LPL පිටියේ Emerging Player වූ “ගාලු මල්ලි”

577
LPL Emerging Player

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත්තේ Galle Gladiators නියෝජනය කළ 22 හැවිරිදි යොවුන් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ධනංජය ගැන ThePapare.com තබන සටහනකි මේ.

“ගාලු කණ්ඩායමට එක්වීම ගැන සතුටක් තිබුනත් තරගයකට ක්‍රීඩා කරන්න ලැබෙයි කියන විශ්වාසය තිබුණෙ නැහැ. නමුත් අවස්ථාවක් ලැබුණොත් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා කියන බලාපොරොත්තුවෙන් හිටියේ. කණ්ඩායමේ සෑම පුහුණුවීමකට ම සහභාගී වුනා. එතැනදීත් උපරිමයෙන් කළා. පුහුණුකරු මොයින් ඛාන් මං ගැන විශේෂ අවධානයක් දක්වනවා කියලා මට දැනුණා. මේ නිසා කණ්ඩායමට එක් වෙන්න පුළුවන් කියන පුංචි විශ්වාසයකුත් තිබුණා” ධනංජය ThePapare.com සමඟ කතා බහට එක් වූවේ ඒ අයුරිනි. 

ධනංජය පැවසුවාක් සේ, කණ්ඩායමේ බලධාරීන් ඔහුව පළමු තරගයේ දී ම කණ්ඩායමට එක් කරන්නේය. නමුත් ඔහු අතිරේක ක්‍රීඩකයෙක් බැවින් ඊට අවස්ථාව හිමි වෙන්නේ නැත. ඊට පසු තරගාවලියට එක් නොවන්නේ යැයි පැවසු ලසිත් මාලිංග වෙනුවට ධනංජයගේ නම යෝජනා වෙන්නේ ය. එහෙත් ඊට ද තරගාවලි බලධාරීන්ගෙන් අවස්ථාවක් හිමි වෙන්නේ නැත. ඒ මාලිංග Icon ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය වීමත් සහ ධනංජය Emerging ක්‍රීඩකයෙක් ලෙස වර්ගීකරණය වී තිබීමත් නිසා ය. කෙසේ වෙතත් කණ්ඩායම් නිලධාරීන්ගේ බලවත් පරිශ්‍රමය මත ධනංජයට දෙවැනි තරගයේ දී කණ්ඩායමට එක් වීමට වරම් ලැබෙන්නේය. ඒ කොළඹ කණ්ඩායම සමඟ තරගයට ය. 

“අවාසනාවකට වගේ මගේ මුල්ම තරගය පන්දු ඕවර 5කට පමණක් සීමා වුනා. මේ නිසා මට කරන්න කියල කිසිම දෙයක් ලැබුණෙ නැහැ. ඊළඟ තරගෙදි කණ්ඩායමේ සංයුතිය අනුව මට අවස්ථාව හිමි වුනේ නැහැ. ඒත් ඊළඟ තරගයේ දී මට නැවත අවස්ථාව හිමි වුනා. ඒ යාපනය සමඟ තරගයට. ඒ වෙද්දී අපේ කණ්ඩායම සහභාගී වූ තරග 3ම පරාජය වෙලා හිටියේ. ඔවුන් මට කිව්වේ ඕවර්ස් දෙකක් හොඳට කරල දෙන්න කියල විතරයි. අපි ඒ තරගය කඩුලු 5කින් පරාජය වුනත්, මම ඒ තරගයේ දී නොදැවී ලකුණු 14ක් ලබා ගනිමින්, ලකුණු 24කට කඩුල්ලක් දවා ගන්නවා.”

