රථ ධාවන තරගය ඊයේ (01) සීගිරියේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය රැලීක්‍රොස් ධාවන පථයේ දී අවසන් විය.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ මෙම තරගයේ දී ධාවකයින් දක්වන දක්ෂතා මත ඉසව් කිහිපයකම ජයග්‍රාහකයින් තීරණය වීමට නියමිතව තිබූ බැවින් මෙය ශ්‍රී ලංකාවේ සිටින බොරළු ධාවන පථ ධාවකයින් සඳහා අතිශය වැදගත් ඉසව්වක් විය.

අශාන් සහ එවෝන්ගෙන් විශිෂ්ට දස්කම්

ඊයේ (17) උඩවලවේ සෙවනගල ‘ක්‍රාෆ්ට්ස්මන් ඔටෝ ඩ්රෝම්’ හිදී අවසන් වූ වලව සුපර්ක්‍රොස් 2017 තරගාවලියේ දී…

දසනායකගෙන් ඉහළ දස්කම්

ප්‍රේක්ෂකයින්ගේ ඉහළ ආකර්ෂණයක් දිනාගත් ඉසව්වක් වන MX 250cc ඉහළ මොටෝ ඉසව් 2 අවසානයේ දී 2017 වසර සඳහා වන ඉසව්වල ජාතික ශූරයා තීරණය වීමට නියමිතව තිබූ අතර එහි දී සමස්ත ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියේ ජැක්ස් ගුණවර්ධන විසිනි.

අත්දැකීම් බහුල ධාවකයෙක් වන ගයාන් සඳරුවන් දෙවන ස්ථානයේ පසු වූ අතර ගියවර ශූරයා බවට පත්වූ ඉශාන් දසනායක පසු වූයේ තෙවන ස්ථානයේ ය. ඒ අනුව මෙම වසරේ දී ද ශූරතාවය දිනා ගැනීමට නම් ඉශාන් හට මෙම තරගයේ මොටෝ ඉසව් 2ම පළමු ස්ථානයේ රැඳෙමින් අවසන් කිරීමට අත්‍යාවශ්‍ය විය.

අනෙක් පසින් ජැක්ස් ඉහළ දස්කම් අතර සිටි අතර ගජබා සුපර්ක්‍රොස් තරගයේ දී ද ඔහු ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරග වාරය ආරම්භයේ දී පැවති විජයබාහු සුපර්ක්‍රොස් තරගය අතරතුර දී සඳරුවන් ආබාධයකට ලක්වූ නමුත් තරග වාරයේ අවසන් භාගය වන විට ඔහු ද සිය සුපුරුදු දක්‍ෂතා අතරට ළඟාවීමට සමත් විය. දසනායක ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගයේ දී ජයග්‍රහණයක් හිමිකර ගනිමින් ඉහළ දස්කම් දැක්වූවත් ඔහුට ඇතිවූ ආබාධ හමුවේ ඔහුගේ ජයග්‍රහණ අභියෝගයට ලක්විය. එමෙන්ම ගනර්ස් සුපර්ක්‍රොස් තරගය අතරතුර දී ඔහුට ඇතිවූ උරහිසේ ආබාධයක් හේතුවෙන් ඔහු මෙම සීගිරිය රැලීක්‍රොස් තරගයට ද සහභාගී වීම තහවුරු වූයේ අවසන් මොහොතේ දී ය.

කෙසේ නමුත් එම සියලු බාධක හමුවේ සිය උපරිම දක්‍ෂතා අතරට පැමිණි දසනායක මෙහි දී මොටෝ ඉසව් 2ම ජයග්‍රහණය කරමින් සීගිරිය රැලීක්‍රොස් තරගයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ ඔහු 2017 වසර සඳහා වන යතුරුපැදි ජාතික ශූරයා ලෙස ද නැවතත් කිරුළු හිමිකර ගැනීමට සමත් විය.

එහි දී පළමු මොටෝ තරගයේ දී ඔහුට සඳරුවන්ගෙන් විශාල අභියෝගයක් එල්ල විය. තරගයේ ආරම්භයේ පටන් සඳරුවන්, ඉශාන් හට ඉතා තියුණු තරගයක් ලබා දුන් නමුත් තරගය අවසානයේ ජයග්‍රහණය හිමි කර ගන්නට ඉශාන් සමත් විය. එවෝන් ගුරුසිංහ එහි දී 3 වන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ජැක්ස් ගුණවර්ධන හට එහි දී 4 වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. 5 වන ස්ථානය දිනා ගනු ලැබුවේ බුද්ධික කසුන් විසිනි.

