අවාසනාවේ ප්‍රති මූර්තිය බඳු වූ දකුණු අප්‍රිකාව

1011

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර ලෝක කුසලානය දිනා ගැනීමේ සටනේ ප්‍රධාන පෙළේ තරගකාරයකු වී සිටි දකුණු අප්‍රිකාව අද (06) නෙදර්ලන්තය හමුවේ ලද පරාජයත් සමඟින් තරගාවලියෙන් එළියට විසි වී ගියා.

නමුත් මෙවර ලෝක කුසලානයෙන් දකුණු අප්‍රිකාව ඉවත් වීමට ප්‍රධානතම හේතුව නෙදර්ලන්තය හමුවේ ලද පරාජයටත් වඩා වෙනස් එකක් බව ලියුම්කරු විසින් විශ්වාස කරනවා.

ඒ තමයි “අවාසනාව”.

ප්‍රධාන ධාරාවේ ක්‍රිකට් කණ්ඩායම් අතර අතිශයින්ම ප්‍රබල යැයි සම්මත, ප්‍රබල ක්‍රීඩක නාමවලින් පවා සැදුම්ලත් කණ්ඩායමක් වන දකුණු අප්‍රිකාව කිසිම ලෝක කුසලානයක අවසන් පූර්ව වටයෙන් එහාට ගොස් නොමැති බව විශ්වාස කිරීමටත් අසීරු සත්‍යයක්.

ඔවුන් මෙවර 2022 විස්සයි විස්ස ලෝක කුසලාන දක්වා, ලෝක කුසලාන ඉතිහාසයේ (1975 සිට එක්දින, ටෙස්ට්, විස්සයි විස්ස යන තරග රටා තුනේම) අවස්ථා 6ක දී අවසන් පූර්ව වටය තෙක් ඒමට සමත් වී ඇති නමුත් (1992, 1999, 2007, 2015, 2009, 2014) ඉන් එකදු තරගයක් හෝ ජය ගැනීමට අවස්ථාව හිමිකර ගෙන නැහැ.

එමෙන්ම මෙවර මෙන්ම මීට පෙර සමහර අවස්ථාවල දීත් දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන බලාපොරොත්තුවලට පරහට හිටියේ ම “අවාසනාව” කියන සාධකය තමයි.

ඒ අවාසනාවන්ත සිදුවීම් වගේම, අතට ගත්තු අවස්ථා කටට දා ගැනීමට නොහැකි වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දුක්බර ලෝක කුසලාන මතකයන් කිහිපයක් පිළිබඳ අපි මෙතැන් සිට විමසා බලමු.

අවසන් පූර්ව වටයේ ශාපය!

1992 ලෝක කුසලානය

දකුණු අප්‍රිකාව පළමු වරට ලෝක කුසලාන තරගාවලියකට ඉදිරිපත් වන්නේ 1992 වර්ෂයේ දී (වර්ණ භේදවාදී ගැටලු නිසාවෙන් හිමි වූ වසර 22ක තහනමෙන් පසුව) වන අතර, එය ඔවුන්ගේ ප්‍රථම ලෝක කුසලාන තරගාවලිය වුවත් ඒ වන විටත් ඔවුන් සමස්ත ලෝක ක්‍රිකට් ප්‍රජාවටම තර්ජනයක් වීමට හැකියාව ඇති කණ්ඩායමක් බවත්, නම් වශයෙන් පවා ගත් කළ එදා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ නම්වලටත් අදටත් ගෞරවාන්විත පිළිගැනීමක් ඇති බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

1992 ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. එහි දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 45 තුල දී ලබා ගත් ලකුණු 252ක ඉලක්කය හඹා යමින් සිටි දකුණු අප්‍රිකාව වරෙක තරගයේ ජයග්‍රහණය පෙනෙන නොපෙනෙන මානයක සිටියේ පන්දු 13ක් තුල දී ලකුණු 22ක ඉලක්කයක් ඇතැතිවයි.

ඒ වන විට Brian McMillan සහ Dave Richardson යන පිතිකරුවන් දෙදෙනා ඉහළ ප්‍රහාරාත්මක වේගයක් ද සහිතව පිටියේ ස්ථාවර වී සිටියා. නමුත් නොනවත්වා ඇද හැළුණු වර්ෂාව නිසා තරගය විනාඩි කිහිපයකට නතර කර දැමීමට විනිසුරුවන් විසින් තීරණය කළ අතර, නැවත තරගය ආරම්භ කරද්දී එවකට පැවති නීතිය අනූව දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවට පහර දීමට තිබූ පන්දුවාර දෙකකුත්, ඉලක්කයෙන් එක් ලකුණකුත් අඩු කෙරුණා.