එතැන් සිට ධනංජයගේ සේවය ගාලු කණ්ඩායමට නැතිවම බැරි විය. එහි උච්චතම තරගය වූයේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයයි. එම තරගයේ කාගේත් මුවඟ රැඳවුනේ ධනංජයගේ දක්ෂතා සම්බන්ධයෙන්ය. තම පන්දුවාර 4 ලකුණු 27කට සීමා කරමින් යවන ධනංජය පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස පන්දු 23ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවි ලකුණු 31ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යන්නේ තම කණ්ඩායම අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගැනීමට ඉඩ සලස්වමිනි. ඔහු එම තරගයේ වීරයා ද විය.

“ඒ තරගයේ දී පිතිකරුවන් ලෙසින් සහභාගී වූ සියලුම දෙනා ඒ වෙද්දී අවුට් වෙලා තිබුණෙ. මට අවශ්‍ය වුනේ අන්තිම ඕවරය වෙනකම් තරගය ඇදගෙන යන්න. කණ්ඩායමේ සියලුම බලාපොරොත්තු මා වෙත පැවරී තිබුණේ. මම ෆේල් වුනොත් කණ්ඩායම ම ෆේල් වෙනවා. එතෙක් ආ ගමනේ ඒක ලොකු ඩැමේජ් එකක්. මම හිතාගත්තා අන්තිම පන්දුවේ දී හෝ අපේ ඉලක්කයට යනවා කියලා.”

අවසන් මහා තරගයටත් වඩා උණුසුම් වූ ඒ අවසන් පූර්ව තරගය සම්බන්ධයෙන් ධනංජයගේ මතකය එලෙසිනි. ධනංජය එම පන්දුවාරයේ පළමු පන්දු 4ට හයේ පහරක් ද සමඟින් ලකුණු 11ක් ලබා ගන්නේය. ජයග්‍රහණය ලක්ෂාන් සඳකැන් විසින් එල්ල කරන ලද ලකුණු 4කින් ලබා ගන්නේය. ප්‍රතිවාදී පන්දු යවන්නා වූයේ ලීග් ක්‍රිකට් වීරයෙක් ලෙසින් අභිශේකලත් ඉසුරු උදාන ය. 

“සඳකැන් අයියට මම කිව්වේ මට අන්තිම බෝලෙ ගහන්න දෙන්න කියලා. ඒත් සඳකැන් අයියා 5 වැනි බෝලෙන් ම මැච් එක ඉවර කළා. ඒක අමතක නොවන මතකයක්. හැමෝම මගේ ඒ ඉනිම අගය කළා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ගොඩක් දෙනෙක් කිව්වේ මේ වගේ තරගයක් ඇදගෙන ගිහින් ඉවර කරන්න පුරුදු වෙන්න ඒක පට්ටයි කියලා. නවකයෙක් ලෙස ඒ වගේ වෙලාවක කලබලයක් නැතිව සෙල්ලම් කරපු එක ම ලොකු දෙයක් කියලයි පුහුණුකරු පැවසුවේ.”

තවත් විශේෂාංග ලිපි:

ගාලු කණ්ඩායම, ධනංජයගෙන් පන්දු යවන්නෙක්ගේ දක්ෂතා බලාපොරොත්තු වූව ද ඔහු පිතිකරුවෙක් ලෙසින් තම දක්ෂතා ද දක්වන්නේ ඒ අයුරිනි. එය බොහෝ දෙනෙක්ගේ ප්‍රසාදයට ලක් විය. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි තැන ගන්නේ ධනංජය ය. ඔහු තරග 8කට මුහුණ දෙමින් ඉනිම් 7ක දී පන්දුවාර 26ක් යවමින් ලකුණු 225කට කඩුලු 13ක් දවා ගන්නේ ය. එහි දී ඔහුගේ හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 36කට කඩුලු 3යි. ඒ අවසන් මහා තරගයේ දී යාපනය කණ්ඩායමට එරෙහිව පෑ දක්ෂතාව ය. 

