2003 දී කෙන්යාවටත් පරාද වූ ශ්‍රී ලංකාව

4377

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (16) 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ටෙස්ට් වරම් නොලද ක්‍රිකට් කණ්ඩායමක් වන නැමීබියාව ඉදිරියේ පරාජයට පත් වුනා.

මීට වසර 19කට පෙර 2003 ක්‍රිකට් ලෝක කුසලානයේ දීත් (පෙබරවාරි 24) ලංකාව මේ විදිහටම ටෙස්ට් වරම් නොලද රටක් ඉදිරියේ පරාජයට පත් වුනා. එදා ලංකාවේ ප්‍රතිවාදීන් වුනේ කෙන්යානු කණ්ඩායමයි.

2003 ක්‍රිකට් ලෝක කුසලානයේ පෙරළිකාරම කණ්ඩායම වුනේ කෙන්යානු කණ්ඩායම කීවොත් නිවැරදියි.

නමුත් ඒ ශ්‍රී ලංකාව පරාද කළ නිසාම නම් නෙවෙයි. 2003 ලෝක කුසලානයේ හොඳම කණ්ඩායම් හතර අතරට එකතු වෙමින්, අවසන් පූර්ව වටයට එකතු වෙන්නත් කෙන්යාව සමත් වුනා. මේ එදා පෙරළිකාරයින් විදිහට ශ්‍රී ලංකාව පරාජය කළ කෙන්යානුවන්ගේ කතාව.

96 දී කෙන්යාවට ඇපත් නැති කළ ශ්‍රී ලංකාව

කෙන්යාවට ටෙස්ට් වරම් නොලැබූ රටක් විදිහට මුලින්ම ක්‍රිකට් ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න අවස්ථාව හිමි වෙන්නේ 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ දී තමන්ගේ ආරම්භක ක්‍රිකට් ලෝක කුසලානයම අමිහිරි වගේම මිහිරි මතකවලිනුත් පුරවාගන්න කෙන්යානුවන් සමත් වෙන්නේ ශ්‍රී ලංකාවට ලෝක වාර්තාවක් පිහිටුවන්න ඉඩ හසර විවර කර දෙන අතරේම, දෙවරක් ලෝක ශූරයින් බවට පත් වෙලා තිබුණු බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 73කින් පරාජයට පත් කරමිනුයි.

එදා ශ්‍රී ලංකාව කණ්ඩායමට කෙන්යාව, ශ්‍රී ලංකාවේ දී මුණ ගැහෙන්නේ ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් මෙරටට පැවැත්වෙන තරගවලට සහභාගී වන වටපිටාවකයි.

එදා ඒ පැවති තරගය ඉතිහාස ගත එකක් වුනේ ශ්‍රී ලංකාව කෙන්යාව විසින් යැවූ නියමිත පන්දුවාර 50 තුල ලකුණු 398ක් රැස් කරමින් පිහිටවූ “එක්දින පිටියේ ඉනිමක වැඩිම ලකුණු” ප්‍රමාණය සනිටුහන් කරමිනුයි.

එය එදා පටන් වසර දහයක් පුරාවට නොබිඳී පැවතුණු වාර්තාවක්. 96 දී කෙන්යානු කණ්ඩායමට එරෙහිව තම ප්‍රහාරය දියත් කල අරවින්ද ද සිල්වා විසින් ලකුණු 145ක් රැස් කරමින් තරගයේ වැඩිම ලකුණු ලාභියා බවටත් පත් වීමට සමත් වුනා.

1996න් පසුව 1999 ලෝක කුසලානයටත් තේරී පත් වෙන කෙන්යාව එහි දී නම් කිසිදු විශේෂ දස්කමක් දක්වන්නට සමත් වුනේ නැහැ.

කෙසේ වෙතත් 2003 දී සමස්ත ක්‍රිකට් ඉතිහාසයම වෙනස් කරමින්, ඉතිහාසයේ ප්‍රථම සහ අද වන තෙක් එකම වරට ටෙස්ට් වරම් නොලද රටක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ බව ඉතිහාස පොත්වල ලියා තබන්නට කෙන්යාව විසින් සමත් වනවා.

