ක්‍රිකට් රසිකයකු කියවිය යුතුම පොත “චයිනමන්”

975

චයිනාමන් ලියන්නේ ශෙහාන් කරුණාතිලක විසින්, චයිනමන් පොතේ තියෙන්නේ අපි කවදාවත් නම අහපු නැති ඒත් ලංකාවේ හිටියාය කියන විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා වුනු ප්‍රදීප් මැතිව් ගැන.

මේ පොත කියවලා ඉවර වෙද්දී ඔබ ප්‍රදීප් මැතිව් ගැන හොයන්න උනන්දු වෙනවා කියන්නේ ශෙහාන් සාර්ථකයි කියන එක. ඒත් ඇත්තටම “ප්‍රදීප් මැතිව්” කියලා කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ!

ශෙහාන් කරුණාතිලක මීට සති කිහිපයකට ඉහත දී (2022 ඔක්තෝබර් 17 වැනිදා) The Booker Prize එක දිනා ගන්න සමත් වෙනවා. ඒ ඔහුගේ දෙවැනි කෘතිය වුණු The Seven Moons of Maali Almeida වෙනුවෙන්.

බුකර් සම්මානය කියන්නේ ලේඛකයෙක්ට ලෝක මට්ටමෙන් ලැබිය හැකි ඉහළම සම්මානය කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ශෙහාන් මේ ලබලා තියෙන්නේ ඔහුගේ ජීවිත කාලය පුරාවටම ලේඛකයෙක් විදිහට ලැබිය හැකි ඉහළම සම්මානය. අපිට ඒ කාරණය ඒ තරම්ම සැහැල්ලුවෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි.

මේක කියවන ඔබට සහ ලියන මට දැනෙනවාට වඩා බර වැඩි ඇගයීමක් ශෙහාන් කරුණාතිලකට හිමි වුනේ!

බුකර් සම්මානය දිනා ගත්තු ප්‍රථම ශ්‍රී ලාංකිකයා ශෙහාන් නෙවෙයි, මීට වසර 30කට පෙර ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන කැනේඩියානු ජාතික Michael Ondaatje විසිනුත් බුකර් සම්මානය ජයග්‍රහණය කරනවා. ඒ ඔහුගේ The English Patient කෘතිය වෙනුවෙන්.

පසු කාලෙක මේ කෘතිය පාදක කරගෙන ඒ නමින්ම නිර්මාණය වෙන චිත්‍රපටිය ඔස්කාර් සම්මාන දිනන්නත් සමත් වෙනවා.

අන්න ඒ Michael Ondaatje, ශෙහාන්ගේ පළවෙනි පොත වුනු චයිනමන් ගැන කියලා තිබුණේ මේ විදිහට.

“උමතු, මංමුලා කරවනසුලු රසයක්”

                                                – චයිනමන් (පසු කවරය)

චයිනාමන් කියන්නේ පාඨකයාව මංමුලා කරවන සුළු පොතක් තමයි!

චයිනමන් පොතේ ඉන්නවා විවිධ චරිත. ඒ හැම චරිතයක්ම ශෙහාන් කරුණාතිලක විසින් මවපු චරිත තමයි, ඒත් ඒ හැම චරිතයක් ඇතුලෙම ඔබට යම් හුරු පුරුදු බවක් දැනේවී.

ඔබව සත්‍ය සහ අසත්‍ය අතර අතරමං කරවනසුළු කතාවක් ලියන්න ශෙහාන් කරුණාතිලකට වැඩිම සහයෝගය ලබා දුන්නේ ඒ ඒ චරිත විසින් පාඨකයාගේ හිතේ ගොඩ නංවන්න සමත් වුනු ආකල්පමය කියවීම බව ලියුම් කරු විසින් විශ්වාස කරනවා.

ඒ අස්සේ ශෙහාන් ප්‍රදීප් මැතිව් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පවා නියෝජනය කළාය කියන හැඟීම ඔබට සමීප කරන්නේ, ඇත්තටම එහෙම තරග ඉතිහාසයේ පැවැත්වුනා ද කියලා ඔබට සැකයක් ඇති කරන මට්ටමින්.

