කලෙක ළඟම මිතුරාය, පසුව හතුරාය

907

ඔළුවටයි, පපුවටයි නොකඩවා පන්දු ඇදී එන සංස්කෘතිය, පාදයේ ඇඟිලි දක්වා වෙනස් කරන්න පුරෝගාමී වුනේ පාකිස්තාන ජාතික වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වූ Wasim Akram සහ Waqar Younis. ඔවුන් කාලයක් තිස්සේ හොඳම මිතුරන්, පස්සේ කාලෙක දරුණු ප්‍රතිවාදීන්. ඒ කොහොම වෙතත් ඔවුන්ගේ ප්‍රශ්නවලින් වැඩියෙන්ම තැළුණේ ඔවුන්ට මුහුණ දුන්නු පිතිකරුවන්!

Wasim Akram සහ Waqar Younis ගැන අටුවා ටීකා ලියන්න අවශ්‍ය වේවි කියලා මම හිතන්නේ නැහැ, ක්‍රිකට් ගැන අංශු මාත්‍රික හෝ දැනීමක් තියෙන ඕනම කෙනෙක් මේ දෙන්නා ගැන අහලා නැති වෙන්න විදිහක් නැහැ.

90 දශකය සහ 2000 මුල භාගයේ පිතිකරුවන්ගේ බිහිසුණු සිහිනය බවට පත්වන්නේ මොවුන් දෙදෙනායි. ක්‍රිකට් තරගයක ආරම්භයේ පටන් අවසානය වන තෙක්, ඕනෑම මොහොතක පන්දුව අතට ගැනීමට සූදානම්, ඕනෑම මොහොතක පන්දුව දෝලනය කිරීමට හැකියාව ඇති මොවුන් බොහෝ විට පැයට කිලෝමීටර 140-150 මට්ටමේ වේගය පවත්වා ගනිමින් ඉලක්ක කරන්නෙම ඔබේ පාදයේ ඇඟිලි තුඩුයි.

ඇඟිලි තුඩුවලට සහනයක් ලැබෙන මොහොතක පිතිකරුවාට නැවතත් තමන්ගේ හිස ගැනත්, පිත්තේ පිටත් අග්‍රය ගැනත් අවධානය යොමු කරන්නට සිදු වේවි. මේ බිහිසුණු වේගපන්දු යවන්නන් දෙදෙනා කාලයක් ළඟම මිතුරන්, ඒ වගේම කාලයක් ප්‍රබල හතුරන් ද වී සිටියා.

සරලවම කියනවා නම් මොවුන් දෙදෙනා එකිනෙකා අතර ඇති මත ගැටුම්වල පළිය ගත්තේ කොහේවත් ඉන්න පිතිකරුවන්ගෙන්.

ක්‍රිකට් ඉතිහාසයේ දැනට බිහි වී ඇති හොඳම වේගපන්දු යවන්නන් දෙදෙනා අතරින් Wasim සහ Waqar ඉදිරියෙන්ම පසු වන බව දත්ත වාර්තා මගින් පවා සනාථ කරන්නක්, නමුත් වඩාත් වැදගත් වන්නේ දත්ත වාර්තාවලටත් වඩා එකල ඔවුන්ට පණ බයේ මුහුණ දුන් පිතිකරුවන් විසින් ලබා දෙන චරිත සහතිකය බැවූ ලියුම්කරු විශ්වාස කරනවා.

