ටෙස්ට් ක්‍රිකට් ලොවේ ජය සංඛය; ශ්‍රී ලංකාව

Afghanistan Tour of Sri Lanka 2024

192
Afghanistan Tour of Sri Lanka 2024

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කණ්ඩායම් අතුරින් සෑම රටකට ම එරෙහිව ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණ වාර්තා කළ එක ම කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වුණා. ඒ පසුගියදා අවසන් වූ ඇෆ්ගනිස්තානය හා සමඟ තරගයෙන් ලත් කඩුලු 10ක ජයග්‍රහණයත් සමඟිනුයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මේ ලැබූ ජයග්‍රහණය ජය සක් පිඹ සැමරීමේ අවස්ථාවක් සේ සැලකිය යුතුයි. එසේ වන්නේ 1877 මාර්තු මස 15 වැනිදා ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ආරම්භ වූ ලෝකයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පවත්වා වසර 147ක් සැපිරීමට ඉතා ආසන්නයේ මේ සිදුවීමට මුල පිරීමයි. එසේ ම මෙම වාර්තාව සැමරුම් අතරට එක් වෙන්නේ ලෝකයේ පැවැති 2527 වැනි තරගයේ දී වීමයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් වරම්  ලද රටවල් ලෙසින් 2018 වසරේ දී අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය නම් කරනු ලබනවා. ඒ අනුව එම ලැයිස්තුවට මේ වෙද්දී රටවල් 12ක් ඇතුලත්. 1982 පෙබරවාරි මස 17 වැනිදා ටෙස්ට් වරම් ලද ශ්‍රී ලංකාව මෙම වාර්තාව හා එක්වෙන්නේ එම වර්ගීකරණය ද අනුවයි.

කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය වන විට ශ්‍රී ලංකාව නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී 8 වැනි ස්ථානයත් සහ ඇෆ්ගනිස්තානය 11 වැනි ස්ථානයේත් රැදී සිටියා.

ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසය ගෙවී ගිය ආකාරය
Opposition Team Span Mat Won Lost Draw % W % L
ඇෆ්ගනිස්තානය 2024 1 1 0 0 100.00 0.00
ඔස්ට්‍රේලියාව 1983-2022 33 5 20 8 15.15 60.60
බංග්ලාදේශය 2001-2022 24 18 1 5 75.00 4.16
එංගලන්තය 1982-2021 36 8 17 11 22.22 47.22
ඉන්දියාව 1982-2021 46 7 22 17 15.21 47.82
අයර්ලන්තය 2023 2 2 0 0 100.00 0.00
නවසීලන්තය 1983-2023 38 9 18 11 23.68 47.36
පාකිස්තානය 1982-2023 59 17 23 19 28.81 38.98
දකුණු අප්‍රිකාව 1993-2021 31 9 16 6 29.03 51.61
බටහිර ඉන්දීය කොදෙව් 1993-2021 24 11 4 9 45.83 16.66
සිම්බාබ්වේ 1994-2020 14 14 0 6 70.00 0.00

ශ්‍රී ලංකාව මෙම වාර්තාවට පිවිසෙන්නේ නායකයන් 18 දෙනෙක්ගෙන් යුත් ටෙස්ට් තරග 308කට සහභාගි වෙමිනුයි. එම තරග අතුරින් නිමා වූ ටෙස්ට් තරගයත් සමඟින් තරග 101ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් ව තිබෙනවා. කෙසේ වෙතත් මේ වාර්තාවට පිවිසීමේ දී හිටපු නායකයන් වූ බන්දුල වර්ණපුර, ඩී. එස්. ද සිල්වා, රංජන් මඩුගල්ලේ සහ අරවින්ද ද සිල්වා ගේ නායකත්වයේ දී කිසිදු රටක් සමඟ පැවැති තරගයක ජයග්‍රහණයක් ලබා දීමට ඔවුන්ට හැකි වී නැහැ.

