මහමායාවන් 20 වැනි වරටත්, සාන්ත ජෝසප් 15 වැනි වරටත් ශූරතාවය දිනා ගනී

469

45 වැනි වතාවටත් පැවැත්වුණු මයිලෝ සමස්ත ලංකා පාසල් වයස් සීමා ජල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (11) සාර්ථකව අවසන් විය. එහි දී මහනුවර මහමායා බාලිකා විද්‍යාලය නොකඩවා 20 වැනි වරට එහි සමස්ත ශූරතාවය දිනා ගන්නා විට, නොකඩවා 15 වැනි වතාවටත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය බාලක අංශයේ සමස්ත ශූරතාවය දිනා ගන්නා ලදි.

මහමායාවෝ හා විසාකාවෝ කරට කර සටනක

වසර 19ක අභිමානය මේ වසරේදීත් රඳවා ගන්නට මහනුවර මහාමායා විද්‍යාලය මාන බලන…

දින 5ක් පුරාවට සුගතදාස ජල තටාකයේ ක්‍රියාත්මක වුන මේ තරගාවලියේ යොවුන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතාමත් හොඳ මට්ටමේ දස්කම්වලට පැමිණීම මෙහි දී ඉතාමත් හොඳින් කැපී පෙනුණි.

බාලිකා අංශයේ සමස්ත ශූරතාවය දිනා ගත් මහනුවර මහමායා විද්‍යාලය ප්‍රසාද ලකුණු 527ක් දිනා ගන්නා විට එහි අනුශූරතාවය හිමි කර ගත් කොළඹ විසාකා විද්‍යාලය ප්‍රසාද ලකුණු 523ක් ලබා ගන්නා ලදි. එම නිසා එම පාසල් දෙක අතර තරගාවලිය පුරාවට තියුණු සටනක් දැක ගැනීමට හැකි විය. එනමුත් මහමායා විද්‍යාලයට දෙවෙනි නොවුණු විසාකා විද්‍යාලය කනිෂ්ඨ අංශයේ සමස්ත බාලිකා ශූරතාවය දිනා ගන්නා ලදි. ඔවුන් එම ශූරතාවය දිනා ගත්තේ ප්‍රසාද ලකුණු 180ක් ලබා ගනිමිනි.

ප්‍රසාද ලකුණු 153ක් දිනා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල එහි කනිෂ්ඨ අංශයේ බාලිකා අනුශූරතාවය ජයග්‍රහණය කරන විට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලය (ප්‍රසාද ලකුණු 147.5) එහි තෙවැනි තැන දිනා ගත්තේය.

විසාකා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පිහිනුම් ක්‍රීඩිකාවන් දිනා ගත්තේ ප්‍රසාද ලකුණු 260කි. නමුත් මහමායා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පිහිනුම් ක්‍රීඩිකාවන් ප්‍රසාද ලකුණු 342ක් දිනා ගැනීම නිසා විසාකා විද්‍යාලයේ කනිෂ්ඨ ක්‍රීඩිකාවන් ලබා දුන් වාසියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට විසාකා විද්‍යාලය අපොහොසත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ජල ක්‍රීඩා තරගාවලියේ බාලිකා අංශයේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට මහමායා විද්‍යාලයට හැකි විය. එහි තෙවන ස්ථානය ලකුණු 182ක් දිනා ගත් කොළඹ කාන්තා විද්‍යාලයට හිමි විය.

මහමායා කිරුළ ඩැහැගන්නට විසාකාවෝ මාන බලති

හතළිස් පස්වැනි මයිලෝ ශ්‍රී ලංකා පාසල් වයස් සීමා ජල ක්‍රීඩා තරගාවලියේ තෙවන දිනය වූ..

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය කනිෂ්ඨ (ප්‍රසාද ලකුණු 196) හා ජ්‍යෙෂ්ඨ (ප්‍රසාද ලකුණු 411) අංශ දෙකේම ශූරතාවය දිනා ගැනීම නිසා සමස්ත ශූරතා ලකුණු සටහනේ දෙවන ස්ථානය දිනා ගත් ආනන්ද විද්‍යාලයට සාන්ත ජෝසප් විද්‍යාලයේ අසලට හෝ පැමිණීම ඉතාමත් අසීරු කාර්‍යක විය. අවසානයේ සාන්ත ජෝසප් විද්‍යාලය සමස්ත ශූරතාවය හිමි කර ගැනීමට සමත් වූයේ ප්‍රසාද ලකුණු 607ක් දිනා ගනිමිනි.

>> ඒ ඒ කාණ්ඩයන් වල පාසල් ලබා ගත් ලකුණු <<

ප්‍රසාද ලකුණු 45 බැගින් ලබාගත් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නබාශි පෙරේරා, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ක්‍රිස් පවිත්‍ර හා ආනන්ද විද්‍යාලයේ එම්. එම්. එක්නැලිගොඩ වැඩිම ඒක පුද්ගල ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් බවට පත් විය.