90 දශකයේ පිතිකරුවන්ගේ බිහිසුණු සිහිනය (Image – thecricketmonthly)

“Wasim Akram සහ Waqar Younis කියන්නේ මම මුහුණ දීලා තියෙන විනාශකාරීම පන්දු යවන්නන් යුගලය.” –  Alex Stewart

“ඔවුන් ගොඩක් වේගවත් වගේම නුවණක්කාරයි, මම ඔවුන්ව හොඳම පන්දු යවන්නන් යුගලය විදිහට රේට් කරනවා ඕනම වෙලාවක.” – Ramiz Raja

“පාකිස්තානය එක්ක ටෙස්ට් මැච් එකක දී අපිට අවශ්‍ය වුනා නයිට් වොච්මන් විදිහට දොන් අරුණසිරිව ක්‍රීඩා පිටියට යවන්න. අපේ මැනේජර් රංජිත් ප්‍රනාන්දු අරුණසිරිව හොයනවා, ඒත් කිසිම තැනක ඔහු නැහැ. ඔහු අපිට හම්බවුනේ ගොඩ වෙලාවකට පස්සේ වොශ් රූම් එකක හැංගිලා ඉඳිද්දී. ඒ නිසා චම්පක රාමනායකට තමයි නයිට් වොච්මන් විදිහට යන්න වුනේ. ඒ ගිහිල්ලත් ඔහුට මුහුණ දෙන්න සිදු වුනේ පන්දු දෙකකටයි. Waqarගේ යෝකර් පන්දුවකට ඔහු දැවී ගියා.

90 දශකයේ දී හිටපු භයානකම පන්දු යවන්නන් වුනේ මේ දෙදෙනා, පන්දුව ඔළුවේ වදිනවට වඩා අපිට ඒ කාලේ තිබුණු ප්‍රශ්නය වුනේ කකුලේ ඇඟිලි තුඩු පරිස්සම් කරගන්නේ කොහොමද කියලා.” –  මුත්තයියා මුරලිදරන්

Wasim Akram සහ Waqar Younis මොන තරම් විශිෂ්ට ද, බිහිසුණු ද කියන මාතෘකාවට වඩා වෙනස් දෙයක් ගැන ලියන්න තමයි ලිපියේ අරමුණ, ඔවුන්ගේ විරසකය ගැන තමයි ලිපිය ලියවෙන්නේ.

ඒත් ඒ ගැන කතා කරද්දී තැනින් තැන ඔවුන්ගේ විශිෂ්ටත්වය ඉබේම මතු වෙලා ඒවි, මොකද ඉතිහාසයෙන් කටුගාලා දාන්න හෝ නිකම්ම අමතක කරලා දාන්න පුළුවන් දෙදෙනෙක් නෙවෙයි ඒ, රබර් බෝලයක් දියේ එබුවා වගේ ඉලිප්පිලා උඩට මතු වෙන්නමයි බලන්නේ. ඔවුන් ඒ තරමටම ශ්‍රේෂ්ඨයි!

90 දශකයේ මුල භාගයේ දී Wasim සහ Waqar ගැන පොතක් ලියන්න තීරණය කරනවා ඉංග්‍රීසි මාධ්‍යවේදියෙක්. ඔහු නමින් Jhon Crace. ඔහු තමන්ගේ අරමුණ මේ දෙන්නට කියනවා, එහි දී ඔවුන් දෙදෙනාගෙන්ම ඔහුට හිමි වෙන්නේ ඉතාම හොඳ ප්‍රතිචාරයක්.

“ඔවුන් බොහෝම මිත්‍රශීලීයි, ඒ දෙන්නා අතර විරසකයක සේයාවක් වත් පේන්න තිබුණේ නැහැ. පොතට නම දාද්දී කාගේ නම ද මුලින් වැටෙන්න ඕන, කාටද වැඩියෙන් ගෙවීම් කරන්න ඕන කියන දේවල් හාස්‍යජනක විදිහට ඔවුන් බැහැර කරලා දැම්මා”

Wasim, Waqar යන උග්‍ර ප්‍රතිවාදීන් දෙදෙනා 90 දශකයේ මුල දී ළඟම මිතුරන් වී හිටිය බව Crace විසින් මේ බව පසු කාලයක දී මතක් කරනවා.