මෙතන දී ශෙහාන් කරන එකම දේ ඇත්ත සහ බොරුව එකකට එකක් පටලවලා පාඨකයා වෙත ගෙන ඒම පමණයි.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල හරය, ලස්සන සහ අවලස්සන සිත් අලවන, සමහර විට ඇස් අරවන ආකාරයෙන් ශෙහාන් කැටිකර පෙන්වයි, මා ඉතා ආශාවෙන් කියවූ පොතකි.”

                        – චයිනමන් (පසු කවරය)

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර චයිනමන් ගැන එහෙම කියනවා.


කවුද එතකොට ප්‍රදීප් මැතිව් කියන්නේ?

චයිනමන් ඇතුලේ අපිට මුන ගැසෙන විවිධ චරිත අතරේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ “ප්‍රදීප් මැතිව්” වුනත්, ප්‍රධාන චරිතය වෙන්නේ ඩබ්ලිව්. ජී. කරුණාසේන කියන වයස අවුරුදු 64ක් වෙන “බේබදු” “මහළු” ක්‍රීඩා මාධ්‍යවේදියා. ඔහුගේ සහයට ඉන්නවා ඔහුගේ ළඟම මිතුරා ආරි.

මේ දෙදෙනා තමයි ලෝකයේ බිහිවුනු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා බව ඔවුන් පමණක් විශ්වාස කරන “ප්‍රදීප් මැතිව්” ව හොයාගෙන යන්නේ.

මේ පොත පුරාවටම තියෙන්නේ ඔවුන් ප්‍රදීප් මැතිව්ව ලෝකයට හෙලි කරන්න දරන ප්‍රයත්නය.

කරුණාසේන කියන විදිහට ප්‍රදීප් මැතිව් ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කරලා තියෙනවා ලු. ඔහුට ඒ තරගවල වගේම දේශීය තරග බිමෙත් ඉතා ඉහළ පන්දු යැවීමේ වාර්තා තියෙනවා ලු. නමුත් අවාසනාවකට ඒ සියලුම වාර්තා ඉතිහාසයෙන් මකා දමලා ලු තියෙන්නේ. ඒ මදිවට මේ ක්‍රීඩකයා අවුරුදු ගානක් තිස්සේ ආගිය අතක් හොයාගන්නත් නැහැ ලු.

මේ සියල්ලම කියන්නේ වයස අවුරුදු 64ක් වෙන, බීමත්කම නිසාම සුදු කොඩි පෙනි පෙනී ජීවත් වෙන උද්දච්ච මහල්ලෙක්!

ඒ මහලු මනුස්සයාගේ එකම බලාපොරොත්තුව ඇස් දෙක පියවෙන්න පෙර ප්‍රදීප් මැතිව් ගැන ලෝකයට හෙළිදරව් කිරීම.

මෙතැනින් එහාට ඔබට ප්‍රදීප් මැතිව් ගැන හෝ කරුණාසේන ගැන වැඩි විස්තර නොකියන්න මම පරිස්සම් වෙන්නම්, මොකද පොතක් කියන්නේ පිටුවෙන් පිටුව කියවලා රස විඳිය යුතු එකක් මිස සාරාංශයකින් කතාව අනුමාන කරන එකට නෙවෙයි.

චයිනමන් කියන්නේ “ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින්ව” පරෙස්සමට කියවපු පොතක්

චයිනමන් හි කතාව කියන කරුණාසේනගෙන් වගේම ඔහු වටා සිටින පුද්ගල චරිතවලින් පවා පිළිබිඹු වෙන්නේ ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයා සහ ශ්‍රී ලාංකික ක්‍රිකට් සංස්කෘතිය.

