කට හොඳ නැති Gautham Gambhirගේ අනාවැකි

5609

Gautham Gambhir කියන්නේ ඉන්දියාව විසින් බිහි කරපු දක්ෂ පිතිකරුවෙක් සහ හොඳ big game player කෙනෙක්.

2011 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය බලපු ඕනම ශ්‍රී ලාංකිකයෙක් අකමැත්තෙන් වුනත් ඒ දේට එකඟ වේවි. හැබැයි Gauthamගේ කට නම් පිත්ත තරම් හොඳ එකක් නෙවෙයි. දෙයක් කිව්වොත් වෙන්නෙම ඒකේ අනිත් පැත්ත!

ක්‍රිකට් වේවා, ඕනම ක්‍රීඩාවකට බලපාන්නේ ක්‍රීඩකයින්ගේ කැපවීම, දක්ෂතාවය සහ දවසේ වාසනාව වගේ දේවල්. කොහේ හරි ඉඳගෙන මැච් එකක් බලන කෙනෙක් කියන දෙයක්, කරන දෙයක් තවත් තැනක තියෙන තරගයකට බලපානවා කියලා හිතනවා නං ඒකත් එක්තරා විදිහක අන්ධ භක්තියක් තමයි.

හැබැයි ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ විදිහට අපි ගොඩක් දෙනෙක් ගෙදර රූපවාහිනිය ඉස්සරහා වාඩි වෙලා ක්‍රිකට් මැච් එකක් බලද්දී තරගය හොඳට යනවා නම් වාඩි වෙලා ඉන්න ඉරියව්වවත් වෙනස් කරන්නේ නැහැ. ඒවා විද්‍යාත්මක පැහැදිලි කිරීම් කළ යුතු මහා බරපතළ කාරණා නෙවෙයි, සරල දේවල්.

අකමැති කෙනෙක්ට පසුවෙන්ම අත් හැරලා දාන්න පුළුවන් විදිහේ ඒවා.

“වස්ති” එහෙම නැත්තම් ඉංග්‍රීසියෙන් “Jinks“ කියලා කියන්නෙත් ඔය වගේ දේවල්වලට. විශේෂයෙන්ම සෝශල් මීඩියා වලදී මේ වගේ වස්ති කතා කියන අය අපිට මුණ ගැහෙනවා. දෙයක් කිව්වොත් වෙන්නෙම ඒකේ අනිත් පැත්ත, කාට හරි සහය දුන්නොත් දිනන්නෙම අනිත් පැත්ත.

Gautham Gambhir කියන 41 හැවිරිදි හිටපු සුපිරි ඉන්දීය පිතිකරුවා සහ වර්තමාන විස්තර විචාරකයාව අද වෙද්දී සමාජ මාධ්‍ය ජාලා වල වැඩියෙන්ම විහිළුවට ලක් (troll) වෙන්නෙත් මෙන්න මේ “වස්ති” කට නිසා.

මේ තියෙන්නේ ඒවගේ සිද්ධි කිහිපයක්,

  1. Marcus Stoinisගේ 2020 IPL අවසන් මහා තරඟය හීනයක්ම කර දැමීම

2020 IPL තරගාවලියේ දී Delhi Capitals නියෝජනය කළ ඕස්ට්‍රේලියානු ජාතික Marcus Stoinis විසින් එවර තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර, IPL තරගාවලි ඉතිහාසයේ Delhi Capitals කණ්ඩායමක් විසින් හොඳින්ම දස්කම් දැක්වූ තරග වාරයක් බවට 2020 ඉතිහාස ගත කරමින් ඔවුන් එවර අවසාන මහා තරගයට සහභාගී වීමට ද සුදුසු කම් ලබනවා.

අවසන් තරගයට පෙර Gautham විසින් තමන්ගේ අවසන් මහා තරගයේ fantasy team එක නම් කරන අතර, එහි නායකත්වය ලබා දෙන්නේ Marcus Stoinis හටයි.

අවසන් තරගයට ක්‍රීඩා කරන Stoinis විසින් එතෙක් තරගාවලියේ ඔහුගේ දුර්වලතම තරගය ක්‍රීඩා කරන්නේ තරගයේ පළමු පන්දුවෙන්ම ලකුණු බිංදුවකට (Golden Duck) දැවී යමින්, පන්දු යැවීමේ දී Delhi Capitals කණ්ඩායමෙන් Mumbai Indians කණ්ඩායම වෙත වැඩියෙන්ම ලකුණු ලබා දුන් පන්දු යවන්නා විදිහටත් සටහන් වෙමිනුයි.

