ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

216
Latham to lead ODI team against Sri Lanka

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

එම එක්දින සංචිතයේ නායකත්වය Tom Latham හට හිමිව තිබෙන අතර නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම පළමු වරට නවසීලන්ත කණ්ඩායමට කැඳවීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.

Canterbury කණ්ඩායම නියෝජනය කරන Chad Bowes සහ Auckland Ace නියෝජනය කරන Ben Lister එලෙස කණ්ඩායමට කැඳවූ නවක ක්‍රීඩකයින් වෙනවා.

Lister මීට පෙර නවසීලන්තය නියෝජනය කරමින් විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත්ව තිබූ අතර Chad Bowes නවසීලන්ත සංචිතයක් සඳහා නම් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

සීමිත පන්දුවාර පිටියේ Canterbury කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන Bowes මෙවර තරග වාරයේ List A පිටියේ ලකුණු 46.63ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 373ක් සහ විස්සයි විස්ස පිටියේ 39.89ක සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු 359ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම එක්දින තරගාවලියට නම් කළ ක්‍රීඩකයින් කාණ්ඩ දෙකකට ඇතුළත් වන අතර පළමු කාණ්ඩයේ ක්‍රීඩකයින් පළමු තරගයෙන් පසුව ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට පිටත් වීමට නියමිතයි.

එමෙන්ම නවසීලන්ත එක්දින සංචිතයේ නිත්‍ය ක්‍රීඩකයින් වන Kane Williamson (Gujarat Titans), Tim Southee (Kolkata Knight Riders) සහ Devon Conway (Chennai Super Kings) ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් පසු ඉන්දියාවට පිටත් වීමට නියමිතව තිබෙනවා.

Chennai Super Kings නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක Mitchell Santner ද කණ්ඩායමේ ඉල්ලීම පරිදි එක්දින සංචිතයට ඇතුළත් නොකර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය අවසන් වීමෙන් පසුව Finn Allen (Royal Challengers Bangalore), Lockie Ferguson (Kolkata Knight Riders) සහ Glenn Phillips (Sunrisers Hyderabad) යන ක්‍රීඩකයින් ද ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට පිටත් වීමට නියමිතයි.

එම ක්‍රීඩකයින්ගේ ස්ථාන සඳහා දෙවැනි එක්දින තරගයේ සිට Mark Chapman, Ben Lister සහ Henry Nicholls කණ්ඩායමට කැඳවා තිබෙනවා. මෙම ක්‍රීඩකයින්ට අමතරව Tom Blundell සහ Will Young සීමිත පන්දුවාර සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

මෙම සංචිතය පිළිබඳ අදහස් දක්වමින් නවසීලන්ත පුහුණුකරු Gary Stead ප්‍රකාශ කළේ, මෙම තරගාවලිය නවසීලන්ත නවක ක්‍රීඩකයින්ට ඉතාමත් හොඳ අවස්ථාවක් බවයි.

“නවක ක්‍රීඩකයින් සිටීම සහ ඔවුන්ව වෙනත් ආකෘතියක් සඳහා තෝරා ගැනීමට ලැබීම පුහුණුකරුවෙකුට සෑම විටම සතුටට කරුණක්. Chad, Canterbury කණ්ඩායම වෙනුවෙන් මුල් පෙළ පිතිකරුවෙකු ලෙස හොඳ තරග වාරයක් ක්‍රීඩා කර තිබෙනවා වගේම ඔහු දක්ෂ පන්දු රකින්නෙක්.

අපිට දැන් සිට මැයි මස ආරම්භය දක්වා සීමිත පන්දුවාර තරග 16ක් ක්‍රීඩා කරන්න තියෙන නිසා ක්‍රීඩකයින්ට තමන්ට හුරු සහ නුහුරු තත්වයන් තුළ තමන්ගේ දස්කම් පරික්ෂා කරලා බලන්න අවස්ථාවක් ලැබෙනවා.

Tom Blundell පසුගිය මාස 18ක කාලය තුළ ජාත්‍යන්තර පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර ඔහු නායකයෙකු ලෙස ද දේශීය තරග පිටියේ ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වුනා. ඒ නිසා ජාත්‍යන්තර සීමිත පන්දුවාර පිටියේ සිය දස්කම් ප්‍රදර්ශනයට මේක හොඳ අවස්ථාවක්,” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා තරගාවලියට නම් කළ නවසීලන්ත කණ්ඩායම: Tom Latham,Finn Allen, Tom Blundell, Chad Bowes, Michael Bracewell, Mark Chapman, Lockie Ferguson, Matt Henry, Ben Lister, Daryl Mitchell, Henry Nicholls, Glenn Phillips Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය පිළිබඳ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<