2003 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව ලද සිහින ආරම්භය

2003 ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නේ ඉතාම විශිෂ්ට ආරම්භයක්. තම පළමු තරගයේ දී නවසීලන්තය පරාජය කරපු ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඊළඟ තරගයේ දී බංග්ලාදේශය කණ්ඩායම අසරණ කරමින් කඩුලු 10ක ජයක් ලබා ගන්නවා.

මේ තරගයේ දී තමයි චමින්ද වාස් විසින් තරගයේ ප්‍රථම පන්දුවාරයේ මුල්ම පන්දු තුනෙන් කඩුලු ත්‍රිත්වයක් සමඟින්, සමස්ත පන්දුවාරය තුල කඩුලු හතරක් බිඳ හෙළන්න සමත් වෙන්නේ.

ඉන් පසුව ශ්‍රී ලංකාවට මුණ ගැහෙන කැනඩා කණ්ඩායම තවත් නව ලෝක වාර්තාවක් සඳහා සම දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා පන්දුකරණය ඉදිරියේ එවකට කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ප්‍රමාණය ලෙස ලකුණු 36කට දැවී යමිනුයි.

ඒ වගේ සිහින ආරම්භයක් සමඟින් ලෝක කුසලානයට පිවිසෙන ශ්‍රී ලංකාවට මීළඟට මුණ ගැසෙන්නේ කෙන්යානු කණ්ඩායමයි.

නවසීලන්තයෙන් කෙන්යාවට නිකන් ලකුණු හතරක්!

කෙන්යානු කණ්ඩායමටත් ශ්‍රී ලංකාව මුණ ගැසීමට පෙර තරග තුනකට මුහුණ දීමට නියමිතව තිබූ අතර, එයින් ඔවුන්ගේ පළමු තරගයේ දී නම් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු  දහයක දැවැන්ත පරාජයක් විඳීමට සිදු වුනා.

නමුත් ඉන්පසුව කැනඩාව සමඟ පැවති තරගයෙන් ජය ලැබූ කෙන්යානුවන්ට මීළඟට මුණ ගැසීමට නියමිතව තිබූ නවසීලන්ත කණ්ඩායම කෙන්යාව සමඟ තරග කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මෙම තරගය කෙන්යාවේ නයිරෝබි හී ජිම්කානා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර, ත්‍රස්තවාදීන් සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් තමන්ට ලැබෙන ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත් නොවන බව සඳහන් කරමින් නවසීලන්තය විසින් එම තරගයට සහභාගී වීම ප්‍රතික්ෂේප කර සිටියා.

එයත් සමඟින් කෙන්යානු කණ්ඩායමට තරගයට හිමි වන පූර්ණ ලකුණු ප්‍රමාණයම (4) ලැබුණු අතර, මෙම සිදුවීම කෙන්යාවට අවසන් පූර්ව වටය තෙක් යන ගමනේ ලද ඉහළම ආශීර්වාදය වූ බව නොරහසක්.

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ කෙන්යාව යන රටවල පැවති 2003 ක්‍රිකට් ලෝක කුසලානයේ දී, තම මවු රටේ, තමන්ගේ ප්‍රේක්ෂකයින් ඉදිරියේ ක්‍රීඩා කිරීමේ විරල වරම තරග දෙකක දී කෙන්යාවට ලැබීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් නවසීලන්තය කෙන්යාවට යෑම ප්‍රතික්ෂේප කිරීමත් සමඟින්ම ඔවුන්ට ඉතිරි වූ එකම තරගය ශ්‍රී ලංකාව හා පැවැත්වීමට නියමිතව තිබුණා.

96 දී සමහර රටවල් ශ්‍රී ලංකාව වර්ජනය කරද්දී කෙන්යාව මෙරටට පැමිණියා සේම, 2003 දීත් කෙන්යානු ප්‍රේක්ෂක සිහින බොඳ නොකර ශ්‍රී ලංකා කණ්ඩායම නයොරෝබි දක්වා පිටත්ව ගියා.

දෙසොහොයුරන් විසින් ශ්‍රී ලංකාව ගිල ගනී

2003 කෙන්යානු සංචිතයේ එක කුස උපන් සහෝදරයින් තිදෙනෙකු ක්‍රීඩා කළා. ඔවුන් Kennedy Obuya (Kennedy Otieno) , David Obuya සහ Collins Obuya නම් වූ අතර, ශ්‍රී ලංකාවට එරෙහි තරගයට Kennedy Obuya සහ Collins Obuya යන දෙදෙනා පමණක් ක්‍රීඩා කළා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කෙන්යානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු  9ක් දැවී ලකුණු 210ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී චමින්ද වාස් විසින් කඩුලු  3ක් සහ මුත්තයියා මුරලිදරන් විසින් කඩුලු  හතරක් බිඳ හෙළීමට සමත් වුනා.