1992 එංගලන්ත – දකුණු අප්‍රිකා තරගයේ වර්ෂාවට නතර කළ තරගය නැවත ආරම්භ කල පසු ලකුණු පුවරුව මෙසේ දිස් වුනා. (Source – cricketcountry)

ඒ අනුව දකුණු අප්‍රිකාවට එක් පන්දුවකින් ලකුණු 21ක් රැස් කිරීමට සිදු වී තිබුණු අතර, ලකුණු පුවරුවේ එම ඉලක්කය වැරදියට සටහන් කර තිබුණේ පන්දු 7ක් තුල ලකුණු 22ක් ලෙසටයි.

පසුව එය එක් පන්දුවක් තුල දී ලකුණු 22ක් ලෙසටත්, ඊටත් පසුව නිවැරදිම ඉලක්කය ලෙස එක් පන්දුවක් තුල දී ලකුණු 21ක් ලෙසටත් සටහන් කෙරුණා. මෙම වැරදීම් නිසාවෙනුත්, පෙනී නොපෙනී තිබූ ජයග්‍රහණයක් වර්ෂාවට සේදී යාමෙනුත් දකුණු අප්‍රිකානුවන් කිසිම ආකාරයක සතුටක් නොලැබූ බව නොරහසක්.

1999 ලෝක කුසලානය

දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළ අවාසනාවන්තම තරගාවලිය මෙය බව හැඳින්වුවත් වරදක් නැහැ.

1999 ලෝක කුසලානයේත් දෙවැනි අවසන් පූර්ව තරගයට සහභාගී වීමට වරම් ලද දකුණු අප්‍රිකාවේ එවර ප්‍රතිවාදීන් වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. මෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායම සුපිරි කණ්ඩායම් හය තරග වටයෙන්ම එළියට දැමීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට හිමි වුවද Herschelle Gibbsගේ දුර්වල පන්දු රැකීමක් නිසා එම අවස්ථාව ඔවුන්ට අහිමි වුනා.

එම උඩ පන්දුව අත හැරීමේ පාඩුව කෙතරම් ද යන්න දකුණු අප්‍රිකානුවන්ට වැටහෙන්නේ 1999 ජුනි මස 17 වැනිදා ඔවුන් ඕස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා කළ අවසන් පූර්ව තරගයේ දීයි.

එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාවට ලබා ගත හැකි වූයේ ලකුණු 213ක් පමණයි. පිළිතුරු ඉනිම දියත් කළ දකුණු අප්‍රිකානුවන්ට බලාපොරොත්තු වූ ලෙසින්ම ඉතා පහසුවෙන් එම ඉලක්කය හඹා යා නොහැකි වුනත් ඉතා හොඳ සටනකින් අනතුරුව තරගය අවසන් පන්දු වාරය තෙක්ම ගෙන ඒමට ඔවුන් විසින් සමත් වුනා.

එහි දී දකුණු අප්‍රිකාවට සිය අවසන් පන්දු හයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 9ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් සතුව ඉතිරිව තිබුණේ එක් කඩුල්ලක් පමණයි. නමුත් 1999 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා බවට පවා පත් වීමට සමත් වුනු Lance Klusener  නිරුපද්‍රිතව පිටියේ රැඳී සිටියේ සහයට Allan Donald වද පසෙකින් තබා ගනිමිනුයි.

Damien Fleming විසින් යැවූ තරගයේ අවසන් පන්දු වාරයේ පළමු පන්දු දෙකටම හතරේ පහර දෙකක් එල්ල කිරීමට සමත් වූ Klusener, තරගය සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකාව දෙසට හැරවීමට සමත් වුනේ ලබාගත යුතු ලකුණු ගණන එකක් බවට පත් කරමිනුයි.

මේ අතර පන්දු වාරයේ තෙවැනි පන්දුවෙන් නැති ලකුණක් සොරා ගැනීමට ගොස් යාන්තමින් කඩුල්ල බේරා ගැනීමට Allan Donald සමත් වූ අතර, සිව්වැනි පන්දුවට පහරක් එල්ල කළ Klusener ලකුණක් සඳහා දිව ගියත්, එවර Donald පන්දුව ඇදී යන දෙස බලා සිටියා විනා වෙන කිසිවක් සිදු කළේ නැහැ.

තම ජීවිතයේ සිදු වූ විශාලතම වරද එය බව Donaldට පසක් වන විට ඔහු ප්‍රමාද වැඩි වූ අතර, දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස Donald දැවී ගියේ තරගය ලකුණු සම වී නිම වූ බව සටහන් කරමිනුයි.