පිතිකරුවෙක් ලෙසින් ධනංජය ඉනිම 5ක දී පිටියට පිවිසෙමින් ලකුණු 77ක් ලබා ගන්නේ නොදැවි සිටි ඉනිම් 3ක් ද ඊට එක් කර ගනිමිනි. ඔහුගේ හොඳම ඉනිම වන්නේ අවසන් පූර්ව තරගයේ දී කොළඹ කණ්ඩායමට එරෙහිව නොදැවි ලබා ගත් ලකුණු 31යි. 

මේ දක්ෂතා හේතුවෙන්ම තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙසින් ධනංජය සම්මානයට පාත්‍ර වන අතර ලොව ප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන cricinfo මගින් තෝරාගත් LPL කණ්ඩායම සඳහා ද ධනංජයගේ නම ඇතුළත් වන්නේ ය.

“අතිරේක ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට එකතු වෙලා මේ වගේ දක්ෂතා දක්වන්න ලැබීමට ගැන ඇත්තටම සතුටුයි. මට සෑම තරගයක දී ම අවශ්‍ය වුනේ තරගය දිනවන්න යමක් කරන්න. මම හිතන්නේ මේ දක්ෂතා දක්වන්නත් එක ම හේතුව ඒක වෙන්න ඇති” ධනංජය පැවසුවේය. 

මේ දක්ෂතාවලට ධනංජයට පාර කපන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ය. වමතින් පිත්ත හැසිර වූ ධනංජය දකුණතින් මද වේගපන්දු යවමින් රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් පිටිය ආක්‍රමණය කරන්නේ වයස අවුරුදු 11 දී පමණ ය. ඒ වයස අවුරුදු 13න් පහළ දෙවැනි පෙළ කණ්ඩායමෙන් ය. එතැනින් ඇරඹෙන ධනංජයගේ රිච්මන්ඩ් ක්‍රිකට් දිවිය 2018 වසරේ දී වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දක්වා විකාශය වන්නේ ය. 

“තාත්තට ලොකු උවමනාවක් තිබුණා මාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න. ඒ නිසාම ද මන්දා මමත් පුංචි දවස්වල සිටම ක්‍රිකට්ම තමයි. මම පුංචි දවස්වල වැඩි හරියක්ම කාලය ගත කළේ මගේ ලොකු තාත්තගේ පුතාලා තුන් දෙනාත් එක්ක නිතරම සෙල්ලම් කරමින්. කවදාවත් තාත්ත ඒකට එපා කියල නැහැ. තාත්තම තමයි මාව ක්‍රිකට් ගහන්න එක්ක යන්නේ.”

ධනංජයගේ පියා, පියල් චන්ද්‍රසිරි ව්‍යාපාරිකයෙක් ලෙසින් කටයුතු කරන ගමන් ධනංජයගේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ද කාලය ගත කරන්න අමතක නොකරන්නේ ය. ධනංජයගේ තරග නැරඹීමට ඔහු වඩාත් රුචිකත්වයක් දක්වන්නේය. මව, නිලන්ති ප්‍රියංකා සුරවීරත් වැඩිමල් සහෝදරිය චන්දිමා ලක්ෂානිත් ධනංජයගේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිහඬ ප්‍රේක්ෂිකාවෝ ය.

ධනංජය තම ආදරණීයයන් සමඟ

ධනංජයගේ පාසල් කාලය ජයග්‍රහණ රාශියකින් පිරී ඇත. ඒ අතර 2011කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයත් ධනංජයගේ උපනායකත්වයෙනුත් යුත් කණ්ඩායම පාසල් ක්‍රිකට් පළමු පෙළ ශූරතාවත්, 2014 වසරේ දී නැවත කමිඳුගේ නායකත්වය යටතේ  වයස අවුරුදු 15න් පහළ අනු ශූරතාවත්, 2015 වසරේ දි චරිත් අසලංකගේ නායකත්වය යටතේ වයස අවුරුදු 17න් පහළ ශූරතාවත්, 2017 වසරේ කමිඳුගේ නායකත්වය යටතේ වයස අවුරුදු 19න් පහළ එක්දින ශූරතාවත් සහ එම වසරේ දී ම දෙදින අනුශූරයන් ලෙසත් සහ 2018 වසරේ තමන්ගේ නායකත්වය යටතේ දෙදින තරගාවලියේ වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් ශූරතාවත් සහ එක්දින ශූරතාවත් දිනා ගන්නේ ය. 