Wasim සහ Waqar 90 දශකය මුල ළඟම මිතුරන් වී සිටියහ (Image – BBC News)

1992 දී ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්න සමත් වෙන්නේ පාකිස්තානය, එහි අවසන් මහා තරගයේ Wasim Akramගේ තුන් ඉරියව් දක්ෂතා ගැන කොහොම අමතක කරන්න ද. ඔහු තමයි අවසන් තරගයේ වීරයා. ඒත් 92 ලෝක කුසලානයට Waqarට සහභාගී වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ, ඒ ගැන වැඩියෙන්ම කනගාටුවෙන් පසුවුන කෙනෙක් විදිහටත් Crace විසින් මෙහි දී Wasim ව නම් කරනවා.

1992 දී පාකිස්තානය, එංගලන්තයට එරෙහිව ඉතා අගනා ටෙස්ට් ජයග්‍රහණයක් ලබනවා. මේ තරගයේ එක ඉනිමක කඩුලු හතරක් Wasim බිඳ හෙළද්දී, අනික් ඉනිමේ කඩුලු පහක් Waqar විසින් බිඳ හෙළනවා. ඒ තරගයට කලින් Waqarට විරුද්ධව එංගලන්ත මාධ්‍යවලින් පන්දුව පළුදු කිරීමක් පිළිබඳ නැගුණු අභූත චෝදනා ගැන වැඩියෙන්ම උරණ වුනෙත් Wasim Akram කියන Waqarගේ අතිජාත මිතුරාලු.

මේ හැමදෙයකින්ම පැහැදිලි වෙන දේ තමයි Wasim සහ Waqarට මුල් කාලයේ ඉතාම හොඳ මිත්‍රත්වයක් තිබුණු බව. නමුත් කාලය ගත වෙද්දී මේ දෙදෙනාම කණ්ඩායමේ අත්දැකීම් බහුල සීනියර් ක්‍රීඩකයින් බවට පත් වෙනවා. ගැටලුවට හරිම හේතුව මේකයි කියලා කියන බැරි, අනුමාන කිරීම් විතරක් කරන්න පුළුවන් මේ විරසකයේ ආරම්භය නම් හරියටම මෙන්න මේ දෙන්නම ප්‍රවීණ ක්‍රීඩකයින් බවට පත් වීම කියලා කියන්න පුළුවන්.

මේ දෙන්නාගේ විරසකයට හේතු අනුමාන කරද්දී, අපිට අනුමාන කරන්න පුළුවන් ප්‍රධානතම හේතුව තමයි,

1989 දී Waqar ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වෙද්දී Wasim කියන්නෙ කණ්ඩායමේ නියත තැනක් හිමි, අත්දැකීම් තිබුණු ක්‍රීඩකයෙක්. ඉතින් කාලයක් යනකම්ම Wasim විසින් Waqarගෙන් බලාපොරොත්තු වූ ගෞරවය සහ සෑමවිටම තමන්ට පිටුපසින් Waqar ඉන්නවාය කියන හැඟීම එක්ක ඔහු අභිමානයෙන් ඉන්න ඇති.

හැබැයි කාලය ගත වෙද්දී Waqarනුත් සීනියර් කෙනෙක් වෙද්දී, Wasimගේ වගේම ආකර්ශනීය කඩුලු දවා ගැනීමේ වාර්තාවලින් පොහොසත් වෙද්දී, සරලවම කියනවා නම් Waqar විසින් Wasimට සම මට්ටමකට එනවාය කියලා දැනෙද්දී මේ ගැටලුව ඔවුන්ගේ හිත්වල ලියලන්න පටන් ගන්න ඇති.

Waqar ගේ බිහිසුණු යෝකර් පන්දුව

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායකයෙක් වන Salim Malik හරි ලස්සන කතාවක් කියනවා Wasim සහ Waqar ගැන.