මෙහි දී කෙන්යානු ඉනිමේ අඩිතාලම දමමින් Kennedy Obuya විසින් පන්දු 88කින් ලකුණු 60 ලබා ගැනීමට සමත් වුනා.

පහසු ඉලක්කයක් හඹා යාමේ අභිප්‍රායෙන් පිටියට පිවිසි ශ්‍රී ලාංකික පිතිකරුවන් බලාපොරොත්තු වූ තරම් පහසුවෙන් මේ හඹා යාම සිදු කිරීමට කෙන්යානු පන්දු යවන්නන් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ.

මෙහි දී ක්‍රියාත්මක වූ Collins Obuya විසින් ශ්‍රී ලාංකික ක්‍රිකට් ඉතිහාසයේ සිදු වූ ලැජ්ජා සහගතම පරාජයකට පාර කපමින් ලකුණු 24කට කඩුලු  පහක් දවා ගැනීමට සමත් වුනා.

මෙය ටෙස්ට් වරම් නොලද කණ්ඩායම ක්‍රීඩකයකු විසින් ලෝක කුසලානයක දී යැවූ හොඳම පන්දු යැවීමක් ලෙස වාර්තා අතරට එකතු වුනා.

ඒ අයුරින් සොහොයුරන් දෙදෙනෙක් එක්ව, ශ්‍රී ලංකාව පරාජයේ මාවතට ඇද දැමීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 45ක දී නිමාව දුටුවේ සියලුම කඩුලු  ලකුණු 157කට දැවී යාමෙන් අනතුරුවයි.

මෙම තරගයේ දී ද 96 දී මෙන්ම කෙන්යාවට එරෙහිව වැඩිම ලකුණු ලබා ගැනීමට අරවින්ද ද සිල්වා විසින් සමත් වන්නේ ලකුණු 41 රැස් කරමිනුයි.

96 දී ශ්‍රී ලංකාව විසින් කෙන්යාවට එරෙහිව තැබූ ලෝක වාර්තාවේ වාඩුව ගන්නවා හා සමාන දෙයකුයි 2003 දී කෙන්යාව විසින් මේ සිදු කිරීමට සමත් වුනේ.

96 දී බටහිර ඉන්දීය කොදෙව්වන් පැරදුවා සේම 2003 දීත් තවත් ලෝක ශූර කණ්ඩායමකට පරාජය උරුම කර දීමට කෙන්යානු කණ්ඩායම එසේ සමත් වූවා.

මුළු මහත් ක්‍රීඩා ලෝකයම මොහොතකට වික්ෂිප්ත කර වූ කෙන්යානු කණ්ඩායම, තරගාවසානයේ තම රටේ, තමන් වෙනුවෙන් ඔල්වරසන් නගන ප්‍රේක්ෂකයින් වෙත ආචාර දක්වමින් ක්‍රීඩා පිටිය වටා දිව යන දර්ශනය අදටත් අමතක නොවන සිදුවීමක්.

2003 ලෝක කුසලානය කියන්නෙම පෙරළියක්

2003 ක්‍රිකට් ලෝක කුසලානය එතෙක් මෙතෙක් පැවති පෙරළිකාරතම ලෝක කුසලානය සේ හැඳින්විය හැකියි.

මෙම ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 14ක් තරග කළ අතර, මූලික වටයෙන් අනතුරුව සුපිරි කණ්ඩායම් හයක් තෝරා එම කණ්ඩායම් අතර තරග පැවැත්විය.

මෙහි දී සුපිරි කණ්ඩායම් හය ලෙස තේරී පත්වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිම්බාබ්වේ සහ කෙන්යාව යන කණ්ඩායම් වූ අතර, ඔවුන් එසේ ඉදිරියට යද්දී දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය වැනි කණ්ඩායම්වලට මූලික වටයෙන්ම එළියට විසි වීමට සිදු වීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණකි.