පිහිනුම් ඒක පුද්ගල ශුරතා ලකුණු සටහන

වයස් කාණ්ඩය නම පාසල ලබාගත් ලකුණු නව තරග වාර්තා ගණන
වයස් අවුරුදු 9න් පහළ බාලිකා වන්දනී ප්‍රනාන්දු කළුතර බාලිකා විද්‍යාලය ලකුණු 40 2
වයස අවුරුදු 9න් පහළ බාලක එම්. එම්. එක්නැලිගොඩ ආනන්ද විද්‍යාලය ලකුණු 45 3
වයස් අවුරුදු 11න් පහළ බාලිකා නතාර පෙරේරා විසාකා විද්‍යාලය ලකුණු 30
වයස අවුරුදු 11න් පහළ බාලක දමිරු වික්‍රමතුංග වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 40 2
වයස් අවුරුදු 13න් පහළ බාලිකා නබාශි පෙරේරා සිරිමාවෝ බාලිකා විද්‍යාලය ලකුණු 45 3
වයස අවුරුදු 13න් පහළ බාලක ක්‍රිස් පවිත්‍ර නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 45 3
වයස් අවුරුදු 15න් පහළ බාලිකා ගංගා සෙනෙවිරත්න විසාකා විද්‍යාලය ලකුණු 40 2
වයස අවුරුදු 15න් පහළ බාලක ලකිඳු වීරසිංහ කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 30
වයස් අවුරුදු 17න් පහළ බාලිකා රමුදී සමරකෝන් විසාකා විද්‍යාලය ලකුණු 40 2
වයස අවුරුදු 17න් පහළ බාලක සඳෙව් සේනාරත්න ආනන්ද විද්‍යාලය ලකුණු 35 1
වයස් අවුරුදු 19න් පහළ බාලිකා ආසික් යූසුප් කොළඹ බ්‍රිටිෂ් ජාත්‍යන්තර පාසල ලකුණු 40 2
වයස අවුරුදු 19න් පහළ බාලක කේ. සී. දල්පදාතු ආනන්ද විද්‍යාලය ලකුණු 35 1

මහමායා විද්‍යාලය ලබා ගත් සමස්ත ලකුණු 527න් ලකුණු 225ක්ම ඔවුන්ගේ ලකුණු සටහනට එකතු කළේ මහමායා විද්‍යාලයේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම විසිනි. වයස අවුරුදු 15න් පහළ අංශයේ ලකුණු 122ක් දිනා ගත් විසාකා විද්‍යාලය එහි පෙරමුණ ගත් අතර වයස අවුරුදු 19න පහළ කණ්ඩායම විසින් විසාකා විද්‍යාලයට තවත් ප්‍රසාද ලකුණු 181ක් එක් කළාය. සාන්ත ජෝසප් විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ හා 17න් පහළ කණ්ඩායම් දෙක පිළිවෙළින් ප්‍රසාද ලකුණු 113ක් හා ලකුණු 193.5ක් සිය විද්‍යාලයේ නමට ඉදිරියෙන් එකතු කිරීමට සමත් විය.

ඒ ඒ වයස් කාණ්ඩ අනුව ශූරතාවයන් දිනා ගත් කණ්ඩායම්

වයස් කාණ්ඩය පාසල ලබාගත් ලකුණු
වයස් අවුරුදු 9න් පහළ බාලිකා කළුතර බාලිකා විද්‍යාලය ලකුණු 80
වයස අවුරුදු 9න් පහළ බාලක සාන්ත පීතර විද්‍යාලය ලකුණු 80
වයස් අවුරුදු 11න් පහළ බාලිකා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 76
වයස අවුරුදු 11න් පහළ බාලක නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 85
වයස් අවුරුදු 13න් පහළ බාලිකා සිරිමාවෝ බාලිකා විද්‍යාලය ලකුණු 108.5
වයස අවුරුදු 13න් පහළ බාලක සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 113
වයස් අවුරුදු 15න් පහළ බාලිකා විසාකා විද්‍යාලය ලකුණු 122
වයස අවුරුදු 15න් පහළ බාලක මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 97
වයස් අවුරුදු 17න් පහළ බාලිකා මහනුවර මහමායා විද්‍යාලය ලකුණු 225
වයස අවුරුදු 17න් පහළ බාලක සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 193.5
වයස් අවුරුදු 19න් පහළ බාලිකා විසාකා විද්‍යාලය ලකුණු 181
වයස අවුරුදු 19න් පහළ බාලක ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 124

කිමිදුම් අංශයේ සමස්ත බාලිකා ශූරතාවය ලකුණු 119ක්  දිනා ගත් කොළඹ බිෂොප් බාලිකා විද්‍යාලය විසින් දිනා ගත්තේය. සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය එහි දෙවන තැන දිනා ගත්තේ ප්‍රසාද ලකුණු 97ක් දිනා ගනිමිනි. එසේම ප්‍රසාද ලකුණු 34ක් දිනා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

>>2018 සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරතා තරගාවලියේ සමස්ත ප්‍රතිඵල<<

බාලක අංශයේ කිමිඳුම් ශුරතාවය ලකුණු 208ක් දිනාගත් කොළඹ රාජකීය විද්‍යාලය විසින් හිමිකර ගන්නා විට ලකුණු 169ක් දිනාගත් තර්ස්ටන් විද්‍යාලය එහි අනුශුරතාවය දිනා ගත්තේය. තර්ස්ටන් විද්‍යාලය හා ලකුණු 31ක පරතරයකින් කිම්ඳුම් තරග ඉසව් සඳහා තිත තැබූ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එහි දෙවන අනුශුරතාවය (තෙවන ස්ථානය) හිමි විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<