1993 දී පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය Salimට හිමි වෙනවා. හැබැයි ඔහුට නායකත්වය ලැබීම පිළිබඳ Wasim, Waqar දෙදෙනාම ඒ තරම්ම සතුටු වෙලා නැහැ.

“ඒ දෙන්නා මාත් එක්ක කතා නොකර හිටියා, මම නායකයා විදිහට පත් කරාට පස්සේ, මම එයාලා එක්ක කතා කරන්න උත්සාහ කළත් මට ප්‍රතිචාරයක් නොලැබුණු ගානයි.” 

Salim මේ දෙන්නා එක්ක ගනුදෙනු කරන්න තෝර ගන්නේ වෙනස්ම උපායක්,

“මම Wasimට ගිහිං මෙහෙම කිව්වා, ඔයා තමයි ලෝකේ අංක එකේ පන්දු යවන්නා, ඔයා විකට් ගන්නවා ද, නැද්ද කියන එක බලපාන්නේ මට නෙවෙයි, ඔයාගේ අභිමානයටමයි. Waqar නම් අනිවාර්යයෙන් විකට් පහක් ගනීවී. මම ඒ දේම අනිත් පැත්තට Waqarටත් කිව්වා. එහෙමයි මම ඒ දෙන්නාව කළමනාකරණය කර ගත්තේ. මාත් එක්ක එයාලා කතා නොකරත්, මගේ නායකත්වය යටතේ පළවෙනි තරගාවලිය දිනා ගන්න පුළුවන් වුනේ ඒ උපක්‍රමය නිසා.” 

Salimගේ මේ ප්‍රකාශය එක්ක තහවුරු වෙන දෙයක් තමයි තමන් කණ්ඩායමේ සීනියර් සහ තමන් තමයි වැඩියෙන්ම දක්ෂ කියන ඊගෝ එකෙන් Wasim සග Waqar දෙදෙනා ම වැහිලා ගිහින් හිටපු බව.

අද වෙනකම්ම ඔවුන් දෙදෙනා අතර තිබුණු විරසකය ගැන වඩාත්  විවෘතව අදහස් දක්වලා තියෙන්නේ Wasim Akram විසින්. ඔහු එක තැනක දී මාධ්‍යයට මේ විරසකය ගැන මේ විදිහට කියනවා.

“අපි අතරේ වෙනස්කම් තිබුණා, වයස අවුරුදු 23, 24 වයස්වල දී ඔහොම දේවල් වෙනවා. ඒත් අපි අතර හොඳ තරගකාරීත්වයක් තිබුණා. අපිට අවශ්‍ය වුනේ නැහැ අනිකා කඩුලු නැතුව දුර්වල විදිහට ක්‍රීඩා කරනවා බලන්න. අපි පුරුදු වෙලා හිටියේ එක්කෙනෙක් කඩුලු පහක් දවා ගත්තොත්, හරි මමත් කඩුලු පහක් දවා ගන්නවා කියන මට්ටමෙන් හිතන්න.” 

මෙතනිනුත් Wasim මතු කරන්න උත්සාහ කරන්නේ වඩාත් හොඳින් දක්ෂතා දක්වන්න වගේම, අනෙකාට වඩා හොඳ වෙන්න ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වෙලා තිබුණු බව.

ඒ නිසයි ලිපිය ආරම්භයේ දී ම මම කියුවේ මේ දෙන්නාගේ විරසකයෙන් වැඩියෙන්ම විඳෙවුවේ ප්‍රතිවාදී පිලේ පිතිකරුවන් බව.

1993, 94 කාලයේ හීනියට ලියලපු මේ විරසකයේ ලා දල්ල, 90 දශකයේ අග භාගය වෙද්දී මෝරලා අහවරයි.

පාකිස්තානයෙන් බිහි වූ තවත් විශිෂ්ට වේගපන්දු යවන්නෙකු වන Shoib Aktar පසු කාලෙක දී තමන්ගේ චරිතාපදානයේ දී Wasim සහ Waqar ගැන ඔහු තමන්ගේ මතකය අවදි කරන්නේ මේ විදිහට.