  නායකත්වය Span Mat Won Lost Draw % W % L
1 බන්දුල වර්ණපුර 1982 4 0 3 1 0.00 75.00
2 දුලිප් මෙන්ඩිස් 1982 – 1987 19 2 8 9 10.52 42.10
3 ඩී. එස්. ද සිල්වා 1983 2 0 2 0 0.00 100.00
4 රංජන් මඩුගල්ලේ 1988 2 0 2 0 0.00 100.00
5 අර්ජුන රණතුංග 1988 – 1999 56 12 19 25 21.42 33.92
6 අරවින්ද ද සිල්වා 1991 – 1999 6 0 4 2 0.00 66.66
7 හෂාන් තිලකරත්න 1999 – 2004 11 1 4 6 9.09 36.36
8 සනත් ජයසූරිය 1999 – 2002 38 18 12 8 47.36 31.57
9 මාවන් අතපත්තු 2002 – 2005 18 8 6 4 44.44 33.33
10 මහේල ජයවර්ධන 2006 – 2013 38 18 12 8 47.36 31.57
11 කුමාර් සංගක්කාර 2009 – 2011 15 5 3 7 33.33 20.00
12 ටී. එම්. ඩිල්ශාන් 2011 – 2012 11 1 5 5 9.09 45.45
13 ඇන්ජලෝ මැතිව්ස් 2013 – 2017 34 13 15 6 38.23 44.11
14 රංගන හේරත් 2016 – 2017 5 3 2 0 60.00 40.00
15 දිනේෂ් චන්දිමාල් 2017 – 2021 19 4 10 5 21.05 52.63
16 සුරංග ලක්මාල් 2018 5 3 2 0 60.00 40.00
17 දිමුත් කරුණාරත්න 2019 – 2023 30 12 12 6 40.00 40.00
18 ධනංජය ද සිල්වා 2024 1 1 0 0 100.00 0.00

මෙම ලැයිස්තුව සැකසීමේ දී ශ්‍රී ලංකාව සේ ම තවත් රටවල් කිහිපයක ම දත්ත ගැන සැලකිලිමිත් වීමේ දී පෙනී යන්නේ මේ වාර්තාවට පිවිසීමට තවත් බොහෝ රටවල් කිහිපයකට ම හැකියාව පවතින බවයි. ඔවුන්ට මීට පෙර මෙම වාර්තාවට ළඟා වීමට නොහැකි වී ඇත්තේ ටෙස්ට් වරම් හිමි වූ සෑම රටක් ම සමඟ ඔවුන් ක්‍රීඩා කර නොමැති වීම හේතුවෙනුයි.

 

  • එක් එක් රටවල් මෙතෙක් තම ටෙස්ට් තරග නිමා කර ඇති ආකාරය

ඇෆ්ගනිස්තානය: ඔවුන් මෙතෙක් ටෙස්ට් රටවල් 6ක් සමඟ ක්‍රීඩා කර ඇත්තේ තරග 8ක් පමණක් වන අතර නිමා වූ එම තරග අතුරින් ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරග ජයග්‍රහණය කිරීමට ලැබී නැහැ.

ඔස්ට්‍රේලියාව: ටෙස්ට් තරග 864කට ක්‍රීඩා කර ඇති ඔස්ට්‍රේලියාව මෙතෙක් ක්‍රීඩා කළ සෑම රටකට ම එරෙහි ව තරග ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් ව තිබෙනවා. නමුත් ඔවුන් 2018 වසරේ දී ටෙස්ට් වරම් ලද ඇෆ්ගනිස්තානය සමඟ මෙතෙක් එකඳු හෝ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නැහැ.

බංග්ලාදේශය: 2019 වසරේ දී ටෙස්ට් වරම් හිමි වූ බංග්ලාදේශය මෙතෙක් ටෙස්ට් වරම් ලැබූ සෑම රටක් සමඟ ම ක්‍රීඩා කර තිබෙනවා.  ඒ අනුව ඔවුන් නිමා කළ එම  තරග ප්‍රමාණය 140ක්. ඒ අතුරින් ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව සමඟ තරග ජයග්‍රහණය කර නැහැ.

