ලැජ්ජා සහගත පරාජය ගැන Kohliගෙන් පිතිකරුවන්ට චෝදනා!

ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියා ටෙස්ට් තරග සංචාරය 2020/21

258

පසුගිය දා පැවති ඉන්දීය ඕස්ට්‍රේලියානු පළමු ටෙස්ට් තරගය වඩාත්ම කතාබහට ලක්වූයේ ඉන්දීය කණ්ඩායමක් ටෙස්ට් තරගයක් තුල වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව එම තරගයේ දී වාර්තා වීම නිසාවෙනි. ඒ ලකුණු 36කි.

Adelaide හි පැවති තරගයේ දී මුල් ඉනිමේ දී ඉදිරියෙන් සිටි ඉන්දීය කණ්ඩායම තුන්වැනි දිනයේ දී සිය දෙවන ඉනිම ආරම්භ කළේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට ප්‍රබල ඉලක්කයක් ලබා දීමේ අරමුණිනි. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ සියලු බලාපොරොත්තු සුන් කිරීමට ඕස්ට්‍රේලියා වේගපන්දු යවන්නන් සමත් විය. ඕස්ට්‍රේලියා කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ කඩුලු 8කිනි.

තරග පරාජයෙන් අනතුරුව නායක Virat Kohli බලාපොරොත්තු සුන් වූ මුහුණින් ක්‍රීඩාගාරය දෙසට යන අයුරු බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණි.

ලකුණු 36කට සීමා වූ ඉන්දීය ඉනිමේ කඩුලු 5ක් සිය නම ඉදිරියේ සටහන් කරගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක Josh Hazlewood සමත්වූයේ ලකුණු 8ක් පමණක් ලබා දෙමිනි. ඉන්දීය ඉනිමේ දැවී ගිය සෙසු කඩුලු 4ට හිමිකම් කීමට Pat Cummins සමත් විය.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී Virat Kohli තරගය පිළිබඳව හැඟීම්බරව අදහස් දක්වා තිබුණි. එහි දී ඔහු පවසා සිටියේ එය අතිශය වේදනාකාරී මතකයක් බවයි. තම පිතිකරුවන් ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ගේ අභියෝගය බාර ගැනීමට අපොහොසත් වූ බවත්, තමා ද ඇතුළුව කිසිදු පිතිකරුවෙකු වගකීමක් සහිතව ක්‍රීඩා කළ බවක් දක්නට නොමැති බවත් ඔහු තවදුරටත් පවසා තිබුණි.

“මේ වෙලාවේ ඒ ගැන වචනවලින් විස්තර කරන්න අමාරුයි. අපි  ඉනිම ආරම්භ කළේ ලකුණු 60ක් පමණ ඉදිරියෙන් සිටිය දී. ඊට පස්සේ වුනේ මොකක්ද කියලා හිතාගන්න බැහැ. ඉනිම සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. අපි මේ තරගයේ දවස් දෙකක් ඉතාමත් ප්‍රබලව සෙල්ලම් කළා. ඒත් තුන්වැනි දවසේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. පැයක් ඇතුළත ඒ සියල්ල වෙනස් වුනා.” 

තරගයේ අසාර්ථකත්වයට පිතිකරුවන්ගේ මානසිකත්වය බව Virat Kohli පවසා සිටියේය. එහි දී පිතිකරුවන් කඩුල්ල ආරක්ෂා කරගැනීම වෙනුවට ලකුණු රැස්කිරීමට උත්සාහ කළ බවත් ඔහු පැවසීය.

“පළමු ඉනිම ගත්තම ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් පන්දු යැවූ තැන්වලටම තමයි ඔවුන් දෙවන ඉනිමේදීත් පන්දු යැවුවේ. ඒත් දෙවන ඉනිමේ දී අපේ මූලික අරමුණ වුනේ ලකුණු රැස්කරන එක. අපිට කඩුල්ල ආරක්ෂා කරගන්න බැරි වුනා. පන්දු යැවීම ගත්තම ඔවුන් ඉතාමත් හොඳ එල්ලයක් සහිතව පන්දු යැවුවා. ඒත් මම හිතන්නේ නැහැ ඒ පන්දුවල එතරම් විශේෂත්වයක් තිබුණා කියලා. 

ඕස්ට්‍රේලියා කණ්ඩායම ඒ වෙද්දී වටපිටාව හදලා තිබුණා අපිට ලකුණු රැස්කරන්න අමාරු වෙන විදිහට. පිතිකරුවන්ගේ අරමුණ වෙනස් වීමත් එක්ක පන්දු යවන්නන් ඉතාමත් හොඳ එල්ලයක් සහිතව පන්දු යැවුවා. ඒක තමයි ප්‍රධානම හේතුව වුනේ අපේ අසාර්ථකත්වයට.” 