ක්‍රිකට් තරගයක් වෙනුවෙන් තමන්ගේ පාසල් ගමනේ එක දවසක් පැත්තකට දාන කුඩා දරුවත්, රැකියාව පැත්තකට දාලා නිවාඩු දාන තරුණයත්, තමන් සන්තකයේ තියෙන සබ්බ සකලමනාවම ක්‍රිකට් තරගයක් වෙනුවෙන් ඔට්ටුවට දාන සූදු කප්පිතෙකුත්, ක්‍රිකට් තරගයක මුල මැද අග යා වෙනකම්ම බෝතල් ගණනින් හිස් කරමින් මත් වෙන බේබද්දනුත් ගැන කරුණාතිලක විසින්  චයිනමන් හරහා “කරුණාසේන” භාවිතයෙන් ලෝකයට කියනවා.

ඒ තමයි ලංකාවේ ක්‍රිකට් සංස්කෘතිය.

චයිනමන් කියන්නේ පත්තරෙන් ගුවන් විදුලියට මාරු වෙලා, ගුවන් විදුලියෙන් රූපවාහිනියට මාරු වුන ක්‍රිකට් සංස්කෘතිය එක්ක බැඳිලා තියෙන ලාංකිකයා ගැන කතාව.

චයිනමන් කියන්නේ ලංකාවේ ජාති, ආගම්, කුල මල ගැටුම්වල මුල මැද අගය එකකට එකක් ඈඳුණු බව හාස්‍යජනක ස්වරයෙන් කියවන්නාගේ ඇස් හරහා මොළයට කාන්දු කරවන කතාව.

හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත චයිනමන් ගැන මෙහෙම කියනවා.

“උඩින් ක්‍රිකට්, යටින් නිසැකවම ලාංකිකත්වය පිළිබඳවයි. මේ කතාව, චරිත හා සිදුවීම්වල උස් පහත් තැන් හොඳම තරගවාර හා සමානය”

                                                                                    – චයිනමන් (පිට කවරය)

ශෙහාන් මේ ලියන්නේ තමන්ගේම සැබෑ නොවුනු සිහිනයක් ගැන ද?

චයිනමන් කතාව කියන කරුණාසේන මාධ්‍යවේදියෙක් සහ ක්‍රිකට් පිස්සෙක්, ප්‍රදීප් මැතිව් කියන්නේ “චයිනමන්” පන්දු යවන්නෙක්. ඒ වගේම කරුණාසේනගේ එකම පුතා “ගාර්ෆීල්ඩ්” ක්‍රීඩාවට වඩා සංගීතයට ආදරය කරන්නෙක්.

විශේෂත්වය වෙන්නේ ශෙහාන් කරුණාතිලක කියන විදිහට ඔහුටත් ලංකාවේ බහුතරයක් පාසල් ළමුන්ගේ හීනයක් වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන හීනය තිබිලා තියෙනවා. ඔහුත් ස්වභාවයෙන්ම වමත් චයිනමන් දඟපන්දු යවන්නෙක්.

ඒ වගේම ඔහු සංගීතයට බොහෝම ලැදියි. මේ දේවල් ශෙහාන්ට විතරක් පොදු වූ සුවිශේෂී ගුණාංග නම් නෙවෙයි. මේ තමයි ලාංකිකයින්ගේ හීනවල හැංගිලා තියෙන, අහම්බයෙන් දක්ෂ වගේම වාසනාවන්තයෙකුගේ විතරක් ඇත්ත වෙන බලාපොරොත්තු.

ශෙහාන් තමන්ගේ පොතෙන් එළිය දෙන්නේ ඒ අහිංසක හීනවලට කියලයි මම විශ්වාස කරන්නේ.

“මේ අදහසත් වැඩුණේ අනෙක් දේවල් වගේමයි. ගසක් තරම්ම හෙමින්. දළු ආවේ කඳ වැඩෙන්න ඉස්සර, මුල් ගොඩක් තිබුණා. මේ තුනක්:

  1. ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟපන්දුකරුවෙක් වෙන්න අවුරුදු 30 පනිනකම්ම තිබුණු ගැටවර හීනය.”

                                    – චයිනමන් (ඩබ්ලිව්.ජී.සෙවිල්ල පරිච්චේදයෙන්)

තමන්ගේ කතාව ලියවෙන්න පටන් ගත්තු විදිහ ගැන ශෙහාන් දෙන හේතු තුනෙක් එකක් තමයි ඒ.