IPL අවසන් මහා තරගයේ ලකුණු බිංදුවකට දැවී යන Marcus Stoinis (Image source – thechronicle)
  1. Punjab Kings කණ්ඩායම පෙනෙන මානයේ තිබූ ජය අහිමි වීම

Rajasthan Royals සහ Punjab Kings අතර තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසි තියෙන්නේ Punjab Kings කණ්ඩායමටයි.”

2021 IPL තරගාවලියේ Rajasthan Royals සහ Punjab Kings කණ්ඩායම් අතර තරගයකට පෙර Gambhir එහෙම අනාවැකියක් පවසනවා.

තරගයේ ලකුණු 186ක ඉලක්කයක් හඹා යමින් සිටි Punjab Kings පන්දුවාර 11.5ක දී කිසිවකු නොදැවී ලකුණු 120ක් රැස් කරගනිමින් ජයග්‍රහණය පෙනෙන මානයට ගෙන එන්නට Mayank Agarwal සහ KL Rahul සමත් වුනත්, හිටි හැටියේම ක්‍රියාත්මක වූ රාජස්තාන් වේගපන්දු යවන Kartik Tyagi විසින් පන්ජාබ් ජයග්‍රහණය සිහිනයක් බවට පත් කරවමින්, රාජස්තානයට ජය ගෙන ඒමට සමත් වන්නේ එම අනපේක්ෂිත පරාජයේ වගකීමත් Gauthamගේ මල්ලට එකතු කරමිනුයි.

ඒ තරගය අවසානයේ දී Twitter හී Gautham Gambhirගේ මේ අනාවැකියට ඉහළ ප්‍රතිචාර හිමි වෙන්නේ මේ විදිහට.

“මෙයා මොන දේ කිවුවත්, වෙන්නේ ඒකේ අනිත් පැත්තමයි.”

“රාජස්තාන ජයග්‍රහණයේ සැබෑම හිමිකාරයා තමයි Gautham Gambhir, කරුණාකරලා මේ අනාවැකි කියන එක නවත්තන්න පුළුවන් ද?”

  1. AB de Villiersගේ හයේ පහරවලට තිත

2021 IPL තරගාවලියේ 31 වැනි තරගය විදිහට Royal Challengers Bangalore සහ Kolkata knight riders කණ්ඩායම් අතර තරගය පැවැත්වීමට පෙර ගෞතම් ගාම්බීර් විසින් තවත් අනාවැකියක් කියනවා. ඒ තමයි තරගයේ වැඩිම හයේ පහර එල්ල කරන ක්‍රීඩකයා කවුරුන් ද යන පැනයට AB de Villiersගේ නම සඳහන් කරමින්.

තරගයේ දී බලාපොරොත්තු නොවූ ලෙස Royal challengers bangalore පිතිකරුවන් එකිනෙකා අඩු ලකුණුවලට දැවී යන අතරේ,  AB de Villiers ද තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා (Golden Duck) දැවී යනවා.

වැඩිම හයේ පහර එල්ල කරනවා යැයි කියූ AB de Villiers ලකුණු බිංදුවකට දැවී යාම (Image source – guerillacricket)

AB ලකුණු බිංදුවයි, ක්‍රිකට් වලින් සමුගත්තා කියලා GGගේ (Gautham Gambhir) නම අමතක කරන්න හිතන්නවත් එපා.”

ඒ විදිහට තරගයෙන් පස්සේ පුරුදු පරිදි සමාජ මාධ්‍ය ජාලා වල එහි වරද පටවමින් විහිළුවට ගන්නේ අපේ කතා නායකයාවම තමයි.

  1. 2021 IPL දිනපු Chennai Super Kings කණ්ඩායමේ ජයග්‍රහණය පිටිපස්සෙත් Guthamගේ අදිසි හස්තය

2021 IPL තරගාවලියේ Play-off වටය ආරම්භ වීමට කලින් Gautham Gambhir මෙහෙම ප්‍රකාශයක් සිදු කරනවා.

මගේ හදවත කියන්නේ KKR (Kolkata Night Riders) මෙවර IPL ශූරතාවය දිනාවි කියලා, හැබැයි වගේම අලුත් කණ්ඩායමක් මෙවර ශූරතාවය දිනනවටත් මම කැමතියි.”

