පවන්ගෙන් තවත් ශතකයක්; එංගලන්තයට ලකුණු 55ක ජයක්

Pakistan ODI Tri-Series 2026

3

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ අද (29) නිමා වූ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් ලකුණු 55ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

මෙම ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලියේ ලබා ගත් පළමු ජයග්‍රහණයයි. මෙම තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලියේ තරග 2ක් ජයග්‍රහණය කරමින් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටි බැවින් ඔවුන්ගේ මෙම පරාජය ඊට බාධාවක් වූයේ නැහැ.   

Lahore හි Gaddafi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 386ක් ලබා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 331ක් පමණයි.  

ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

මෙම තරගයට ශ්‍රී ලංකාව පෙර තරගය හා එක් වූ කණ්ඩායම ම එක් කර තිබූ අතර   එංගලන්ත කණ්ඩායම එක් වූයේ පෙර ශ්‍රී ලංකාව හා සමඟ තරගයට එක් වූ කණ්ඩායමේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමිනුයි. ඒ අනුව ඔවුන් මෙම තරගයේ දී  Jamie Overton සහ Josh Tongue වෙනුවට Sonny Baker සහ Henry Crocombe එක් කර තිබුණා.  

ශ්‍රී ලංකා කණ්ඩායම 

කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, පවන් රත්නායක, දසුන් ශානක, ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, එශාන් මාලිංග, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක. 

 

එංගලන්ත කණ්ඩායම 

Harry Brook (නායක), Tom Banton, Ben Duckett, Will Jacks, Jordan Cox (කඩුලු රකින්නා),  Sam Curran, Joe Root, Liam Dawson, Gus Atkinson, Sonny Baker සහ Henry Crocombe. 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයන්ගේ දැවැන්ත ප්‍රහාරයකට ලක් වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිදු වෙනවා. ඔවුන්ගේ ඉනිම ආරම්භ කළ  Tom Banton සහ Ben Duckett එක් ව පළමු කඩුල්ලට පන්දු 150ක දී ලකුණු 163ක සබඳතාවක් එක් කරනවා.  

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Tom Banton ගේ දැවී යෑමත් සමඟින්. ඒ වෙද්දී ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 74ක් ලබා සිටියා. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 5 වැනි අර්ධ ශතකයයි.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව Ben Duckett හා පිටියට එක් වෙන්නේ නායක Harry Brook. ඔවුන් දෙදෙනා ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 75ක දී ලකුණු 107ක් එක් කරනවා.  

Harry Brook පන්දු 34ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.  

ආරම්භක පිතිකරු Ben Duckett ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 24ක් සමඟින් ලකුණු 167ක් ලබා සිටියා. එය ඔහුගේ 44ක් වන එක්දින ජාත්‍යන්තර තරග පිටියේ හොඳම ඉනිමයි.  

ඔවුන්ට අමතර ව Jordan Cox පන්දු 27ක දී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ද, Will Jacks පන්දු 21ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ද සහ Sam Curran පන්දු 12ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 63කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දසුන් ශානක, ඩිල්ශාන් මදුශංක සහ එශාන් මාලිංග කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ම කමිඳු මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු එක් ව ආරම්භ කළ ද ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් තම කණ්ඩායමට ලබා දීමට හැකි වෙන්නේ නැහැ.  

ඔවුන්ගේ සබඳතාව ලකුණු 13කට සීමා වෙනවා. පෙර තරගයේ අර්ධ ශතකයක් ලබා ගත් කමිඳු මෙන්ඩිස් අද තරගයේ දී පළමු කඩුල්ලට දැවී යද්දී ලබා සිටියේ ලකුණු 4ක් පමණයි.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව අවිශ්ක ප්‍රනාන්දුට එක් වෙන්නේ නායක කුසල් මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා එක් ව ශ්‍රී ලංකා ඉනිමට පන්දු 76ක දී ලකුණු 84ක සබඳතාවක් එක් කරනවා. අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතකයට ලකුණු 2ක් මෙපිටින් සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. ඒ වෙද්දී ඔහුගේ ඉනිම පන්දු 50කින් සමන්විත වූ අතර හයේ පහරක් සහ හතරේ පහර 8ක් ඊට එක් ව තිබුණා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව සාර්ථක ව සක්‍රීය කිරීමට කුසල් මෙන්ඩිස් සහ පවන් රත්නායක සමත් වෙනවා. නමුත් කුසල් මෙන්ඩිස් ගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක 5ක් සමඟින් ලකුණු 89ක් ලබා සිටියා.  

