ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ රථවාහන හා ඇඳුණු කතා

1358

1983 වසරේ පෘඩෙන්ෂල් ලෝක කුසලානය තෙවැනි වරටත් පැවැත්වුණේ එංගලන්තයේ දීයි. එවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියේ දෙවරක් ලෝක කුසලාන පහස ලබා සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායමයි.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දැවැන්තයන් සමඟ තැබූ විට ඉන්දියානු ජයග්‍රහණයක් වෙනුවෙන් කිසිවෙකුට විශාල බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

සිය කණ්ඩායමේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නොමැති අවස්ථාවක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සුඛෝපභෝගී මෝටර් රථයක් තමන් සතු කරගන්නට කල්පනා කළා.

අවසන් මහා තරගයේ තමන්ට ලැබිය යුතු මුදල් ප්‍රමාණය සිහියේ තබා ගත් මැල්කම් මාර්ෂල් නවතම BMW මෝටර් රථයක් වෙනුවෙන් මූලික තැන්පතුවක් කළා.

අපේ ජයග්‍රහණය ගැන මට කිසිම සැකයක් තිබුණේ නෑ. මම BMW වර්ගයේ මෝටර් රථයක් ඇනවුම් කළේ අවසන් මහා තරගයෙන් මට ලැබෙන මුදලින් එය ගෙවා දැමීමට හැකි නිසයි.

අහෝ! මම මොන තරම් මෝඩයෙක් ද?

ඉන්දියානුවන් ලකුණු 183කට දැවී ගිය මොහොතේ පවා මගේ වාහන සිහිනය සැබෑවක් වන බවට කිසිම සැකයක් තිබුණේ නෑ.

මම සුක්කානම පිටුපස සිටිමින් අලුත ගත් මෝටර් රථය ලන්ඩනයේ වීදි ඔස්සේ පැදයන ආකාරය පවා මම සිතින් මවා ගත්තා.”

මාර්ෂල්ගේ BMW සිහිනය ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන සිහින සියල්ල එක පොදියට අකුලා ගන්නට සිදු වූයේ කපිල් දේව්ගේ නායකත්වයෙන් එංගලන්තයට පැමිණි තරුණ ඉන්දියානු කණ්ඩායම දැවැන්ත කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානය ඉන්දියාවට රැගෙන ගිය බැවිනි.

උස්මන් කවාජා නම් ඕස්ට්‍රේලියානු ගුවන් නියමුවා

ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ උස්මන් කවාජා මේ දිනවල සිටින්නේ ඉහළ දස්කම් අතර. පාකිස්තානයේ උපන් කවාජා බලපත්‍රලාභි ගුවන් නියමුවෙක් බව දන්නේ අතලොස්සක්.

කුඩා කාලයේ ඉඳලම ගුවන් ගමන් කියන දේ මට අමුතු අත්දැකීමක් වුනේ නැහැ. මගේ තාත්තා අවුරුදු 5-6ක් සවුදි අරාබියේ වැඩ කළා. කුඩා කාලයේ මට ඔහු ගාවට නිතරම වගේ යන්න සිද්ධ වුනා.

ගුවන් යානාවක් හරියාකාරයෙන් ගොඩබෑම ඉතාම හොඳ හැඟීමක්. නමුත් එය තමන්ගේ කණ්ඩායමට ශූරතාවයක් ලබා දෙන්නට ශතකයක් ලබා ගැනීම වගේ දෙයක් එක්ක සමාන කරන්නවත් බැහැ.”

අරවින්දගේ රථගාය.

1996 ශ්‍රී ලංකාවේ පැවති සිංගර් ලෝක ශූරතා තරගාවලියේ වීරයා බවට පත්වුනේ අරවින්ද ද සිල්වා. ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව පැවති මේ තරගාවලියට රටවල් හතරක් එකතු වුනා.