ඉන්දීය නායකයා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ පළමු ඉනිමේ දී තම කණ්ඩායම පෙරමුණ ගැනීම නිසා මුල් පෙළ පිතිකරුවන් තරමක සැහැල්ලුවෙන් ක්‍රීඩා කිරීමට උත්සාහ කළ බවයි.

“ටෙස්ට් තරගයක මුල් ඉනිමේ දී තරමක් ඉදිරියෙන් ඉන්න එක හැමවෙලේම තරමක් උපක්‍රමශීලී විය වෙන්න පුළුවන්. ලකුණු 50-60 ඉදිරියෙන් ඉන්න වෙලාවට මුල් පෙළ පිතිකරුවන්ට තරමක සහනයක් තියනවා. ඒ නිසා ඔවුන් සැහැල්ලුවෙන් ක්‍රීඩා කරන්න උත්සාහ කරනවා. ඒත් ඒ වෙලාවට මුල් කඩුලු දැවී ගියාම ප්‍රතිවාදී කණ්ඩායමට පුළුවන් වෙනවා තරගයේ පාලනය ලබා ගන්න. ඒ නිසා අපි හැමවෙලේම උත්සාහ කරන්න ඕනේ කෙතරම් ඉදිරියෙන් හිටියත් කඩුල්ල ආරක්ෂා කරගන්න. අපි හැමවෙලේම ධනාත්මකව ක්‍රීඩා කරන්න ඕනේ කියලා මම හිතනවා. මේ ඉනිමේ දී එහෙම තත්ත්වයක් අපි දැක්කේ නැහැ. ඒ නිසා තමයි මම කියන්නේ අපේ මානසිකත්වය වෙනස් වුනා කියලා.” 

මෙම පිතිකරණය ඉන්දීය කණ්ඩායමක් දැක්වූ දුර්වලම පිතිකරණය ලෙස Virat Kohli හඳුන්වා තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්: 

කෙසේ වෙතත් එළඹෙන 26 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති දෙවන ටෙස්ට් තරගය සඳහා Virat Kohli සහභාගී නොවීම ඉන්දීය කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. තමන් සහභාගී නොවූවද දෙවන ටෙස්ට් තරගයේ දී සිය අඩුපාඩු නිවැරදි කරගැනීමට කණ්ඩායම සමත්වනු ඇති බවට Virat Kohli බලාපොරොත්තුව පලකර තිබේ.

“මම හිතන්නේ නැහැ ඉන්දීය කණ්ඩායමක් කවදාවත් මේ පිතිකරණයට වඩා නරක විදිහට ක්‍රීඩා කරලා ඇති කියලා. ඒ නිසා අපට මෙතන ඉඳලා ගොඩක් දේවල් හදාගන්න තියනවා. කණ්ඩායමක් විදිහට අපි අපේ අඩුපාඩු හදාගන්න ඕනේ. පිතිකරණය පැත්තෙන් ගොඩක් දේවල් හදාගන්න තියනවා” Virat Kohli තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය. 

ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 73ක් රැස් කළ Tim Paine තරගය තුල උඩපන්දු 7ක් රැකගැනීමට සමත් විය. එම දක්ශතාවය නිසා තරගයේ වීරයා ලෙස ද ඔහු සම්මානයට පාත්‍ර විය. තරගය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඉන්දීය දෙවන ඉනිම මෙතරම් ඉක්මනින් දවා ගැනීමට හැකි වේ යැයි තම කණ්ඩායම ද අපේක්ෂා නොකළ බවයි. 

“මම එදා උදේ මාධ්‍යවලට කිව්වා මේ කණ්ඩායම් දෙකටම ප්‍රබල වේගපන්දු යවන්නන් ඉන්නවා කියලා, ඒත් අපි හිතුවේ නැහැ මෙතරම් ඉක්මනින් ඔවුන් දවා ගන්න පුළුවන් වේවි කියලා. අපි බලාපොරොත්තු වුනේ ටිකක් ලොකු ඉලක්කයක්. අපේ පන්දු යවන්නන් මේ ටෙස්ට් තරගයේ දී පන්දු යැවූ ආකාරය ගැන ඇත්තෙන්ම සතුටු වෙනවා. හොඳ ආරම්භයක් ලබා ගැනීමට හැකි වීම සතුටක් අපේ පන්දු යවන්නන්‍ට මේ තරගයේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනේ” තරගයෙන් අනතුරුව Tim Paine මාධ්‍ය හමුවක පවසා තිබුණි.

ඉන්දීය ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය එළඹෙන දෙසැම්බර් 26 වැනිදා මෙල්බර්න් හිදී ආරම්භ වීමට නියමිතය.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<