1999 දී Allan Donaldව දුවද්දී දවා ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලද ඕස්ට්‍රේලියානුවන්

සුපිරි කණ්ඩායම් හය අතර තරග වටයේ දී දකුණු අප්‍රිකාවට වඩා ඉහල දල ලකුණු වේගයක් රඳවා තබා ගැනීමේ වාසිය නිසාවෙන් අවසන් මහා තරගයට තේරී පත් වූ ඕස්ට්‍රේලියාව නතර වුනේ 1999, 2003, සහ 2007 වන තෙක්ම ලෝක කුසලාන කිරුළ තමන් සතු කර ගනිමිනුයි.

තවත් අවසන් පූර්ව තරග හතරක්

දකුණු අප්‍රිකානු ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම කතා බහට ලක් වන එම සිදු වීම් දෙකෙන් අනතුරුව ඔවුන් තවත් අවසන් පූර්ව වටයේ තරග හතරකට සහභාගී වනවා.

එහි දී 2007 ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයේ දීත් ඕස්ට්‍රේලියාව මුණ ගැසෙන දකුණු අප්‍රිකාව එහි දී නම් දුර්වල තරග රටාවක් ප්‍රදර්ශනය කරමින් ඕස්ට්‍රේලියාවට පහසු ජයග්‍රහණයක් හිමි කර දෙනවා.

නැවත ඔවුන් අවසන් පූර්ව වටය දක්වා යෑමට සුදුසුකම් ලබන්නේ 2009 සහ 2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි දෙකේ දී වන අතර ඒවායේ දී පිළිවලින් පාකිස්තානය හමුවේ සහ ඉන්දියාව හමුවේ පරාජයන් උරුම කරගන්නවා.

නැවත 2015 එක්දින ලෝක කුසලානායේ දී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට දකුණු අප්‍රිකාව සමත් වන අතර එහි දී ඔවුන්ට ප්‍රතිවාදීන් ලෙස මුණ ගැසෙන්නේ නවසීලන්තයයි.

2015 දීත් අදහා ගත නොහැකි පරාජයක් උරුම කර ගත් දකුණු අප්‍රිකානුවන් (Source – newframe)

අර්ධ අවසන් පූර්ව වටයේ දී පහසුවෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ඉදිරියට ආ දකුණු අප්‍රිකානු කණ්ඩායම නවසීලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දු වාර 43කදී ලකුණු 281 ක් රැස් කල අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනූව නවසීලන්තයට ලකුණු 298 ක ඉලක්කයක් හිමි වුනා.

එම ඉලක්කය හඹා යමින් සිටි නවසීලන්තයට අවසන් පන්දුවාර 10 තුළ ලකුණු 85ක් ලබා ගත යුතුව තිබූ අතර, ස්වභාවයෙන්ම විශිෂ්ට පන්දු රකින්නන්ගෙන් සැදුම් ලත් දකුණු අප්‍රිකානුවන් අතින් සිදු වූ සමාව දිය නොහැකි මට්ටමේ දුර්වල පන්දු රැකීම් හේතුවෙන් ඔවුන්ට එම තරගයේ ජයග්‍රහණය ද මග හැරී ගියා.

එහි දී Dale Steyn විසින් යැවූ තරගයේ අවසන් පන්දුවාරයේ පන්දු දෙකක් තුල ජයග්‍රහණය සඳහා නවසීලන්තයට ලකුණු පහක ඉලක්කයක් ලැබී තිබූ අතර Grant Elliot විසින් එල්ල කරන ලද හයේ පහරකින් ඔවුන් ජයග්‍රහණය සනිටුහන් කළේ දකුණු අප්‍රිකානුවන් ක්‍රීඩා පිටිය තුලම හඬා වැටෙන අතරේ දීයී.

අවසන් පූර්ව කියන නම ගෑවුනත් ඇති

මේ අතර 2011 ලෝක කුසලානයේ දීත් ඉතාම හොඳින් තරගාවලියේ දස්කම් දක්වමින් සිටි දකුණු අප්‍රිකාවට එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී නවසීලන්තය මුණ ගැහෙනවා.

තරගාවලියේ මුල් තරග හයෙන් පහක ජයග්‍රහණ හිමි කරගෙන සිටි දකුණු අප්‍රිකානුවන්ට අර්ධ අවසන් පූර්ව වටයේ දී නවසීලන්තය විසින් හඹා යෑමට ලබා දුන් ඉලක්කය ලකුණු 221ක් පමණයි.