2003 දී ඕස්ට්‍රේලියානුවන්ව මොහොතකට සසල කල කෙන්යාව

ශ්‍රී ලංකාව ඉන්පසුව තරගාවලියේ තවත් ප්‍රකට වූ තරග දෙකකට බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමඟ සහභාගී වෙමින් සුපිරි හය වටයත්, ඉන් අවසන් පූර්ව වටය වන තුරුත් ඉදිරියට යාමට සමත් වූ අතර, අවසන් පූර්ව වටයේ දී එවර ලෝක ශූරයින් බවට පත් වූ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලැබිය හැකිව තිබූ පහසු ජයග්‍රහණය මග හැර ගැනීමෙන් අනතුරුව තරගාවලියෙන් ඉවත් ව යාමට සිදු විය.

කෙන්යාව ශ්‍රී ලංකාවට එරෙහිව ලද ජයග්‍රහණය දවසේ වාසනාව නිසා පමණක්ම සිදු වූ දෙයක් නොවන බව පසක් කරවමින් ප්‍රබල කණ්ඩායම්වලට එරෙහිව හොඳින් තරග කරමින් ද අවසන් පූර්ව වටය දක්වා ඒමට සමත් විය.

එහි දී කෙන්යාව විසින් සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලබා දුන් අනපේක්ෂිත තරගය අදටත් කතාබහට ලක් වන්නක්.

එහි දී කෙන්යානු ක්‍රීඩක Aasif Karim විසින් පන්දුවාර 8.2 යවමින් ලකුණු හතක් පමණක් ලබා දී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් තිදෙනෙක් දවා ගැනීමට සමත් වන්නේ නිලකුණු පන්දුවාර 6ක් ද යවනා අතරේ දීයි.

නැමීබියාවට එරෙහිව ලද පරාජය

ශ්‍රී ලංකාව මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට පිවිසෙන්නේ ආසියානු ශූරයින් ලෙසින් වුවත්, පෙරවැරදි නිසාවෙන් ඔවුන්ට ලෝක කුසලානයේ මූලික වටය ක්‍රීඩා කිරීමට සිදු වී තිබෙනවා.

ඊයේ නැමීබියාවට එරෙහිව ලද ලකුණු 55ක පරාජය සමඟින්ම නිතැතින්ම සිහියට එන 2003 දී කෙන්යාව ඉදිරියේ ලද පරාජයේ දීත්, ඊයෙත් තැනින් තැන ඇහුණු කතාවක් තමයි “ඔවුන් තරගය සැහල්ලුවට ගත්තා ද?” කියන කාරණය.

නැමීබියාව ඉදිරියේ අසරණ වූ ශ්‍රී ලංකාව

එදා කෙන්යාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද පරාජයේ දී ම මෙන්ම, ඊයේ තරගයේ දීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගය සැහැල්ලුවට ගත්තා කියනවාට වඩා ගැළපෙන ප්‍රකාශය “එදා ඔවුන් කණ්ඩායම් ලෙස අසාර්ථක වූවා“ යන්නයි.

ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු බොහෝ දෙනා කියූ ලෙස ක්‍රීඩකයෙක්, දෙදෙනෙක් මතින් “නොයැපී” කණ්ඩායමක් ලෙස ජයග්‍රහණ සොයා ගිය ශ්‍රී ලංකාව ඊයේ කණ්ඩායමක් ලෙස අසාර්ථක විය.

2003 දී කෙන්යාව ඉදිරියේ ලද පරාජයෙන් අනතුරුව එවකට කණ්ඩායමේ නායකයා වූ සනත් ජයසූරිය පවසා සිටියේ, “මෙය මගේ තරග ජීවිතයේ ක්‍රීඩා කළ නරකම තරගයයි” යනුවෙනුයි.

එක් තරගයක් “නරක” වූ පමණින් කණ්ඩායම “නරක” නොවන බවත්, 2003 මූලික වටයේ දී ද කෙන්යාව ඉදිරියේ ඇපත් නැතිව අසරණ වූ ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව වටය තෙක් ඉදිරියට ගිය බවත් ඔබ මතකයේ තබා ගත යුතුය.

“ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවයි” යන උධෘතයට වඩා  “ක්‍රිකට් යනු අනපේක්ෂිත ක්‍රීඩාවකි” යන්න මතකයේ රඳවා තබා ගෙන අපි 2022 ක්‍රිකට් ලෝක කුසලානය වෙත දෑස් අයාගෙන සිටිමු!

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<