2015 සිට 2018 දක්වා විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරමින් ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලිය ද නියෝජනය කර ඇති ධනංජය එහි දී 2017 වසරේ ශතකලාභීන්ගේ ලැයිස්තුවට ද එක් වීමට සමත් වන්නේ ය. 

“පාසල් කාලයේ දී මම, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංක යන අපි සිවුදෙනා එකට රිච්මන්ඩ් කණ්ඩායම් නියෝජනය කළ අවස්ථා තිබුණා. ඇත්තටම ඒ අතීතය හරිම රසවත්. නැවත අපි එකිනෙකා හමුවෙද්දී දැනෙන සතුට ඒ වගේමයි. ඒ වගේම අපි සිවු දෙනාට පළමු LPL තරගාවලියට නියෝජනය කරන්න ලැබීමටත් ලොකු සතුටක්” ධනංජය පවසනවා.

2011 වයස අවුරුදු 13න් පහළ ජයග්‍රාහී රිච්මන්ඩ් කණ්ඩායමේ සාමාජිකයෙක් වෙමින්

2018 වසරේ දී වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් ද කටයුතු කරන්නේ ධනංජය ය. එම වසරේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ධනංජය අයර්ලන්තයට එරෙහිව නොදැවී ශතකයක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලබන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 98ක් ද ලබා ගනිමින් තරගාවලියේ දී ලකුණු 260ක් වාර්තා කරමින් දක්ෂතා දක්වන්නේය. 

ධනංජය පාසල් කාලයේ දී ම ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ 2018 Super Provincial එක්දින තරගාවලියේ ගාලු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබන අතර ඊට පසුව පැවති SLC T20 League තරගාවලිය වෙනුවෙන් ද ගාලු කණ්ඩායම නියෝජනය කරන්නේය. එම වසරේ ම කෝල්ට්ස් කණ්ඩායම හා එක්වෙන ධනංජය පළමු පෙළ ක්‍රිකට් තරග පිටියට ද අවතීර්ණ වන්නේ ය. ඔහු 2019/20 Major Emerging තරගාවලියේ ශූරතාව දිනා ගත් කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකයෙකි. 

“මම මෙතෙක් පැමිණි ගමන ගැන ගොඩක් සතුටු වෙනවා. ඒත් තව යන්න ගොඩක් දුර තියෙනවා. මම විශ්වාස කරනවා, මගේ ඒ ගමනට LPL තරගාවලියේ දක්ෂතා විශාල වැදගත්කමක් එක් වෙයි කියලා. ඉදිරි කාලය සැලසුම් කරල තියෙන්නේ මගේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න. ඒ වෙනුවෙන් සහ පාසල් කාලයේ සිට මගේ ක්‍රිකට් දිවියට උදව් කළ පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනා මේ වෙලාවේ ආදරෙන් සිහිපත් කරනවා.

ඒ වගේම මගේ ගෙදර සියලු දෙනාමත් මතක් කරනවා. ඔවුන් සියලු දෙනාගේ වගේ ම මගෙත් බලාපොරොත්තුව ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ එක්වෙන්න. දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් කාලයක් යන තුරු මගේ සේවය ලබා දෙන්න” ධනංජය ලක්ෂාන් ThePapare.com සමඟ සාකච්ඡාව අවසන් කරමින් පැවසුවේය. 

මංගල ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ම නැගී එන ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වූ ධනංජයගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉටු වේවා යැයි ThePapare.com හී ද ප්‍රාර්ථනාවයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<