කෙසේ නමුත් දෙවැනි මොටෝ තරගයේ දී තරගය ආරම්භයේ සිටම එතරම් අභියෝගයකින් තොරව ඉදිරියෙන් රැඳෙන්නට ඉශාන් සමත් විය. ඒ අනුව ඔහු එහි දී පළමු ස්ථානය දිනාගත් අතර එවොන් ගුරුසිංහ 2 වන ස්ථානයේ රැඳෙමින් තරගය අවසන් කරන්නට සමත් විය. ගයාන් සඳරුවන් හට එහි දී තෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වූ අතර ජැක්ස් සහ කසුන් පළමු තරගයේ දී මෙන්ම මෙම තරගයේ දී ද පිළිවෙළින් 4 වන හා 5 වන ස්ථාන දිනා ගන්නා ලදි.

MX 125cc දක්වා තරග ඉසව්වේ පළමු ස්ථානය ඒ වන විටත් දිනා ගන්නට ඉශාන් සමත්ව තිබූ අතර ඒ අනුව මෙහි දී ලබාගත් පළමු ස්ථාන දෙකත් සමඟින් ඔහු පළමු ස්ථාන තුනකට හිමිකම් කියන්නට සමත් විය.

කුෂාන් ඉහළ ධාවකයින් අතරින් කෙනෙක් බව නැවතත් තහවුරු කරයි

SL GT 3500cc දක්වා මෝටර් රථ ධාවන තරග ඉසව්වේ ඉහළ දස්කම් දක්වන නවක ධාවකයෙක් වන කුෂාන් පීරිස් මෙම තරගයේ දී නැවතත් ඔහු ශ්‍රී ලංකාවේ සිටින ඉහළ පෙළේ ධාවකයින් අතරින් කෙනෙක් බව තහවුරු කිරීමට සමත් විය. ඒ අනුව ඔහු මෙහි දී මෙම වසර සඳහා වන සිය දෙවැනි ශූරතාවය දිනා ගන්නා ලදි. සුදුසුකම් ලබා ගැනීමේ දිනයේ දී හොඳම කාලය වාර්තා කරගැනීම නිසා ඔහු පළමු මොටෝ ඉසව්ව ආරම්භ කරනු ලැබුවේ ඉදිරියෙන්ම සිටිමිනි. එහි දී කුෂාන් සහ අෂාන් සිල්වා අතර තියුණු තරගයක් පැවති නමුත් කුෂාන් තරගයේ පළමු ස්ථානය දිනා ගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ කර දමමින් අෂාන් පළමු ස්ථානය දිනා ගනිමින් තරගය අවසන් කරන්නට සමත් විය. අත්දැකීම් බහුල මෝටර් රථ ධාවකයෙක් වන අරවින්ද ප්‍රේමදාස මෙහි දී තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර පසිඳු පීරිස් සහ උෂාන් පෙරේරා පිළිවෙළින් සිව්වන හා පස්වන ස්ථාන දිනා ගැනීමට සමත් විය.

දෙවන මොටෝ තරගය ආරම්භයේ පළමු බොරළු ධාවන අවකාශය තුළ දී අෂාන් සුළු අනතුරකට පත්වූ අතර ඉන් උපරිම ප්‍රයෝජනය ලබාගත් කුෂාන් තරගයේ අනෙක් ධාවකයින් සහ ඔහු අතර ඉහළ පරතරයක් ගොඩනඟා ගන්නට සමත් විය. ඒ අනුව කුෂාන් එහි දී පළමු ස්ථානයේ රැඳෙමින් තරගය අවසන් කරන්නට සමත් වූ අතර නැවතත් තරගයට අවතීර්ණ වූ අෂාන් සිල්වා අනෙක් ධාවකයින් අභිබවමින් දෙවන ස්ථානය ලබා ගන්නට සමත් විය. පසිඳු එහි දී තුන්වන ස්ථානය දිනාගත් අතර ජානක ඩයස් සහ උෂාන් එහි දී පිළිවෙළින් සිව්වන හා පස්වන ස්ථාන දිනා ගැනීමට සමත් විය.

කුෂාන් තවදුරටත් ‘SL H’ සහ ‘Ford Laser’ ඉසව්වල ද පළමු ස්ථාන දිනා ගැනීමට සමත් වූ අතර ඔහු මෙම ‘SL GT’ ඉසව්වේ මොටෝ තරග දෙක අවසානයේ ඔහු දැක්වූ දක්‍ෂතා මත සීගිරිය රැලීක්‍රොස් තරගයේ හොඳම මෝටර් රථ ධාවකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<