එම පහසු ඉලක්කය හඹා යමින් සිටි දකුණු අප්‍රිකානුවන් පන්දු වාර 24ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 108ක් රැස් කරගෙන සිටි නමුත්, ඔවුන්ගේ ලකුණු පුවරුවට තවත් ලකුණු 64ක් එකතු වෙද්දී ඉතිරි කඩුලු 8ම දවා ගැනීමට නවසීලන්තය සමත් වන්නේ 2011 ලෝක කුසලානයත් දකුණු අප්‍රිකාවේ තවත් එක සැබෑ නොවූ සිහිනයක් බවට පත් කරවමිනුයි.

වැස්ස සහ දකුණු අප්‍රිකාව අතර තියෙන්නෙත් ආත්මීය බැඳීමක්!

වැස්සට රත්නපුරේ මිනිස්සු වෛර කරනවාට වඩ දකුණු අප්‍රිකානුවන් වෛර කරනවා ඇති. බොහෝ ලෝක කුසලාන තරග වල දකුණු අප්‍රිකානු හීන හේදිලා ගියේ වැස්ස නිසා කියලා කිවුවත් වැරැද්දක් නැහැ.

පෙර සඳහන් කරපු 1992 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී තමයි දකුණු අප්‍රිකාව මුලින්ම වැස්සට වෛර කරන්න පටන් ගන්නේ.

හැබැයි එදා තරගය ආරම්භ කරන්න කලින් කාසියේ වාසිය දිනලා දකුණු අප්‍රිකාව දෙවෙනියට පන්දුට පහර දෙන්න තීරණය කරද්දී Ian Chappell දකුණු අප්‍රිකානු නායකයාගෙන් අහනවා මේ තරගාවලිය පුරාවටම වර්ෂාව තරග වල තීරණ වලට සාධනීය බලපෑමක් සිදු කරලා තියෙද්දිත් ඇයි මෙහෙම තීරණයක් ගන්නේ කියලා.

දකුණු අප්‍රිකානු නායක Kepler Wessels දෙන්නෙ මෙහෙම උත්තරයක්!

“එතන අවදානමක් තියෙනවා. අපි පන්දු යවමින් ඉද්දී වැස්සොත් ඒක එච්චරම නරක නැහැ, ප්‍රශ්නේ තියෙන්නේ අපි පිතිකරණයේ යෙදෙද්දී වැස්සොත් තමයි. නමුත් අපි ඒ අවදානම බාර ගන්න සූදානම්.”

එතනින් පටන් ගත්තු වැස්ස සහ දකුණු අප්‍රිකාව අතර බැඳීමේ තවත් උච්චතම අවස්ථාවක් 2003 ලෝක කුසලානයේ දී සනිටුහන් වෙනවා.

ශ්‍රී ලංකාවත් මේ වගේ “අප්සට්“ සිද්ධිවලට කොහෙන් හරි ගෑවෙනවා

2003 ලෝක කුසලානයේ දී වුණු දේවල් සම්පූර්ණයෙන්ම කැඳ හැලියක් වගේ, නොවුනු දෙයක් නැති තරම්. හැබැයි දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගාවලියේ මූලික වටයේ දී පැවැත්වුණු තරගය තමයි ඒ අතරින් ඉහළම තැන තියන්න පුළුවන් වෙන්නේ.

දකුණු අප්‍රිකාවට මූලික වටයෙන් ඉදිරියට ( සුපිරි කණ්ඩායම් හය අතරට) යෑමට නම් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය වුනා.

2003 දී මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වූ දකුණු අප්‍රිකානුවන් (Source – newframe)

පළමුවෙන් පන්දුවට පහර දුන්නු ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 269ක ඉලක්කය හඹා යමින් සිටි දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් බාගය වෙද්දී ආයෙත් “වැස්ස” කඩා ගෙන වැටෙන්න පටන් ගත්තා. ඒ වෙද්දී දකුණු අප්‍රිකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනූව පන්දු වාර 45ක් වෙද්දී ලකුණු 229 පසු කර සිටිය යුතු වුනා.

දකුණු අප්‍රිකානු ඉනිමේ පන්දුවාර 44.4ක් වෙද්දී ඔවුන්ගේ ලකුණු 223ක් ලෙස සටහන්ව තිබුණා. වර්ෂාව ඇද හැලෙන වේගයත් කෙමෙන් කෙමෙන් වැඩි වෙනවා. ඒ අතරේ මුත්තයියා මුරලිදරන් විසින් එවපු 45 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවට ලකුණු 6 ලබා ගන්න Mark Boucher සමත් වෙනවා, ඊට පස්සේ පන්දුවට ඔහු විසින් ආරක්ෂාකාරී පහරක් එල්ල කරමින් ලකුණක් ලබා නොගන්නේ දකුණු අප්‍රිකාවේ එවර ලෝක කුසලානයේ ඉරණම ද තීරණය කරමිනුයි.