එවර Play-off තේරිලා හිටපු කණ්ඩායම් හතර වුනේ එකදු IPL ශූරතාවයක් හෝ දිනා නැති Royal Challengers Bangalore, Delhi Capitals කණ්ඩායම් දෙකට අමතරව දෙවතාව බැගින් ශූරතාවය දිනාගෙන හිටපු Kolkata Night Rider සහ Chennai super kings කණ්ඩායම් දෙක.

එවර IPL කිරුල හිමිකර ගන්නේ Gautham Gambhirගේ අනාවැකියට අහු නොවුනු එකම කණ්ඩායම වුණු Chennai super kings විසිනුයි. Gautham Gambhirගේ කට “වස්ති” කියලා නිකමට කිව්වට, ඒකෙත් අත් හැරලා දාන්න බැරි මොකද්දෝ රහසක් තියෙනවා කියලා හිතෙන්නේ මෙහෙමත් වෙලාවකට.

  1. 2021 ලෝක කුසලාන ජයග්‍රහණය නවසීලන්තයෙන් දුරස් කිරීම

2021 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගයට තේරී පත් වෙන්න සමත් වෙන්නේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත යන කණ්ඩායම් ද්විත්වය.

අවසාන මහා තරගය ආරම්භ වෙන්න කලින් Gautham Gambhir එවර කුසලානය අවසන් මහා තරගයේ වැඩි වාසි නවසීලන්තය වෙතට පවතින බවට අනාවැකි පළ කරනවා.

“මට අවශ්‍යයි නවසීලන්තය මෙවර ශූරතාවය දිනා ගන්නවා දකින්න, මොකද මම ඔවුන් ක්‍රීඩා කරන ක්‍රිකට් එකට කැමතියි.”

2021 ලෝක කුසලාන තරගාරම්භයය පෙර Gambhir ගේ සහය නවසීලන්තයට ලැබිනි (Image source – cnbc)

මේ අනාවැකියට ප්‍රේක්ෂකයින්ගෙන් පුරුදු පරිදිම ලස්සන පිළිතුරු ටිකක් Gambhirට ලැබෙනවා.

තරගය පටන් ගන්නත් කළින්ම සමහරු ඕස්ට්‍රේලියාවට සුබ ප්‍රාර්ථනා කරන අතරේ, තව කෙනෙක් තරගයේ දින්නයින් පස්සේ Gambhirට තෑග්ගක් යවන්න කියලත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මතක් කරලා තිබුණා.

Gautham Gambhirගේ අනාවැකි මොන තරම් බය විය යුතු වර්ගයේ ඒවා ද කියලා නැවත වරක් සනාථ කරමින් 2021 ලෝක කුසලානය කඩුලු අටකුත්, පන්දු හතකුත් ඉතිරිව ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වෙන්නේ නවසීලන්තයට අනුශූරතාවය උරුම කර දෙමින්.

Gambhirට වැරදුණු තැන් විතරක් කියාගෙන ගිහින්, ඔහුට හරි ගිය තැන් වහලා දාන එක වැරදි වැඩක්.

2021 ලෝක කුසලානය ආරම්භ වෙන්න කලින් ඔහු එවර අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර මොනවද කියලා අනුමාන කිරීම් කළා.

ඔහුට අනුව ඉන්දියාව, නවසීලන්තය, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙවුවන් තමයි අවසන් කණ්ඩායම් හතර බවට පත් වෙන්නට නියමිතව තිබුණේ. අඩුම තරමේ ඔහුගේ අනුමාන හතරෙන් දෙකක් හෝ හරි ගියා කියලත් ලිපියේ සඳහන් නොකළොත් ඒක අඩුපාඩුවක්.

  1. Virat Kohli ශතක සියයත් හීනයක්ම වේවි ද?

Virat Kohli සහ Gautham Gambhir නම් දෙක ඇහෙන සැණින් මතකයට එන්නේ 2013 IPL තරගාවලියේ ඔවුන් දෙදෙනා අතර ඇති වුන ගැටුම. එදා ඇති වුන කලහකාරී හැසිරීම බොහෝ දෙනා අතරේ කතා බහට ලක් වුන දෙයක්.

