“මම බලාපොරොත්තු වෙනවා සනත් අයියා මේ ලිපිය කියවයි කියලා” – චමරි අතපත්තු

625
Sanath aiya inspired me

ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රබල ආරම්භක පිතිකරු සනත් ජයසූරිය තමන්ට විශාල දිරිගැන්වීමක් වූ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා කාන්තා පන්දුවාර 20 කණ්ඩායමේ නායිකා ප්‍රබල පිතිකාරිණී චමරි අතපත්තු පසුගිය දා පැවති සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වන්නට විය.

“1996 ලෝක කුසලානය අපි ජයග්‍රහණය කරද්දී මගේ වයස අවුරුදු 6යි. ඒ මුළු කණ්ඩායමටම මම ගොඩක් ආදරය කළා. නමුත් මම විශේෂයෙන්ම ආදරය කළේ සනත් ජයසූරියට. ඔහු පන්දු යවන්නන්ව සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනයට නතුකරගත්තා වගේම ප්‍රවේගකාරීව පන්දුවට පහර දුන්නා. 

ඒ ලෝක කුසලානයෙන් පස්සේ තිබ්බ ‘Singer’ කුසලාන තරගාවලියේ සහ ආසියානු තරගාවලියේ දීත් ඔහු ගොඩක් ලස්සනට පිතිහරඹයේ නිරත වුනා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමඟ තරග වදිනකොට ඔහු Javagal Srinath සහ Venkatesh Prasad වගේ පන්දු යවන්නන් හමුවේත් වේගයෙන් පන්දුවට පහර දුන්නා. ඔහු සහ රොමේෂ් කළුවිතාරණ ඒ කාලේ ගොඩක් අවස්ථාවල දී කණ්ඩායමට ඉතා හොඳ ආරම්භයක් අරන් දෙන්න සමත් වුනා. ඉතින් සනත් අයියා පන්දුවට පහර දෙනවා බලන් ඉන්නකොට මට හරියට දැනුණේ මම එතැන තරගයේ ක්‍රීඩා කරනවා වගේ. 

පොඩි කාලේ ඉඳලාම මම වමත් පිතිකරුවෙක්. මම හිතනවා සනත් අයියාත් තරමක් දුරට ඒකට හේතුවක් කියලා (ලියන එක වගේම එදිනෙදා වැඩ ගොඩක් මම කරන්නේ දකුණු අතෙන්). ඉතින් ඒ කාලෙත් මගේ ‘stance’ එක වගේම ‘bat grip’ එකත් ඔහුගේ වගේමයි. අපි ඒ කාලේ ගෙවත්තේ ක්‍රිකට් ක්‍රීඩා කළා. එහෙම ක්‍රීඩා කළේ මට වඩා වැඩිමල් වගේම බාල අසල්වාසී පිරිමි ළමයි ගොඩක් සමඟ. එතැන හිටපු එකම ගෑණු ළමයා මම. 

ඒත් ඇත්තටම ගොඩක් අවස්ථාවල දී ජයග්‍රහණය හිමිකර ගත්තේ මම. එතකොට මම නිතරම සනත් අයියාගේ ‘flick’ එක සහ ‘cut’ එක ක්‍රීඩා කරන්න පුරුදු වෙලා හිටියා. අදටත් ගොඩක් අය මට කියන දෙයක් තමයි සනත් අයියාගේ පහරවල් ගොඩක් මම ක්‍රීඩා කරනවා කියන එක. ඉතින් මට හිතෙන විදිහට මම ඔහුගේ පිතිහරඹයට කොච්චර ආදරය කළා ද කියනවා නම් අන්තිමට ඒකේ කොටසක් මගේ පිතිහරඹයටත් ඇවිත් තියෙනවා. මම ඇත්තට ම ඔහු වගේ වමත් පිට දඟපන්දු යවන්නත් මුලින් උත්සාහ කළා. ඒත් ඒක එච්චර හරිගියේ නැහැ. ඉතින් මම පිට දඟපන්දු යවන්නෙක් විදිහට මාරු වුනා. 

මුල් කාලේ මම ඒ 1996 කණ්ඩායමේ හිටපු ගොඩක් ක්‍රීඩකයින්ගේ පිතිකරණ වගේම පන්දු යැවීමේ ඉරියව් අනුකරණය කරන්න පුරුදු වෙලා හිටියා. ඒ සමහර ක්‍රීඩකයින් වගේ ක්‍රීඩාංගණයට ඇවිදන් ගිහින් ඔවුන්ගේ විදිහට ‘guard’ එක ගන්න පවා මම දැනගෙන හිටියා. ඉතින් මම ඒවා ඒ විදිහට මගේ තාත්තාගේ යාළුවෝ ඉස්සරහ අනුකරණය කරලා පෙන්නුවම ඔවුනුත් ඒකට ගොඩක් කැමති වුනා.

මට මුත්තයියා මුරලිදරන් හෝ කුමාර් ධර්මසේන හෝ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හෝ රවින්ද්‍ර පුෂ්පකුමාර වගේ පන්දු යවන්න පවා පුළුවන් කමක් තිබ්බා. නමුත් සනත් අයියා ගත්තොත් ඔහුගේ පුරුදු ගොඩක් මට ඒ විදිහට ම කරන්න පුළුවන් වුනා. ඒ ඔහු ඔහුගේ ‘pads’ හදාගන්න විදිහ සහ ඔහුගේ ‘helmet’ එක උඩට පහළට කරන විදිහ පවා ඇතුලත්ව. ඇත්තට ම ඒ දේවල් මට දැන් මැවිලා පේනවා මොකද මම පොඩි කාලේ ඒ තරමට ම මම ඒ දේවල් අනුකරණය කළා. 

