LPL දෙවන අදියරේ කණ්ඩායම් ගණන ඉහළට

5468
LPL 2021 to feature a franchise

ලබන වසරේ ජූලි මාසෙය් දී පැවැත්වීමට සැලසුම් කර ඇත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා තවත් එක් කණ්ඩායමක් එක්කර ගැනීමට තීරණය කර ඇති බව Sri Lanka Cricket YouTube channel හී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තරගාවලියේ අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරන ලදි.

ඒ අනුව ලබන වසරේ (2021) ජූලි -අගෝස්තු කාලසීමාවේ දී පැවැත්වීමට නියමිතව ඇති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර සඳහා නැගෙනහිර පළාත නියෝජනය කරමින් කණ්ඩායමක් එක්කිරීමට නියමිතව බව ද ඔහු එහි දී ප්‍රකාශ කරන ලදි.

“අපි ලබන වසරේ ජනවාරි මාසයේ සිටම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. LPL තරගාවලිය කණ්ඩායම් 6ක් සහභාගි කරගනිමින් 2021 ජූලි 27 සිට අගෝස්තු 19 තෙක් පවත්වන්න සැලසුම් කරලා තියෙන්නේ. අපි එම දෙවන අදියර සඳහා නැගෙනහිර පළාත නියෝජනය කරමින් ත්‍රිකුණාමලය නගරය කේන්ද්‍ර කරගනිමින් නව කණ්ඩායමක් එක්කර ගැනීමට සැලසුම් කරලා තියෙන්නේ.

ඒ වගේම අපි එක් කණ්ඩායමකට ප්‍රධාන කාණ්ඩයේ විදෙස් ක්‍රීඩකයන් (Icon Players) දෙදෙනෙක් ඇතුළත් කිරීමට සැලසුම් කරන අතර Chris Gayle, Faf du Plessis, AB de Villiers වැනි පන්දුවාර විස්ස තරග පිටියේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් තරගාවලියට සහභාගි කරගනිමින් තරගාවලියේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමට ද බලාපොරොත්තුවෙන් සිටිනවා.”  

LPL තතුවිත්ති:

එම සාකච්ඡාවේ දී 2021 තරගාවලිය පිළිබඳව සඳහන් කළ විශේෂ කරුණු,

  • තරගාවලිය ජූලි 27 සිට අගෝස්තු 19 දක්වා පැවැත්වෙනු ඇත.
  • ත්‍රිකුණාමලය නියෝජනය කරමින් නව කණ්ඩායමක් එක්වෙයි.
  • එක් කණ්ඩායමකට විදෙස් icon ක්‍රීඩකයන් දෙදෙනෙක්.

කොරෝනා වසංගත තත්වය යටතේ අභියෝග රැසකට මුහුණ දෙමින් පැවති ලංකා ප්‍රිමියර් ලීග් 2020 මුල් අදියර සියල්ලන් බලාපොරොත්තුව වූ ප්‍රගතියට වඩා වැඩි සාර්ථකත්වයක් ගෙන දෙමින් ඊයේ දිනයේ දී (16) අවසන් වූ අතර තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Jaffna Stallions කණ්ඩායම එහි ශූරතාව දිනා ගැනීමට සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<