“අපි දිල්ලි වල ටෙස්ට් තරගය පරාජය වුනා, එතන දී Wasim සහ Waqar අතර බහින් බස් වීමක් සිදු වුනා. ඒ එක්කම එක් එක් ආරංචි පැතිරුණා Waqar තව දුරටත් සංචිතයේ නැති බවත්, ඔහු ආයෙත් පාකිස්තානෙට යනවා කියලත්. ඒත් කොහොම හරි Waqar ඇතුළු අපි හැමෝම ආසියානු ටෙස්ට් ශූරතාවලියේ පළමු තරගය වෙනුවෙන් කල්කටා ගියා. ක්‍රීඩාගාරය තුල තත්වය ඒ තරම්ම හොඳ මට්ටමක තිබුනේ නැහැ, කණ්ඩායමේ ප්‍රවීණතම ක්‍රීඩකයින් දෙදෙනෙක් අතර ගැටුම් ඇති වෙද්දී, අපි වගේ නවකයින් අහු වෙන්නේ ලොකු පීඩනයකට.”

Wasim, Waqar යුගලයට එකතු වූ අකුණු සැරය Shoib Aktar

කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයින් කා කොටා ගනිද්දී අලුතින් එන ක්‍රීඩකයින්ට අත්දැකීම් ලබමින් ඉන්න වෙන පරිසරය මොන තරම් කටුක වෙන්න ඇති ද කියලා හිතා ගන්නත් අමාරුයි.

2003 ක්‍රිකට් ලෝක කුසලානය Wasim සහ Waqar දෙදෙනාටම ඉතා විශේෂ එකක් වුනා, Wasim ඒ වෙද්දී එක්දින කඩුලු 500 ඉලක්කය හඹා යමින් සිටි අතරේ, 2003 ලෝක කුසලානයට යන පාකිස්තාන කණ්ඩායමේ නායකයා දැරුවේ Waqar විසින්.

කොහොම වෙතත් 2003 ක්‍රිකට් ලෝක කුසලානයට පාකිස්තානය එක කණ්ඩායමක් විදිහට ගියා කියලා කිවුවත් ඇත්තටම ඒ වෙද්දී එතන Wasim සහ Waqar නමින් කණ්ඩායම් දෙකක් තිබුණා කියලයි බහුතරයක්ම කියන්නේ.

2003 ක්‍රිකට් ලෝක කුසලානයේ දී Wasim සිය 500 වැනි කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව

කණ්ඩායම දෙකට බෙදිලා, එකට සෙල්ලම් කරද්දී ඇති වෙන ගැටලු ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඒ මදිවට මේ ප්‍රවීණයින් ඒ වෙද්දී එකිනෙකා එක්ක වැඩි කතා බහකුත් නෑ.

Wasim, Waqarට අමතරව කණ්ඩායමේ හිටපු ප්‍රවීණතම ක්‍රීඩකයා වුනේ Inzamam-Ul-Haq.  මේ දෙන්නාගේ විරසකයෙන් වැඩියෙන්ම පීඩා වින්දේ Inzamam කියලයි සඳහන් වෙන්නේ. Wasimට පන්දු යැවීමේ දී පිටියේ යම් වෙනස්කමක් කරන්න අවශ්‍යයි නම් ඔහු Inziට කතා කරලා කියනවා ලු ඒ ගැන Waqarට දන්වන්න කියලා. ඉතිං 2003 පාකිස්තාන කණ්ඩායමේ Inzamamට පිතිකරුවෙක් විදිහට අමතරව පණිවිඩ හුවමාරු කරන්නෙක් විදිහටත් කටයුතු කරන්න සිදු වෙලා තියෙනවා.

