මානසික හිංසන නිසා පාකිස්තාන වේගපන්දු යවන්නා ක්‍රීඩාවට සමුදෙයි

375

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Galle Gladiators නියෝජනය කළ කැපීපෙනෙන විදෙස් ක්‍රීඩකයෙකු මෙන්ම පාකිස්තාන ප්‍රබල වේගපන්දු යවන්නෙකු වන Mohammed Amir ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් Mohammed Amir පවසා ඇත්තේ පසුගිය කාලය තුල පාකිස්තාන ජාතික කණ්ඩායමේ කළමනාකාරිත්වය තමන්ට සැලකූ ආකාරය තමාට දැඩි මානසික පීඩාවක් වූ බවත්, එය මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට ප්‍රධාන හේතුව වූ බවත්ය.

පසුගිය වසරේ ජුනි මාසයේ දී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩාවට සමුදීමට Mohammed Amir තීරණය කළේ ඒ වන විට ඔහුට ඇති තරග ප්‍රමාණය අධික බව පවසමිනි. 

කෙසේ වෙතත් තමාට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කැමැත්තක් නොමැති බව Mohammed Amir පාකිස්තාන මාධ්‍යවේදියෙකු සමඟින් පවසා තිබෙනවා. එහි දී ඔහු පවසා සිටියේ වත්මන් පාකිස්තාන ක්‍රිකට් කළමනාකාරිත්වය සමඟින් තවදුරටත් ක්‍රීඩා කිරීමට තමන් අකැමැති බවයි. එමෙන්ම ඉදිරියේ දී ආරම්භ වීමට නියමිතව ඇති පාකිස්තාන –  නවසීලන්ත තරගාවලියට තමන් නම් නොකිරීම මෙම තීරණය ගැනීමට තමන්ට පණිවිඩයක් ලබා දුන් බවත් ඔහු පවසා තිබෙනවා.

පාකිස්තාන ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් අනතුරුව Mohammed Amir ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Galle Gladiators කණ්ඩායම නියෝජනය කළ අතර තරගාවලියේ අනුශූරතාව දිනා ගත් එම කණ්ඩායම වෙනුවෙන් කඩුලු 11ක් දවා ගැනීමට ඔහු සමත් විය.

“මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් දැන් පාකිස්තාන කණ්ඩායමේ වටපිටාව බැලුවොත් තේරෙනවා ඔවුන් මාව කොන් කරලා තියෙන්නේ. ඒක පැහැදිලිව පේන දෙයක්. ඔවුන් නම් කළ ක්‍රීඩකයන් 35ක සංචිතයට මාව ඇතුළත් වෙලා තිබුණේ නැහැ. ඒකෙන් මට පණිවිඩයක් ලැබුණා මේක තමයි වෙලාව කියලා පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්න” පාකිස්තාන මාධ්‍යවේදියෙකු සමඟින් සමාජ මාධ්‍ය තුල පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී Mohammed Amir පවසා තිබෙනවා. 

“මම හිතන්නේ නැහැ මේ කළමනාකාරිත්වය යටතේ මට තවත් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. මම මේ කාලය තුල මානසිකව ගොඩක් හිංසනයට ලක්වුනා. මට තවත් මේ දේවල් ඉවසාගෙන ඉන්න බැහැ. පසුගිය 2010 – 2015 කාලයේ දී මට ගොඩක් හිංසා වුනා. මම වැරැද්දක් කළා. මට ඒකට දඬුවමක් ලැබුණා. මම ක්‍රීඩාවෙන් ඉවත් වෙලා ඒ දඬුවම වින්දා.” Amir තවදුරටත් පවසා සිටියේය.

තවත් ක්‍රිකට් පුවත්: 

තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය පිළිබඳව අදහස් දක්වමින් Amir සඳහන් කර සිටියේ ඔහු තම ක්‍රිකට් දිවියේ පුද්ගලයන් දෙදෙනකුට වඩාත් ගරු කරන බවයි. ඒ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධානී Najam Sethi සහ පාකිස්තාන සුපිරි ක්‍රීඩක Shahid Afridi හටය. 