මෙම තරගාවලියේ ඉනිම් හතරක දී ලකුණු 334ක් රැස් කරන්න අරවින්ද එදා සමත් වුනා. ඒ වගේම මෙම තරගාවලිය පුරාවටම ඕස්ට්‍රේලියානු, ඉන්දියානු හෝ සිම්බාබ්වේ කණ්ඩායම්වල කිසිම පන්දු යවන්නෙකුට ඔහුගේ කඩුල්ල දවා ගැනීමට ඉඩක් ලැබුණේ නැහැ. ඉනිම් හතරේ දී ම ඔහු නොදැවී තමන්ගේ ඉනිම අවසන් කළා.

තරගාවලියේ වීරයා වූ අරවින්දට මෙහි දී Sephia සහ Sportage අතරින් එකක් තෝරා ගැනීමට සිදු වුනා. ඒ අවස්ථාවේදී අරවින්ද I’ll probably go for the Jeep” යනුවෙන් සඳහන් කරමින් Kia Sportage මෝටර් රථය තෝරාගත්තා.

ඒ දිනවල බොහෝ දෙනාගේ ජනප්‍රිය මතයක් වුනේ අරවින්ද මෝටර් රථවලට දැඩි කැමැත්තක් දක්වන බවත්, මෝටර් රථයක් තෑගි ලෙස ලැබෙන්නේ නම් අරවින්ද ඔහුගේ දස්කම් වෙනස්ම තලයකට ගෙන යන බවයි.

ක්‍රීඩාලෝලීන් පවසන මේ කතාවේ කිසිදු සත්‍යතාවයක් නැතත් අරවින්ද මෝටර් රථවලට දැඩි කැමැත්තක් දක්වන බවට නම් කිසිම සැකයක් නෑ.

මංකොල්ලකරුවන් සමඟ රේස් ගිය රාමන් ලම්බා

ඒ 1987 වසරයි.

ඉන්දියාවේ දිල්ලි නගරයට කිලෝමීටර සීයයකට එපිටින් පිහිටි බුලන්ද්ෂාර් නගරයේ ද්විත්ව කඩුලු ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙමින් තිබුණා.

තරගාවලිය තරමක් අපහසු එකක්. නමුත් ජයග්‍රාහකයින්ට ලැබෙන මුදල් කන්දරාව සහ තෑගි බෝග තරගකරුවන්ට ගෙන ආවේ විශාල උත්තේජනයක්.

ඉන්දියානු කණ්ඩායම නියෝජනය කළ රාමන් ලම්බා සහ සංජීව් ෂර්මා යන ක්‍රීඩකයින් දෙදෙනා මෙම තරගාවලියට සහභාගී වන්නට තීරණය කළා.

එක් තරගයක් ජයග්‍රහණය කළ විට ඉන්දියානු රුපියල් 6,000ක් ජයග්‍රාහකයින්ට ලැබෙනවා. ඒ සමයේ එම තෑගි මුදල සැලකිය යුතු මට්ටමකින් ඉහළ එකක්.

වැඩි තරග ප්‍රමාණයක් ජයගෙන විශාල මුදලක් උපයා ගන්නට ලම්බාට සහ මිත්‍රයාට තිබුණේ විශාල කැමැත්තක්.

ලම්බා-ෂර්මා දෙදෙනා ඉකුත් තරගාවලියේ දී තරග දහයක් ජය ගත්තා. ජයග්‍රාහකයින් වෙත පිරිනැමෙන මුදල ඉන්දියානු රුපියල් 60,000ක්. ඊට අමතරව තරග නැරඹීමට ආ ප්‍රේක්ෂකයින් ලබා දුන් තෑගි මළු රාශියක්.

හාත්පස කළුවර ගලා එද්දී තෑගි බෝග සිය මෝටර් රථයට පටවා ගත් ලම්බා, ෂර්මා සහ රියදුරා දිල්ලිය බලා පිටත් වෙන්නට සූදානම් වුනා.