මේ අතරේ එක වතාවක් පන්දු යවමින් සිටි Shahid Afridiට අවශ්‍ය විදිහට Waqar පිටිය සැකසුවේ නැති බව, Afridi ගිහිල්ලා පැමිණිලි කරේ Wasimට ලු. කණ්ඩායම දෙකට බෙදිලා තිබුණු බවට ඊටත් එහා උදාහරණ අවශ්‍ය වෙන එකක් නැහැ නේ.

මේ විරසකය ඇති වෙන්න තවත් හේතු කිහිපයක්ම විදෙස් මාධ්‍යවේදීන් විසින් අනුමාන කරනවා, ඒ අතරින් මේ හේතු දෙක ගැන වැඩි අවදානයක් යොමු කරොත් හොඳයි කියලා මට හිතුණා.

පාකිස්තාන ක්‍රිකට් එක්ක ගහට පොත්ත වගේ බැඳිලා තියෙන තරග පාවා දීමේ චෝදනා ගැනත් අපිට සැක පහළ කරන්න පුළුවන්. තමන් කණ්ඩායමේ නායකයා හෝ ප්‍රවීණ ක්‍රීඩකයෙක් වන අතරේ තමනුත් නොදැනීම ඊළඟ මොහොතේ මොනවා හෝ අකටයුත්තක් සිදු වේවි ද කියන අවිනිශ්චිතතාවයෙන් යුතුව පසුවෙන්න ඔවුන්ට සිදු වුනා. ඒ වගේ ගැටලු නිසා හිත්වල එකිනෙකා ගැන සැක සිතුවිළි පහල වෙන්නත් ඉඩක් තිබුණා.

ඒ හැමදේටමත් වඩා විශේෂ සහ පිළිනොගෙන සිටිය නොහැකි හේතුවක් තියෙනවා. ඒ තමයි මේ හැමදේම වෙන්නේ “පාකිස්තාන ක්‍රිකට්” ඇතුලේ වීම.

“ක්‍රිකට් කණ්ඩායමකට, පාකිස්තානයට එරෙහිව සැලසුමක් හදන එක ටිකක් අමාරුයි, මොකද සමහර වෙලාවට පාකිස්තාන කණ්ඩායමටවත් තමන් ක්‍රීඩා කළ යුතු විදිහ ගැන හරි සැලසුමක් නැහැ.”

මෙහෙම කතාවක් කාලයකට කලින් පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම (බොහෝ විට ඒ Wasim Akram විය යුතුයි) කියලා තිබුණා.

ඉතින් එහෙම ක්‍රිකට් සෙල්ලං කරන රටක මෙහෙම දේවල් වෙන එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. ක්‍රිකට් ලෝකේ පෙරැයීම් කිරීමට අපහසුම ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය බව ඕනෑම අයකු පිළිගනු ඇති.

Waqar සහ Wasim දෙදෙනාට අන්වර්ථ නාමයකුත් තිබුණා Two ‘W’s කියලා. ඒ දෙන්නාගේ නොහොඳ නෝක්කාඩු ගැන අමුවෙන්ම එළිපිටම කතා කරපු Wasim Akram කියන්නේ මෙහෙම කතාවක්,

“අපි එකිනෙකාට ගොඩක් අකමැති වුණු කාලයක් තිබුණා, පිටියෙන් පිටත දී හෝ අඩුම තරමේ පිටිය තුල දීවත් අපි එකිනෙකා එක්ක කතා බහ කරේ නැහැ. “

ඒ තමයි ඔවුන්ගේ විරසකයේ උච්චතම අවස්ථාව.

Wasim තරම් මේ ගැටලු ගැන විවෘත අදහසක් Waqar දක්වලා නැහැ අද වෙනකම්ම,

ඒත් එක මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙක් Waqarගෙන් අහනවා Wasim සහ ඔහු අතර තිබුණු විරසකය ගැන පසු තැවීමක් තියෙනව ද කියලා.