“මට කෙතරම් හිංසා සිදුවුනත් මට පාකිස්තාන ක්‍රිකට් ආයතනය ගොඩක් අවස්ථා ලබා දුන්නා. ඒ ගැන මම පුද්ගලයන් දෙදෙනකුට ස්තූතිවන්ත වෙනවා. මම අවුරුදු 5ක තහනමකින් පස්සේ ආයෙත් ක්‍රීඩාවට ආවේ. මම නැවත කණ්ඩායමට ආවට පස්සේ Najam Sethi සහ Shahid Afridi මට ගොඩක් උදව් කළා. ඔවුන් මගේ දක්ෂතා ගැන ලොකු විශ්වාසයකින් කටයුතු කළා. එක වෙලාවකදි මුළු කණ්ඩායමම කිව්වා අපි Mohammed Amir එක්ක ක්‍රීඩා කරන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ Najam සහ Afridi තමයි මාව කණ්ඩායමට ගෙනාවේ. ” 

2009 වසරේ දී අවුරුදු 17ක තරුණයෙකු ලෙස පාකිස්තාන ජාතික කණ්ඩායමට පිවිසෙන Mohammed Amir ආරම්භයේ සිටම ප්‍රබල පන්දු යවන්නෙකු වීමේ ලක්ෂණ පෙන්වීමට සමත් විය. ඉන් වසරකට පසුව 2010 වසරේ දී ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති තරගයක් අතරතුර තරග පාවාදීමේ චෝදනාවක් ඔහුට එල්ල වූ අතර මාස ගණනාවක නඩු විභාගයකින් අනතුරුව ඔහුට වසර 5ක ජාත්‍යන්තර තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කළේය.

2015 වසරේ දී සිය තරග තහනම ඉවත් වීමෙන් අනතුරුව නැවතත් පාකිස්තාන ජාතික කණ්ඩායමට පිවිසීමට තරම් වාසනාවන්ත වන Mohammed Amir සිය දෙවන ජාත්‍යන්තර ආගමනය 2016 වසරේ දී සනිටුහන් කළේය. 

Mohammed Amirගේ දෙවන ජාත්‍යන්තර ක්‍රිකට් ආගමනයේ වඩාත්ම කැපීපෙනෙන අවස්ථාව ලෙස 2017 වසරේ ICC Champions Trophy තරගාවලියේ අවසන් මහා තරගය දැක්විය හැක. සිය වේගවත් පන්දු යැවීමෙන් ප්‍රබල ඉන්දීය ඉදිරිපෙළ විනාශ කිරීමට Mohammed Amir සමත්වූයේ පාකිස්තානයට සිය පළමු Champions කුසලානය හිමිකර දෙමිනි. 

පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 36ක්, එක්දින තරග 61ක් සහ විස්සයි විස්ස තරග 50කට ක්‍රීඩා කර ඇති Mohammed Amir එහි දී පිළිවෙළින් කඩුලු 119, 81 හා 59 බැගින් දවාගෙන තිබේ. 

Mohammed Amir මෙලෙස සිය සමුගැනීම ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණි.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන වසීම් ඛාන් මහතා අද පස්වරුවේ මොහොමඩ් අමීර් සමඟ ඔහුගේ ඉදිරි ක්‍රීඩාව සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර ඇති බවට වාර්තා වූ නිසා. මේ සාකච්ඡාවේ දී Mohammed Amir පවසා තිබුණා ඔහු ක්‍රීඩාවෙන් ඉවත්වන බවට. නිසා පාකිස්තාන සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම අනාගත ජාත්‍යන්තර තරගාවලි සඳහා ඔහුව නොසැලකිය යුතු ක්‍රීඩකයෙක් බවට අපි තීරණය කළා. මෙය Mohammed Amirගේ පෞද්ගලික තීරණයක්. පාකිස්තාන ක්‍රිකට් ආයතනය විදිහට අපි තීරණයට ගරු කරනවා. වගේම මේ අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමක් සිදු නොකිරීමට අපි තීරණය කළාපාකිස්තාන ක්‍රිකට් ආයතනය එහි දී නිවේදනය කර තිබේ.

පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස Mohammed Amir කණ්ඩායමට ඉටු කළ සේවය පිළිබඳව කිසිදු සඳහනක් හෝ ස්තූති කිරීමක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිදු නොකිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබූ අතර එය Amir සහ පාකිස්තාන ක්‍රිකට් ආයතනය අතර ඇති ගැටුම පිළිඹිබු කරන්නක් බව බොහෝ දෙනාගේ මතයයි.

India Today සහ ESPNcricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<