“සැමට සමානව සලකන්න” Khawajaගෙන් ICCයට ඉල්ලීමක්!

Pakistan Tour of Australia 2023/24

2798

පාකිස්තානය සමඟ පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය අතරතුර කළු අත් පටියක් පැලඳ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Usman Khawajaහට ICCයෙන් චෝදනා එල්ල වුනා.

නමුත් තමන්ට එල්ල වූ මෙම චෝදනාවට Khawajaගෙන් ලැබුණේ එතරම් ධනාත්මක ප්‍රතිචාරයක් නම් නෙවෙයි.

පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා පණිවිඩයක් තැබූ Khawaja විසින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගාසා තීරයේ ඇති වී ඇති ගැටුම් පිළිබඳ අදහස් පළ කර තිබුණා.

මෙහි දී ඔහු විසින් සිය සපත්තු යුගලයේ “නිදහස මානව අයිතිවාසිකමකි”, ” සෑම ජීවිතයක් ම සමානයි” යන වැකි රතු, කොළ සහ කළු (පලස්තීන ධජයේ වර්ණ) වර්ණ වලින් ලියූ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කර තිබුණා.

නමුත් ඔහු එම සපත්තු යුගලය තරගයට පැලඳීමෙන් වැලකී සිටියා. කෙසේ වෙතත් ඔහු එම තරගයේ දී කළු පැහැ අත් පටියක් පැලඳ සිටි බව කැමරා කාචයට හසු වුනා.

” Usman විසින් පළමු තරගයේ දී ICC සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් හි පූර්ව අනුමැතියකින් තොරව පෞද්ගලික පණිවිඩයක් වෙනුවෙන් එය (කළු අත් පටිය) ප්‍රදර්ශනය කළා.

මෙය වෙනත් යන කාණ්ඩය යටතේ ICC නීති උල්ලංඝනය කිරීමක්.”

ක්‍රිකට් ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ට දේශපාලන, ආගමික හෝ වාර්ගික ගැටලු සම්බන්ධයෙන් පණිවිඩ ප්‍රදර්ශනය කිරීම ICCයෙන් තහනම් කර ඇති බවයි ICC නියෝජිතයකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා (22) මේ පිළිබඳ ව අදහස් දැක්වූ Khawaja විසින් පවසා සිටියේ තමන් එම කළු පැහැ පටිය පැලඳුවේ ‘පෞද්ගලික වියෝවක්’ වෙනුවෙන් බවයි.

“තරගයේ දෙවන දිනයේ දී ICCය මගෙන් ඇහුවා අත් පළඳනාව මොකක් සඳහා ද කියලා. මම ඔවුන්ට කිව්වා ඒක පෞද්ගලික වියෝවක් වෙනුවෙන් බව. මම කිසිම වෙලාවක වෙන කිසිම දෙයක් කිව්වේ නැහැ.

සපත්තු තිබුණේ වෙනම කාරණාවකට, මම ඒ ගැන කියන්න සතුටුයි. නමුත් අත් පළඳනාවට එන චෝදනාව නම් කිසිම තේරුමක් නැති එකක්.”

තමන් එම චෝදනාවට කැමැත්තක් නොදැක්වුව ද අත් පටිය පැලඳීමෙන් වැළකීමට තීරණය කළ බවයි Khawaja සඳහන් කරන්නේ.

“ක්‍රීඩකයින් පිති වල ස්ටිකර් අලවනවා, සපත්තු වල නම් සඳහන් කරනවා වගේ ICC අනුමැතියෙන් තොර දේවල් පසුගිය කාලය පුරාවට සිදු කළත් ඒවාට කිසිම දවසක චෝදනා එල්ල වුනේ නැහැ.”

එම නිසා මෙම තීරණ ගැනීම් සියල්ලන්ට ම එක හා සමානව සහ සාධාරණව සිදු කරන්නැයි Khawaja විසින් ICCයෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම තමන් සිය සපත්තුවේ සටහන් කළ ගාසා තීරය සම්බන්ධ සටහන පිළිබඳ ව ද Khawaja විසින් මෙහි දී අදහස් දක්වා තිබුණා.

“මම එය කරන්න හේතුව තමයි, එය (ගාසා හි ගැටලුව) මට තදින් දැනුණා. මම Instagram වලින් දැක්කා ළමයි. අහිංසක ළමයි, ඔවුන් මිය යන වීඩියෝ, එය මට තදින් ම දැනුණා.

මම මගේ කුඩා දියණිය ව මවා ගත්තා…

මම දැනුත් ඒ ගැන කතා කරද්දී හැඟුම්බර වෙනවා. මට අනුව එය තමයි මේක කරන්න හේතුව. මට සැඟවුණු න්‍යාය පත්‍ර නැහැ.”

කෙසේ වෙතත් ICC නීති රෙගුලාසි සඳහා තම ක්‍රීඩකයින් අනුගත වනු ඇතැයි අපේක්ෂා කරන බව සහ Khawajaගේ පණිවිඩය සමාජගත කිරීම සඳහා වෙනත් ගෞරවනීය මාර්ගයක් පිළිබඳ ICCය සමඟ එක් ව සොයා බැලීමට තමන් පියවර ගෙන ඇති බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක Nick Hockley විසින් සඳහන් කරන්නේ.

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය එළඹෙන අඟහරුවාදා (26) ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Sky Sports ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<