චයිනමන් කියන්නේ ක්‍රිකට් ගැන විතරක්ම තියෙන පොතක් නෙවෙයි

චයිනමන් පොතේ ප්‍රධාන හරය ක්‍රිකට් එක්ක බැඳිලා තිබුනට, ඒ කතාවේ අහු මුළුවල තවත් අතුරු කතා බොහෝමයක් තියෙනවා.

පාපන්දු ක්‍රීඩාව, බොක්සිං ක්‍රීඩාව වගේ තවත් ක්‍රීඩා ගැන වගේම ප්‍රදීප් මැතිව් තම දස්කම්වල ඉහළම තලයේ වැජඹුණු 80 දශකයේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වටපිටාව පිළිබඳවත් ශෙහාන් සවිස්තරාත්මක විවරණයක් ලබා දෙන්න සමත් වෙනවා.

ඒ එක්කම කරුණාසේන කියන මහළු බේබදු මාධ්‍යවේදියාව පාවිච්චි කරමින් ශෙහාන් එළියට දාන්නේ අවංක මනුෂ්‍ය ආත්ම කතනයක්. මොකද කරුනාසේණත් පිළිගන්න පරිදිම ඔහු කතාවක ප්‍රධාන චරිතයට ගැළපෙන සුදු, ශීලවන්ත චරිතයක් නොවන නිසා.

“මාත් කැමතියි ටයිම් සඟරා කවරයක් වගේ මතක සටහනක් වෙන්න. ඔලිම්පික් පදක්කමක් දිනලා නැත්නම්, අන්‍තිම පන්දුවට ජයග්‍රාහී හයක් ගහලා, අඩුම තරමින් මිනිස්සු හිනස්සන්න පුළුවන් විහිළු කළ මිනිහෙක් හැටියටවත්.

 

ඒත් අන්තිමේ දී මාව මිනිස්සුන්ට මතක හිටින්නේ තමුන්ගේ අයියගේ ගෑණිටත් බනින බේබද්දෙක් හැටියට නම් ගෙදරට හොරු පැන්න වෙලාවේ, ඇඳ යට හැංගුණු බයගුල්ලෙක් ගානට නම් එහෙමත් නැතිනම්, හැමදාම පළවෙනි පන්දුවෙන් පොලු ගලවලා යන අපතයෙක් හැටියට නම් මොකද කරන්නේ?”

                                    – ඩබ්ලිව්. ජී. කරුණාසේන (චයිනමන් , 268 පිටුව)

ගාඩියන් පුවත්පත නම් කියන්නේ චයිනමන් කියන්නේ Booker සම්මානය ලැබිය යුතු එකක් බව

චයිනමන් පොතට සම්මාන සෑහෙන්න සම්මාන ලැබෙනවා, ඒ අතර

  • 2012 හොඳම පොදු රාජ්‍ය මණ්ඩලීය නව කතාව
  • 2012 දකුණු ආසියානු සාහිත්‍ය සඳහා CSC ත්‍යාගය
  • 2008 ග්‍රේශන් ත්‍යාගය
  • 2011 වෝටර්ස්ටෝන්ස් හොඳම කුළුඳුල් නවකතා 11

තිබුනත්, ගාඩියන් කිව්වා වගේ Booker සම්මානය නම් ලැබුණේ නැහැ. ගාඩියන් පුවත්පත එහෙම කිව්වට Booker සම්මානය දෙන විනිශ්චය මණ්ඩලය චයිනමන් ගණන් ගත්තේ නැහැ කියලයි ශෙහාන් පොතේ කියලා තියෙන්නේ.

ඒ කොහොම වෙතත් ඔහුගේ කුළුඳුල් නව කතාව ගණන් නොගත්තට දෙවැනි නව කතාව ගණන් නොගෙන ඉන්න Booker විනිශ්චය මණ්ඩලයට නොහැකි වුනා!

ශෙහාන් කරුණාතිලක චයිනමන් ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්, නමුත් මේක සිංහලයට පරිවර්තනය කරන්නේ ඔහු විසින් නෙවෙයි.