එය ඔහුගේ 163ක් වන එක්දින ජාත්‍යන්තර තරගවල 37 වැනි අර්ධ ශතකයයි. දසුන් ශානකට අද තරගයේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 4ක් පමණයි. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි ජනිත් ලියනගේ ප්‍රහාරාත්මක ඉනිමක් ආරම්භ කළ ද ඔහුට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට හැකි වෙන්නේ නැහැ.  

පන්දු 17කින් හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 27කට ඔහුගේ ඉනිම සීමා වූ අතර ඒ වෙද්දී ඔහු පවන් රත්නායක හා සමඟ 5 වැනි කඩුල්ලට පන්දු 38ක දී ලකුණු 72ක සබඳතාවක් එක් කර තිබුණා.  

මේ දැවී යෑම්වලින් පසුව අවසන් පන්දුවාර 10 දී ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 87ක් අවශ්‍ය වූනා. ඒ වෙද්දී පිටියේ රැඳී සිටියේ පවන් රත්නායක සහ සහන් ආරච්චිගේ. නමුත් සහන් ආරච්චිගේ ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යෑමත්, ඒ සමඟ ම දුනිත් වෙල්ලාලගේ (1) අසාර්ථක දුවද්දී දැවී යෑමකට ගොදුරු වීමත් සමඟින් එම ගමන අඩාල වූවා.  

එය තව දුරටත් තීව්‍ර වෙන්නේ පවන් රත්නායක ද ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 329ක් ලෙසින් දැක් වුණා. ඒ වෙද්දී ඔහු පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 118ක් ලබා සිටියා.  

එය ඔහු මෙම තරගාවලියේ 2 වැනි ශතකය වන අතර එක්දින ජාත්‍යන්තර තරග පිටියේ වාර්තා කරන ලද 3 වැනි ශතකයයි.  

ඔහු සහන් ආරච්චිගේ සමඟින් එක් වී 6 වැනි කඩුල්ලට ලපන්දු 41ක දී ලකුණු 57ක සබඳතාවක් ද එක් කරනවා. එම සබඳතාව නිමා වෙද්දී සහන් ආරච්චිගේ පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.  

ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දු 29ක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී යද්දී වමතින් දඟ පන්දු යැවූ Liam Dawson ලකුණු 49කට කඩුලු 4ක් දවා ගන්නවා. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීමයි. 

ඊට පෙර ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා වී තිබුණේ පසුගිය මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එරට සංචාරයේ The Oval ක්‍රීඩාංගණයේ දී ලකුණු 26කට දවාගෙන තිබූ කඩුලු 3යි.  

ඔහුට අමතර ව Sonny Baker කඩුලු 2ක් ද, Henry Crocombe, Joe Root සහ Sam Curran කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • එංගලන්තය – කඩුලු 5ක් දැවී 386 (50.0) Tom Banton 74, Ben Duckett 167, Harry Brook 44, Will Jacks 30, Jordan Cox 43, Sam Curran නොදැවී 21, අසිත ප්‍රනාන්දු 2/63 
  • ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 331 (45.1) අවිශ්ක ප්‍රනාන්දු 48, කුසල් මෙන්ඩිස් 89, පවන් රත්නායක 118, ජනිත් ලියනගේ 27, සහන් ආරච්චිගේ 30, Sonny Baker 2/75, Liam Dawson 4/49

එංගලන්ත කණ්ඩායමට ලකුණු 55ක ජයක්.  

  • තරගයේ වීරයා – Ben Duckett (එංගලන්තය) 

තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සහභාගී වන අවසන් මහා තරගය මේ මස 31 වැනිදා Lahore හී Gaddafi ක්‍රීඩාංගණයේ දී ම දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<