හැබැයි වසර නවයකට පමණ පසුව ඒ ගැන අදහස් දක්වමින් Gambhir කියන්නේ නම් කිසිම පෞද්ගලික කෝන්තරයක් නිසා එවැනි සංවාදයක් ඇති නොවුණු බවත්, තරගයේ උණුසුම නිසා ඇති වුන සිදුවීමක් පමණක්ම කියලයි.

කොහොම හරි මෑත කාලයේ දී Gambhir විසින් Kohli ගැනත් අනාවැකියක් කියනවා,

Kohli අනිවාර්‍යයෙන්ම ශතක 100යේ කඩඉම පසු කරාවි, මොකද ඔහු ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්,” කියලා.

2019 සිට දින 1000ක් ඉක්මවා ගිය ශතක ඉඩෝරයකට මුහුණ  පා සිටි Kohliට කෙසේ වෙතත්, ඔහුගේ රසිකයින්ට නම් ඒ අනාවැකිය ඒ තරම් සතුටක් ගෙන දුන්නේ නැහැ.

කෙසේ වෙතත් තමන්ගේ ශතක ඉඩෝරයට තිත තියන්න සමත් වුන Kohli පසුගිය ආසියානු කුසලානයේ දී සිය 71ක් වැනි ශතකය ලබා ගැනීමට සමත් වුනා.

Gambhirගේ ඒ අනාවැකිය කොයි විදිහට විසඳේවි ද කියලා බලන්න නම් අපිට තව කාලයක් බලාගෙන ඉන්න වෙනවා.

මීට අමතරව තවත් Gambhirට වැරදුණු තැන් ගොඩක් තියෙනවා, විශේෂයෙන්ම මෑත කාලීන IPL තරග ඉතිහාසයේ ඔහු කරපු පෙරැයීම්, ඒ වගේම එකිනෙකට වෙනස් විදිහේ මත වගේ විවිධ කාරනා නිසා Gambhirව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වැඩියෙන් කතා බහට ලක් වෙන චරිතයක් බවට පත් වෙලා.

ශ්‍රී ලංකා ධජය සහිතව Gambhir (Image source – newsbruit)

මීට අමතරව පසුගිය ආසියානු කුසලානය අතරතුර දී විස්තර විචාරයේ යෙදුණු Gambhir විසින් ශ්‍රී ලංකාව පස්වරක් ආසියානු ශූරයින් වීම පිළිබඳ කියූ යම් වචන කිහිපයක් නිසා ඔහු ශ්‍රී ලාංකිකයින් අතරේ ද යම් තරමක කතා බහකට ලක් වුනා.

කෙසේ වෙතත් ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව, ජය සමරමින් සිටි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් ඉදිරියට ශ්‍රී ලාංකික ධජයක් ද රැගෙන යමින් ඔවුන්ට සුබ ප්‍රාර්ථනා එක් කිරීමට ද ඔහු අමතක කළේ නැහැ.

“සුබ පැතුම් ශ්‍රී ලංකාවට!, ඔවුන්ට එය හිමි විය යුතුයි,” යනුවෙන් Twitter ප්‍රකාශයක් ද Gambhir විසින් නිකුත් කර සිටියා.

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් Gambhirගේ සූදානම

මේ වන තෙක් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියානු කණ්ඩායමේ මුල් ස්ථාන තුනේ ක්‍රීඩා කළ යුතු අය කවුරුන්ද යන අදහස පමණයි ඔහු විසින් නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ.

එහි දී ඔහු තෝරාගෙන තියෙන්නේ Rohit Sharma, Ishan Kishan සහ Suryakumar Yadav යන අයයි. ඔවුන් කෙසේ මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා කරාවි ද, ලෝක කුසලානය අරඹයා Gautham Gambhir විසින්  කුමන ආකාරයේ අනාවැකි පළකරාවි ද යන්න අනාගතයට බාරයි.

කෙසේ වෙතත් ඒ එකදු අනාවැකියක්වත් ශ්‍රී ලංකාවේ නාමය සනිටුහන් නොවන තරමට ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින් නම් සතුටට පත් වේවි.

Gambhirගේ අනාවැකි වගේම, ක්‍රිකට් ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<