දිගින් දිගටම වැඩි වුණු වර්ෂාව නිසා තරගය එතැනින් එහාට පවත්වන්නේ නැහැ, තරගය ලකුණු සම වීමෙන් අවසන් වෙනවා.  ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනූව ලබා ගත යුතු ලකුණු ප්‍රමාණය වරදවා කියවා ගැනීම නිසා පහසුවෙන් ලබා ගත හැකිව තිබූ එක් ලකුණකටත් උත්සාහ නොකරීමෙන් දකුණු අප්‍රිකාවට එවරත් ලෝක කුසලානය ගැන තිබුණු හීනය අත් හැරලා දාන්න සිදු වෙනවා.

මෙවර විස්සයි විස්සයි විස්ස ලෝක කුසලානයේ දීත් දකුණු අප්‍රිකාවේ ගමනට “වැස්ස” හරහට හිටියා!

ලිපිය ආරම්භයේ දී ම සඳහන් කරපු විදිහට දකුණු අප්‍රිකාවට මෙවර ලෝක කුසලානයෙන් ඉවතට යන්න සිදු වෙන්නේ අද නෙදර්ලන්තය හමුවේ ලද පරාජය නිසාම නෙවෙයි. ඊට පෙර ඔවුන් සිම්බාබ්වේ කණ්ඩායම මුණ ගැහුණු තරගයේ දී ඇස් පනා පිට තිබුණු ජයග්‍රහණයක් තමන්ගේ කර ගන්න දකුණු අප්‍රිකාවට නොහැකි වුනේ වැස්ස නිසයි.

Quinton de Kock ට තවත් එක පන්දු වාරයක් පිතිකරණයේ යෙදෙන්න ඉඩ ලැබුණා නම්!

දකුණු අප්‍රිකාවට මෙවර (2022) ලෝක කුසලානයේ දී මුලින්ම මුන ගැහෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම. ඒ තරගයත් වැස්සට හේදිලා යන්න ඔන්න මෙන්න අවස්ථාවක තිබිලා යාන්තමින් ආරම්භ වෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම තමන්ට නියමිත වෙලා තිබුණු පන්දුවාර 9 තුල දී ලකුණු 79ක් ලබා ගන්න සමත් වුනු පසුව පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කරන්න පිටියට එන දකුණු අප්‍රිකාවේ ඉලක්කය නැවතත් පන්දුවාර 7ක් තුල දී ලකුණු 64ක් විදිහට අඩු වෙනවා.

ආරම්භක පිතිකරු විදිහට පිටියට පිවිසුණු Quinton de Kock විසින් සිම්බාබ්වේ පන්දු යවන්නන් තඹ සතයකට මායිම් නොකරමින් එල්ල කළ පිති ප්‍රහාරය එක්ක ඔවුන් පන්දුවාර 3ක් පමණක් වැය කරමින් ලකුණු 51ක් රැස් කරද්දී නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වෙන්නේ දකුණු අප්‍රිකාවේ අවාසනාවන්ත කම නිසාම වෙන්නට ඇති.

ඔවුන්ට තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට තවත් මදි වුනේ ලකුණු 13ක් පමණයි, වර්ෂාව තව විනාඩි කිහිපයක් ප්‍රමාද වුනා නම් තරගය විසඳුමකින් තොරව අත් හැර නොදමන්න ඕනෑ තරම් ඉඩ තිබුණා.

එදා තරගයට විසඳුමක් ලැබුණා නම් (දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තා නම්) අද නෙදර්ලන්තය හමුවේ ඔවුන් ලද පරාජය තවත් එක “අප්සට්“ එකක් පමණක් වී හෝ ඔවුන්ට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක් ලැබෙන්න ඉඩ තිබුණා.

මේ විදිහට තමයි මෙවර ලෝක කුසලානයේ දීත් කාලයක් තිස්සේ පුරුදු පුහුණු වෙමින් ආ අවාසනාවන්ත දකුණු අප්‍රිකානුවන්ගේ කතාව ආයෙත් අලුත් වෙන්නේ.

දැන් ඔවුන්ට ඉතුරු වෙලා තියෙන්නේ 2023 දී, ඒකෙත් බැරි වුනොත් 2024 දී වත් උත්සාහ කරනවා කියලා හිත හදා ගන්න විතරයි.

ක්‍රීඩා පිටියේ දිනෙන් දින අලුත්වල සියලු තතුවිත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<