එහි වගකීම භාර ගන්නේ දිලීප අබේසේකර විසින්. දිලීපගේ නම පොතට ගෑවෙනවා වගේම දිලීප අබේසේකරගේ තාත්තා ලංකාවේ ක්‍රිකට්වලට සෑහෙන්න ලොකු සම්බන්ධයක් තිබුණු කෙනෙක්. ඒ තමයි හිටපු ප්‍රවීණ ගීත රචකයෙක් වගේම, ක්‍රිකට් විස්තර විචාරකයෙකුත් වුණු කරුණාරත්න අබේසේකර මහතා.

ඔබ ක්‍රිකට් රසිකයෙක් නම් චයිනමන් කියවන්න

ඔබ චයිනමන් කියවිය යුතු “ප්‍රදීප් මැතිව්” කියන්නේ කවුද කියලා දැන ගන්න විතරක්ම නෙවෙයි, ලංකාවේ ක්‍රිකට් එක්ක ඔබට ඇති බැඳීම තවත් තර කරගන්න පුළුවන් පොතක් වීම නිසා.

ලෝ ප්‍රකට Wisden සඟරාව තේරූ හොඳම ක්‍රිකට් පොත් 7 අතරට එකතු වෙන්න චයිනමන්ට පුළුවන් වෙනවා.  ඒ තේරීම සම්බන්ධයෙන් දක්වපු පැහැදිලි කිරීම අස්සේ මේ වගේ අදහසක් එකතු වෙලා තිබුණා.

“මෙය මට මහත් පුදුමයක්. එය ඒ තරම්ම පර්යේශනාත්මක නවකතාවක්. නමුත් එය සැබෑම ක්‍රිකට් ක්‍රීඩාවට අනුකූලව ලියා ඇති අතර, මෙම ප්‍රදීප් මැතිව් චරිතය සැබැවින්ම සිටියා ද, නැද්ද යන්නේ ඔබට නොදැනෙනු ඇත.”

ඔබ චයිනමන් නොකියවූ අයෙක් නම්, කියවන්නට අදහසක් නොතිබුණු අයෙක් නම් Wisden විසින් දුන් ඒ සහතිකය ඔබේ හිතේ අලුත් බලාපොරොත්තුවක් ඇති කරා යැයි යන විශ්වාසයෙන් මේ ලියමනේ අවසානය සටහන් කරන්නම්.

සටහන අවසන් කරන්න හොඳම විදිහ ශෙහාන් කරුණාතිලක චයිනමන් කතාව පටන් ගත්තු තැන කියලා මට හිතුණා.

“ඔන්න ඕකයි ප්‍රශ්නේ. ප්‍රදීප් මැතිව් කීවම කවුරුත් අහන්නේ ‘ කවුද ඒ?, අපි අහල නෑනේ’ කියලයි. මේ දැන්, ඔබට වුනත් එහෙම හිතෙනවා නම් ඒ ගැන පුදුම වෙන්නේ නෑ.

මං මේ ගැන දිගට හරහට හොයලා තියෙනවා. මිනිහා සෙල්ලම් කළ තරගයක් තරගයක් ගානෙ විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒත් මේ රටේ හිටිය හොඳම, විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ගැන කිසි කෙනෙක් නොදන්නේ ඇයි?

හේතු ගොඩක් තියෙනවා. වැරදි කාලේ, වැරදි තැන මිනිහා හිටියේ. සල්ලි, කම්මැලිකම, දේශපාලනේ, ජාතිවාදේ, කැපිලි, ලයිට් කැපිලි (ඒ කීවේ විදුලි බලය) එහෙමත් නැත්නම් කාලකණ්නිකම. ඔන්න ඔය වගේ පිළිවෙළක් නැති ඒවා. මං මේ ගැන ලියන්න ගත්තට කිසි කෙනෙක් මේක කියවයි ද, නැද්ද කියලා කවුද දන්නේ. ඒකත් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්.”

                                                                                    – චයිනමන් ( 09 පිටුව)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<