ගමන ආරම්භයේ පටන් රියදුරාට එතරම් හදිස්සියක් නොමැති බව වටහා ගත් ලම්බා සුක්කානම සියතට ගන්නට තීරණය කළා.

ලම්බාට සුක්කානම හොඳට හුරු අතර වේගයෙන් රිය පැදවීමට ඔහු කැමති අයෙක්. නමුත් ඔහු ඉතා ප්‍රවේසම්කාරී රියදුරෙක්.

ගමන ඇරඹී ටික දුරක් පැමිණෙන විට මෝටර් සයිකල් තුනක් තමන් පිටුපස ලුහුබැඳ එන බව ලම්බා තේරුම් ගත්තා. ඔහුට දැන් යම් අවදානමක සේයාවක් දැනෙන්නට පටන් ගත්තා.

කාරයේ වේගය හැකිතාක් වැඩි කළ ද මෝටර් සයිකල් කරුවන් වේගයෙන් තමන්ට කිට්ටු කරන බව ලම්බාට වැටහුණා.

මෝටර් සයිකල් තුනේ හැඩිදැඩි පුද්ගලයෝ හය දෙනෙකු සිටින බව තේරුම් ගන්නට ලම්බාට අපහසු වුනේ නැහැ.

ලම්බා වේගය වැඩි කළ අතර එලෙසින්ම මෝටර් සයිකල් කල්ලිය ද ඔවුන්‍ට කිට්ටු වුනා.

හදිස්සියේම පාරෙන් වම්පසින් සෑහෙන උසකට තණකොළ වැවී ඇති කැලෑ රොදක් දර්ශනය කරගන්නට ලම්බා සමත් වුනා.

මොහොතක් හෝ පමා නොවී ලඳු කැලෑව දෙසට වාහනය හැරවීමට ලම්බා සමත් වුනා.

තණ පඳුරු අස්සේ ආරක්ෂිතව මෝටර් රථය සැඟවී යද්දී මෝටර් සයිකල් තුන ලම්බා සහ අනෙක් දෙදෙනා සිටි ස්ථානය පසුකර වේගයෙන් ඉදිරියට ඇදෙනු දැකගත හැකි වුනා.

තමන්ට ඉලක්කය වැරදී ගිය බව වටහා ගත් මෝටර් සයිකල් කරුවන් සිය ගොදුර අතහැර මොහොතකින් නැවත බුලන්ද්ෂාර් වෙත තමන් පසුකර ගමන් කරන තෙක් දිල්ලි වැසියන් තිදෙනා කැලෑ රොදට වී අවධානයෙන් බලා සිටියා.

නැවත දිල්ලිය බලා එන අතරවාරයේ විවේක ගැනීමට මෝටර් රථය රාත්‍රි තේ කඩයක් අසල නැවැත්වූ අතර අදාළ තේ කඩයේ හිමිකරුවා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා හඳුනා ගන්නට සමත් වුනා.

එම ප්‍රදේශයේ මංකොල්ලකෑමේ යෙදෙන කල්ලියක් සිටින බව කඩ හිමියා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට පැවසුවා.

ක්‍රිකට් තරගාවලිය අතරතුර නරඹන්නන් ලෙස සිටි මංකොල්ලකරුවන් ක්‍රීඩාංගණයේ සිටම ලම්බා සහ ෂර්මා දිනූ තෑගි මුදල් පිටුපස හඹා එන්නට ඇති බව කාටත් රහසක් වුනේ නැහැ.

ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක් සිහිගන්වන මෙම ලොමුඩැහැ ගැන්වෙන සිදුවීම් මාලාව අතරතුර රාමන් ලම්බා සිටියේ ඉතාම සන්සුන්ව. නමුත් යළි කෙදිනකවත් මෙවන් අවදානම් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී නොවන බව ලම්බා සිය මිතුරා හමුවේ ස්ථිර ලෙසම ප්‍රකාශ කර සිටියා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<