ඒත් කාලයත් එක්ක පාසල් සහ ජාතික ක්‍රිකට් පද්ධතීන් එක්ක මම ඉස්සරහට එද්දී මට ලැබුණ පුහුණුවත් එක්ක පස්සේ මම මටම ආවේණික ශෛලියක් ගොඩනඟා ගත්තා. ඒත් අදටත් ඔබට ඒ තුළ සනත් අයියාව බලාගන්න පුළුවන්. මම ගොඩක්ම ඇලුම් කළේ ඔහුගේ ‘flick shots’ වලට. ඒ වගේම ඔහු ‘point’ සහ ‘extra cover’ කලාප වලට ඉහළින් හයේ පහරවල් එක්ක කරපු විදිහටත් මම ගොඩක් ආසයි. 

මේ අවුරුද්දේ තිබ්බේ පන්දුවාර 20 ලෝක කුසලානයේ දී මට ‘sweeper cover’ට උඩින් හයේ පහරක් එල්ල කරන්නත් පුළුවන් වුණා. එක ගොඩක් ක්‍රීඩකයින්ට කරන්න බැරි දෙයක්. ඒ වගේම මේ ළඟදී වීඩියෝ පටයක් තිබ්බා ඔහුගේ සහ මගේ පිතිහරඹයේ සමානකම් පෙන්නපු. ඉතින් ඒක බලලා මම ගොඩක් විනෝද වුනා. 

සනත් අයියාගේ ක්‍රිකට් දිවියේ අන්තිම කාලේ වෙනකොට 2011 වසරේ මගේ උපන් දිනය දවසේ මට ඔහුගේ ‘net’ එකට එහාපැත්තේ ‘net’ එකේ පන්දුවට පහර දෙන්න අවස්ථාවක් ලැබුණා. ඔහු එතැන පුහුණුවීම් කරලා ඉවර වුනාට පස්සේ මගේ පුහුණුකරුවා සනත් අයියාට කිව්වා මම ඔහුගේ ලොකු රසිකාවියක් කියලා. ඉතින් ඔහු නැවතිලා ටිකක් වෙලා මම පන්දුවට පහර දෙනවා බලාගෙනත් හිටියා. ඒ වගේම මගේ පුහුණුකරුවා ඔහුට කිව්වා එදා මගේ උපන් දිනය කියලත්. එතකොට සනත් අයියා විහිළුවට කිව්වා ‘කෝ මට කේක් හම්බුණේ නැහැනේ’ කියලා. ඉතින් මම පස්සේ මගේ කණ්ඩායමට දෙන්න ගෙනාපු කේක් එකෙන් කෑල්ලක් ඔහුට දුන්නා. ඒකට සනත් අයියා මට ඔහුගේ ‘bat’එක, gloves සහ pads දෙන්න කටයුතු කළා. අදටත් ඒවා මං ළඟ තියෙනවා. ඒ දේවල් ඇත්තට ම මට ගොඩක් වටිනවා. 

තවත් කියවන්න;

පස්සේ අවුරුදුවල ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් පාලක මණ්ඩලයේ සභාපති වුනාම ඔහු නිතරම වගේ අපි පුහුණු වුන ක්‍රීඩාංගණවලට ආවා. එතකොට මම කාන්තා කණ්ඩායමේ නායිකාව වෙලා හිටියේ. ඉතින් ඔහු නිතරම ඇවිත් අපිට උපදෙස් දෙනවා. ඔහු මට කිව්වා ඕනෑවට වඩා පීඩනයක් තමන්ට දාගන්නේ නැතුව ධනාත්මකව පන්දුවට පහර දෙන්න කියලා. ඒ වගේම අදාළ අවස්ථාව ගැන ඕනෑවට වඩා කරදර දෙන්නේ පිටියේ දී නැතුව මට මගේ ම චරිතය පෙන්නන්න කියලත් ඔහු මට කිව්වා. අදටත් ඉඳලා හිටලා මම ඔහුව දකිනවා. ඉතින් එහෙම අවස්ථාවක දී අනිවාර්යයෙන් ම මම ඔහු වෙත ගිහින් කතා බහ කරනවා. ඔහු නිතරම මාව ගොඩක් දිරිගන්වනවා. 

ඔහුගේ ක්‍රීඩා විලාශයේ සමහර දේවල් තියෙනවා මම තාමත් මගේ ක්‍රීඩා ශෛලියට යොදාගන්න කැමති. ඔහු මට වඩා හොඳට දඟපන්දු යවන්නන් හමුවේ පහර දුන්නා. විශේෂයෙන් ම ඔහු පිට දඟපන්දු යවන්නන්ට ගොඩක් හොඳින් පහර දුන්නා. ඒ වගේම ඔහු ගොඩක් ඉවසීමෙනුත් පිතිහරඹයේ නියැලුණා. ඒක මම තව දියුණු කරගන්න ඕනේ දෙයක්. ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන් ම වෙනස් කරපු කෙනෙක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔහු මේ ලිපිය කියවයි කියලා. ඒ වගේම මම තව බලාපොරොත්තු වෙනවා ඔහු මට දිරිගැන්වීමක් වුණා වගේම ඉදිරියටත් තවත් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ඔහු හොඳ දිරිගැන්වීමක් වෙයි කියලා.”

www.thecricketmonthly.com/ වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<