“ඔව් මම පසුතැවෙනවා ඒ සිදුවීම් ගැන. වසීම් සහ මම හොඳම යහළුවෝ, ඇත්තටම ඔහු මගේ අයියා වගේ. මට පෞද්ගලිකව ගොඩක් උදව් කරලා තියෙනවා ඔහු. ඇත්ත අපි දෙන්නා අතරේ ප්‍රශ්න ඇතිවුනා, ඔහුට මාත් එක්ක විතරක් නෙවෙයි ගැටලු තිබුණේ.

හැබැයි අපි මේ ගැටුම් තරගය ඇතුළට ගෙන්න ගත්තේ නැහැ, අපිට අපි දෙන්නා අතරේ තරගයක් තිබුණා හැම තිස්සෙම. කවුද වැඩියෙන් කඩුලු දවා ගන්නේ කියන එකයි අපිට තරගයේ දී තිබුණු ගැටලුව. හැබැයි මම පිළිගන්නවා ඒ දේවල් නොවිය යුතු විදිහේ ඒවා. අපි ඒ කාලේ තරුණයි, ලොකු දැනුමක් නැහැ දේවල් ගැන.”

පසුගිය දා නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ විස්තර විචාරකයින් විදිහටත් මේ දෙදෙනාම සහභාගී වෙනවා. එදා ඒ නැගුණු ගිනි දැල් අද වෙද්දී නිවිලා ගිහින්, 2003 කාලය වෙද්දී උච්චතම අවස්ථාවේ තිබුණු විරසකයේ මතක විතරක් ඉතිරි වෙලා.

Wasim සහ Waqar 2011 ක්‍රිකට් ලෝක කුසලානය අතර තුර කොලඹ දී.

Wasim සහ Waqar එකට, පන්දු යවන්නන් දෙදෙනක් විදිහට තරග 61කට ක්‍රීඩා කරලා කඩුලු 559ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. මෙහි දී Wasim කඩුලු 282ක් සහ Waqar කඩුලු 277ක් ලෙස තමයි මේ කඩුලු 559ට දායක වෙන්නේ.

ඔවුන් යුගලයක් විදිහට වැඩිම කඩුලු දවා ගත්තු දෙන්නා නොවෙන බව ඇත්ත, ඒත් ඔවුන්ගේ එක තරගයක කඩුලු ලබා ගැනීමේ සාමාන්‍ය මෙතෙක් බිහිවී ඕනෑම පන්දු යැවීමේ යුගලයකට වඩා වැඩියි. ඒ වගේම මෙතෙක් ඉතිහාසයේ පාකිස්තාන ක්‍රිකට්වල සාර්ථකම දශකය ගෙවී ගිය 90 දශකය බව ඉතිහාසයේ වාර්තා සාක්ෂි දරනවා, එම ජයග්‍රහණයන්ගෙන් වැඩි ප්‍රමාණයකට මේ දෙදෙනාගේ දායකත්වය ලැබුණු බව නොරහසක්.

එකම කණ්ඩායමක් ඇතුලේ, එකා වගේ ක්‍රීඩා කරන පිරිසක් දෙකඩ වෙන තරම් දරුණු බෙදීමක් ක්‍රීඩකයින් දෙදෙනෙක් අතර ඇති වීම අනුමත කරන්න බැහැ, ඒත් මේ යුග්මය විසින් තමන්ගේ සම්බන්ධයේ නරකම දවස්වල දීත්, පාකිස්තාන ක්‍රිකට් වෙනුවෙන් තමන්ගේ උපරිමය දෙන්න කැප වීම පිළිබඳ අගය කළ යුතුයි. ඒ වගේම අතීතය වලදාලා, වර්තමානයේ ඔවුන් පරණ මිතු දම ආයෙත් අලුත් කරගෙන ජීවත් වීමත් අගය කළ යුතුයි.

මූලාශ්‍ර – Wisdon, Cricbuzz ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<