IPL වෙන්දේසියේ ඉහළ වටිනාකම් ගැන Dinesh Karthikට ගැටලුවක්

IPL 2024

4633

විදෙස් ක්‍රීඩකයින් විසින් IPL ක්‍රීඩක වෙන්දේසි කිරීමේ ඇති හිඩැස් හඳුනා ගනිමින් ඒවායින් වාසි ලබා ගන්නා බවට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Dinesh Karthik විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය අඟහරුවාදා (19) 2024 IPL තරගාවලිය සඳහා කණ්ඩායම් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසියක් (Mini Auction) පැවැත්වුණු අතර එහි දී ඕස්ට්‍රේලියානු නායක Pat Cummins හට ඉන්දීය රුපියල් කෝටි 20.5ක වටිනාකමක් ලබා දීමට Sunrisers Hyderabad කණ්ඩායම ඉදිරිපත් වුනා. මෙය IPL ඉතිහාසයේ ක්‍රීඩකයකු ලද ඉහළම වටිනාකම ලෙස වාර්තා පොත් අතරට පවා එක් වුනත්, ඊට සුළු මොහොතකට පසුව Cumminsගේ කණ්ඩායම් සගයා වන Mitchell Starc හට Kolkata Knight Riders කණ්ඩායමෙන් ඉන්දීය රුපියල් කෝටි 24.75ක වටිනාකමක් හිමි වුනේ නැවතත් වාර්තා පොත් අලුත් කරවමිනුයි.

Starc සහ Cummins දෙදෙනා විසින් මෙසේ බිඳ දැමුවේ 2023 ක්‍රීඩක වෙන්දේසියේ දී Punjab Kings කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 18.5ක මුදලක් වැය කරමින් එංගලන්තයේ Sam Curranව මිල දී ගැනීමේ වාර්තාවයි. එමෙන්ම ඊට අමතරව 2023 ක්‍රීඩක වෙන්දේසියේ දී Cameron Green සහ Ben Stokes හට ද ඉතා ඉහළ වටිනාකම් හිමි වුනා.

මෙම ක්‍රීඩක වෙන්දේසි ද්විත්වය ම Mini Auction එසේ නොමැති නම් කණ්ඩායම්වල හිස් තැන් පුරවා ගැනීම වෙනුවෙන් පවත්වන කුඩා ක්‍රීඩක වෙන්දේසි වූ අතර, අවසන් වරට Mega Auction එකක් පවත්වන ලද්දේ 2022 වසරේ දීයි. එම වෙන්දේසියට පෙර ප්‍රබල ක්‍රීඩකයින් තම කණ්ඩායම සමඟම රඳවා ගැනීමට වැය කළ මුදලටත් වඩා (කෝටි 16) ඉහළ මුදලක් මෙම Mini Auction අවස්ථාවේ දී ක්‍රීඩකයින්ට හිමි වීම පිළිබඳවයි Dinesh Karthik විසින් සිය අදහස් දක්වා තිබුණේ.

“ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් විසින් මේ කුඩා වෙන්දේසිය භාවිතා කරනවා. සෑම කණ්ඩායමක් ම විශාල මුදලක් සමඟින් තම හිඩැස් පුරවා ගැනීම සඳහා මේ ක්‍රීඩක වෙන්දේසියට එන බව දැන, ඔවුන් කිසි දා අසා නැති මිල ගණන්වලට යනවා. මේ නිසා මිල අහස උසට නැගෙනවා.”

ඔහු තම ප්‍රකාශය තහවුරු කිරීමට Mumbai Indians ක්‍රීඩක Jasprit Bumrahගේ නම ද ඈඳා ගන්නවා. Mumbai විසින් Bumrahව තම කණ්ඩායමේ රඳවා ගත්තේ කෝටි 11ක මුදලකට පමණක් වුවත් මෙවැනි ක්‍රීඩක වෙන්දේසියක දී Bumrah සතු කුසලතාව පවා නොමැති තරුණ හෝ විදෙස් ක්‍රීඩකයින්ට Bumrah ලද වටිනාකම මෙන් දෙගුණයක් හෝ ඊට වඩා ඉහළ මිලක් පවා උරුම විය හැකි බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් මෙය ක්‍රීඩකයින්ගේ වරදක් නොවන බව ද Karthik විසින් මෙහි දී අවධාරණය කරනවා.