එංගලන්තය: ටෙස්ට් තරග 1068කට ක්‍රීඩා කර ඇති එංගලන්තය මේ දක්වා ඇෆ්ගනිස්තානය හැරෙන්නට අනෙක් සෑම රටක් සමඟ ම ටෙස්ට් තරග සඳහා එක් වී තිබෙනවා. ඔවුන් ද ඒ සෑම රටකට ම එරෙහිව තරග ජයග්‍රහණය කිරීමට සමත් ව තිබෙනවා.

ඉන්දියාව: 1932 දී ටෙස්ට් වරම් ලැබූ ඉන්දියාව මේ දක්වා තරග 576කට සහභාගී වී තිබෙනවා. ඔවුන් මේ දක්වා තමන් සහභාගී වූ ටෙස්ට් තරග අතුරින් සෑම රටකට ම එරෙහිව ජයග්‍රහණ වාර්තා කර තිබුණ ද 2018 වසරේ දී ටෙස්ට් වරම් හිමි වූ අයර්ලන්තය සමඟින් එකඳු හෝ ටෙස්ට් තරගයකට මෙතෙක් ක්‍රීඩා කර නැහැ.

අයර්ලන්තය: 2018 වසරේ දී ටෙස්ට් වරම් හිමි වූ අයර්ලන්තය මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ රටවල් 5ක් සමඟ පැවැති ටෙස්ට් තරග 7කට පමණයි. ඇෆ්ගනිස්තානය (1), බංග්ලාදේශය (1), එංගලන්තය (2), පාකිස්තානය (1) සහ ශ්‍රී ලංකාව (2) සමඟ පැවැති එම තරග අතුරින් කිසිදු තරගයක් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට ලැබී නැහැ.

නවසීලන්තය: ටෙස්ට් තරග 467කට ක්‍රීඩා කර ඇති නවසීලන්තය මේ දක්වා සහභාගී වූ සෑම රටකට ම  එරෙහි ව පැවැති ටෙස්ට් තරග ජයග්‍රහණය කර තිබුණ ද ඔවුන් ටෙස්ට් වරම් ලද ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය සමඟ මෙතෙක් එකඳු හෝ තරගයක් ක්‍රීඩා කර නැහැ.

පාකිස්තානය: මේ දක්වා ඇෆ්ගනිස්තානය හැරෙන්නට අනෙක් සෑම රටක් සමඟ ම ටෙස්ට් තරග 456ක් සඳහා එක් වී ඇති පාකිස්තානය පැවැති තරග අතුරින් සෑම රටකට ම එරෙහිව තරග ජයග්‍රහණය කිරීමට සමත් ව තිබෙනවා.

දකුණු අප්‍රිකාව: ටෙස්ට් තරග 463කට ක්‍රීඩා කර ඇති දකුණු අප්‍රිකාව ද මේ දක්වා පැවැති තරග අතුරින් සෑම රටකට ම එරෙහිව ටෙස්ට් තරග ජයග්‍රහණය කර තිබුණ ද ටෙස්ට් වරම් ලද ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය සමඟ මෙතෙක් එකඳු හෝ ටෙස්ට් තරගයකට එක් වී නැහැ.

බටහිර ඉන්දීය කොදෙව්: අයර්ලන්තය සමඟ මෙතෙක් එකඳු හෝ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නැති බටහිර ඉන්දීය කොදෙව්වෝ මේ දක්වා ටෙස්ට් තරග 575කට ක්‍රීඩා කර තිබෙනවා. එම තරග අතුරින් සෑම රටකට ම එරෙහිව ජයග්‍රහණ වාර්තා කිරීමට ඔවුන් ද සමත් ව තිබෙනවා.

සිම්බාබ්වේ: අයර්ලන්තය සමඟ මෙතෙක් එකඳු හෝ ටෙස්ට් තරගයකට එක් වී නැති සිම්බාබ්වේ ක්‍රීඩකයෝ මෙතෙක් ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග ප්‍රමාණය 117ක්. මෙම ඉතිහාසයේ දී ඔවුන්ට මෙතෙක් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එකඳු හෝ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලැබී නැහැ.

දිනෙන් දින උණුසුම්ව න ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<