දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය අවදානමක? ක්‍රීඩකයෙකුට කෝවිඩ්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය 2020/21

180

Covid-19 වසංගතය යළිත් වතාවක් දකුණු අප්‍රිකානු භූමිය තුළ හිස ඔසවමින් පවතින මොහොතක එරට ක්‍රියාත්මක වෙමින් පැවති සිව්දින දේශීය පළමු පෙළ තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. 

මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් එරට ක්‍රිකට් ආයතනය ඊයේ (17) දිනයේ දී සඳහන් කර සිටියේ දෙවන රැල්ලෙහි බලපෑම තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් පැන නැඟී ඇති නිසාවෙන් මෙවැනි ක්‍රියාමාර්ගයකට එළැඹීමට පාලනාධිකාරිය වශයෙන් ඔවුන්ට සිදු වූ බවයි. 

ඒ අනුව Titans සහ Dolphins කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයට පෙරාතුව දෙපිළේම ක්‍රීඩකයින් PCR පරීක්ෂණය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබූ අතර සඳුදා (14) දිනයේ දී එහි ප්‍රතිඵල පැමිණීමත් සමඟම Dolphins කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුනි. 

ඒ අනුව පවතින අනාරක්ෂිත සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් තරගය තවදුරටත් දියත් කිරීම නොසුදුසු යැයි තීරණය කළ තරග තීරකවරුන් පළමු දිනයේ නිමාවත් සමඟින් තරගය අතහැර දැමීමට පියවර ගෙන තිබුනි. ඉන් අනතුරුව සමස්ත තරගාවලියේ සෙසු තරග සියල්ලම දින නියමයකින් තොරව කල් දැමීමට සංවිධායකවරුන් එකඟතාව පළකර තිබේ. 

ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත්ව සිටින Aiden Markram සහ Dean Elgar දෙපළද සෙන්චූරියන්හි සුපර්ස්පෝට් පාර්ක් ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවති ඉහත කී තරගය සඳහා සහභාගී වී ඇති නිසාවෙන් යම් අවදානම් සහගත තත්වයක් ඉස්මතු විය හැකි බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා සූදානම් කර තිබෙන්නේ ද සුපර්ස්පෝට් පාර්ක් ක්‍රීඩාංගණය වන බැවින් මෙවැනි වාතාවරණයක් හමුවේ තවදුරටත් තරග සංවිධාන කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්වයකට මුහුණ පෑමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ. 

දේශීය තරගාවලීන්ට සාපේක්ෂව දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකා තරග සංචාරය, බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුම වැඩපිළිවෙල මේ වන විටත් සම්පාදනය කෙරෙමින් පවතින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂක Graeme Smith මහතා සඳහන් කර සිටියේය. 

“ක්‍රීඩකයින්, කාර්‍ය මණ්ඩල නිලධාරීන් ඇතුළු සියලු දෙනාගේම සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අප වගකිව යුතුයි. ඒ නිසා Covid-19 වසංගතයෙන් ඇති වෙන්න පුළුවන්  අහිතකර බලපෑම් පාලනය කරන්න අවශ්‍ය නිසි ක්‍රමවේදයන් දැනටමත් අපි අනුගමනය කරමින් තමයි ඉන්නේ. දේශීය තරගාවලි වගේ නෙමෙයි, ඊට වඩා දැඩි ජෛව-ආරක්ෂණ යාන්ත්‍රණයන් යටතේ ශ්‍රී ලංකා තරග සංචාරය අපි සැලසුම් කරලා තියෙන නිසා ගැටළුකාරී තත්වයක් ඇති වෙන්න පුළුවන් සම්භාවිතාව ඉතාමත් අවමයි.” 

දකුණු අප්‍රිකානු සංචිතයෙහි වෙනසක් 

මේ මස 26 වනදා සිට ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුගෙන් තම සංචිතය ශක්තිමත් කිරීමට දකුණු අප්‍රිකානු තේරීම් කටයුතු පියවර ගෙන තිබේ. 

ඒ අනුව දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමෙහි නායකත්වය හෙඹ වූ Raynard Van Tonderට අමතරව Lutho Sipamla සහ Dwaine Pretorius යන ක්‍රීඩකයින් දෙදෙනා ද සිය නාමයන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ඇතුළත් කරගැනීමට වරම් හිමිකර ගෙන තිබේ. නවකයින් දෙදෙනෙකු වන Sipamla සහ Tonder තම මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ සිහිනය සැබෑ කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවන අතර Pretorius දකුණු අප්‍රිකානු වර්ණයන්ගෙන් සැරසී ටෙස්ට් තරග ත්‍රිත්වයකට සිය දායකත්වය ලබාදී තිබේ. 

වෛද්‍ය නිර්දේෂයන්ට අනුව තවමත් Kagiso Rabada හට ක්‍රීඩා කිරීමට අවසර ලැබී නොමැති බව ආරංචි මාර්ග සඳහන් කර සිටියි. ඒ අනුව තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් පැවැත්වෙන පළමු පුහුණු සැසිය හෙට (19) දිනයේ දී ප්‍රිටෝරියාහි දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

ශ්‍රී ලංකාවට එරෙහිව නම් කළ දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය: 

Quinton de Kock (captain), Temba Bavuma, Aiden Markram, Faf du Plessis, Beuran Hendricks, Dean Elgar, Keshav Maharaj, Lungi Ngidi, Rassie van der Dussen, Sarel Erwee, Anrich Nortje, Glenton Stuurman, Wiaan Mulder, Keegan Petersen, Kyle Verreynne, Migael Pretorius, Dwaine Pretorius, Lutho Sipamla, Raynard van Tonder. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<