“එය ඔවුන්ගේ වරදක් නෙවෙයි. ඔවුන් තමන්ගේ රටට, ක්‍රීඩාවට, ශරීර සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙනවා. එක මොහොතක හිතනවා ‘හරි, මම දැන් එනවා’ කියලා. නමුත් ඒක එක අතකට උපක්‍රමයක් තමයි. මම හිතන්නේ ක්‍රීඩකයින් සහ නියෝජිතයින් එය උපක්‍රමයක් ලෙස භාවිත කරනවා.

වසර තුනකට වරක් පැවැත්වෙන වෙන්දේසියට (Mega) එනවා වෙනුවට වසරින් වසර පැවැත්වෙන වෙන්දේසියට (Mini) එනවා. ඒ වෙද්දී කණ්ඩායම්වල ඇති හිස් තැන් නිසා ඔවුන් පිස්සු මිල ගණන් වලට යනවා. මම හිතන්නේ මෙම අහිතකර ප්‍රවණතාව නතර කළ යුතුයි.”

ලැබිය යුතු වටිනාකමට වඩා ඉහළ වටිනාකමක් ක්‍රීඩකයින්ට ලැබීමේ ප්‍රවණතාවට තමන් අකමැති බවත්, එය නතර කිරීමට තමන් සතුව විසඳුම් දෙකක් ඇති බවත් Karthik විසින් ඉන් පසුව සඳහන් කරනවා.

මෙහි දී වසර තුනකට වරක් පැවැත්වෙන ප්‍රධාන වෙන්දේසියේ දී වෙන්දේසි වී පසුව කණ්ඩායමකින් නිදහස් කරන ක්‍රීඩකයකුට කුඩා වෙන්දේසියක දී ලැබිය හැකි උපරිම මිල ඔවුන්ට ප්‍රධාන වෙන්දේසියේ දී ලැබුණු මිල බවට සීමාවක් ගෙන ආ යුතු බවයි Karthik පවසන්නේ. එමගින් ප්‍රධාන වෙන්දේසියේ දී ක්‍රීඩකයකු ලබන වටිනාකම ඉක්මවා කුඩා වෙන්දේසි ක්‍රියාත්මක වීම වළක්වා ගත හැකි.

එමෙන්ම ප්‍රධාන වෙන්දේසියට ඉදිරිපත් නොවූ ක්‍රීඩකයකු කුඩා වෙන්දේසියකට ඉදිරිපත් වේ නම් ඔහුට කණ්ඩායමකින් ලැබිය හැකි ඉහළම වටිනාකම වන්නේ එම කණ්ඩායමේ උපරිම වැටුප් ලබන ක්‍රීඩකයාගේ සීමාව දක්වා පමණක් විය යුතු බවයි Karthik සිය දෙවන විසඳුමෙන් පැහැදිලි කරන්නේ.

යම් ක්‍රීඩකයකු එම සීමාවෙන් පසු කෙතරම් ඉහළ මුදලක් ලැබුව ද ඒ අමතර මුදල නැවත BCCI වෙත ලබා දිය යුතු බවයි Karthik මෙහි දී අවධාරණය කරන්නේ.

“එමගින් යම් තරමක ස්ථාවර බවත් ඇති කළ හැකි බවට මට හැඟීමක් තියෙනවා. එය තවමත් තරමක් අසාධාරණයි. නමුත් යා හැකි හොඳම මාර්ගය එයයි.”

තම විසඳුම පිළිබඳ Karthik පසුව එවන් විවෘත පැහැදිලි කිරීමක් ද සිදු කරනවා.

Cricbuzz සමඟ එක් වූ වැඩසටහනක දී මේ පිළිබඳ අදහස් දැක්වූ Dinesh Karthik විසින් ඒ පිළිබඳ ව සිය X (Twitter) ගිණුමේ ද මෙසේ සඳහන් කර තිබුණා.

“මම Mini Auction සඳහා කෙළින්ම එන ක්‍රීඩකයින්ට විශාල කැමැත්තක් නැහැ. විදෙස් ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ නියෝජිතයන් එහි (වෙන්දේසියේ) ඇති හිඩැස දැක එය දක්ෂ ලෙස භාවිත කරනවා කියලයි මට හැඟෙන්නේ. මම හිතනවා BCCIට මේ ගැටලුව විසඳ ගන්න පුළුවන් වේවි කියලා.”

2024 IPL තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Wisden ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<