බේඩි, උඹේ පස්සේ තඩි බල්ලෙක්!

Unheard World Cup Stories | Part 01

4012
Critiquing Cricket

මේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී ආරම්භ කිරීමට සියල්ල සූදානම් වී තිබෙන මොහොතක්.  

මෙවර තරගාවලියේ ආරම්භයට පෙර හිතුවා පහුගිය තරගාවලිවල සිදු වෙච්ච වැඩිය අහලා නැති අපූරු සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. මේ ඒ ලිපි මාලාවේ පළමුවැන්නයි. මේ ලිපියෙන් කතා කරන්නේ පර්සි අබේසේකර එහෙමත් නැත්නම් අංකල් පර්සි ලෝක කුසලානයට සම්බන්ධ වූ සිදුවීම් කිහිපයක් එක්කයි. 

පර්සි, ඔබ අපිට ලබා දුන් උත්තේජනයට ස්තුතියි! 

1996 ශ්‍රී ලංකාව විල්ස් ලෝක කුසලානය දිනා ගන්නා අවස්ථාවේ දී කණ්ඩායම දිරිමත් කරමින් කණ්ඩායම සමඟම සිටි දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් පර්සි අබේසේකර එහෙමත් නැත්නම් අපි කවුරුත් ආදරේ කරන අංකල් පර්සි. අනෙක් කෙනා ලයනල්.  

ලයනල් තමයි ඒ වෙද්දී නායක අර්ජුන රණතුංගට සමීපයෙන්ම හිටියේ. හැබැයි අවසන් මහා තරගය වෙනුවෙන් අංකල් පර්සි ලාහෝර් නුවරට ගිහින් හිටියා. ඔහු තරුණයෙකුට නොදෙවැනි ආකාරයෙන් කෑගසමින් ශ්‍රී ලංකා ධජය වනමින් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල සහයෝගය දුන්නා. 

1996 අවුරුද්දේ මාර්තු 17 වැනිදා රාත්‍රියේ ඒ කියන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගත්ත දවසේ රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රීඩක විවේකාගරය කාර්‍යබහුල තැනක් වුනා. හැමෝම එකිනෙකාට සුබ පතනවා. ඒක ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන රාත්‍රියක්. 

1979 එංගලන්තයේ පැවති දෙවැනි ලෝක කුසලාන තරගාවලියේ පටන් සෑම ලෝක කුසලානයකටම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සිටි අංකල් පර්සිටත් ඒක කවදාවත් අමතක නොවන දවසක්. කවදාවත් අමතක නොවන රාත්‍රියක්. 

සෙනඟ අස්සෙන් රිංගා ගෙන ගොස් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සුබ පතන්නට ගිය අංකල් පර්සි, ඔහු දුටු දසුනෙන් යම් කනගාටුවකට පත්වුනා. 

“ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනා ගත් අවස්ථාවේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා ක්‍රීඩක විවේකාගාරයට මම හිස ඔබා බැලුවා. ඒ උත්කර්ෂවත් රාත්‍රියේ පෞද්ගලිකව ගොස් කණ්ඩායමේ ඇත්තන්ට සුබ පැතීම මගේ අරමුණ වුනා 

එවෙලේ මම දැක්කා දහඩියෙන් පෙඟී ගිය අර්ජුන රණතුංගගේ ලෝක කුසලාන අවසන් මහා තරග ජර්සිය ශ්‍රී ලංකා නායකයා විසින් ලයනල්ට තෑගි කරන ආකාරය. 

කුඩා දරුවෙකු නත්තලට ලද තෑග්ගක් මෙන් ජර්සිය බාර ගත් ලයනල් මොහොතක පමාවකින් එය ඇඟ ලා ගෙන වටපිට බලන්නට වුනා. එවලේ සෙනඟ අතරේ සිටි මාව ඔහු දැකගත්තේ. 

ඔහුට තරමක වරදකාරී හැඟීමක් දැනෙන්න ඇති. එකවරම ඔහු මා සමීපයට පැමිණියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සියල්ල ඉදිරියේ ඔහු මට දණ ගසා වැන්දා. 

කඳුළු පුරවා ගත් දෑසින් ඔහු මෙහෙම කිව්වා. “පර්සි, ඔබ අපිට ලබා දුන් උත්තේජනයට ස්තුතියි“.  

එය අපි හැමෝටම ඉතා හැඟීම්බර මොහොතක් වුනා 

‘දුවපන්’ මම ලයනල් උසවමින් කිව්වා. 

ලයනල් කඟවේනෙකු මෙන් වේගයෙන් ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය වටේම දිව ගියා.”

ලයනල්, අංකල් පර්සිට දණ ගසා වඳින දර්ශනය ඉක්මනින් කැමරා කාචයට අල්ලාගන්නට ප්‍රසන්න හෙන්නායක මහත්මයාට හැකියාව ලැබුණා. මේ ඔබ දකින්නේ ඒ ඡායාරූපයයි. 

බේඩි, උඹේ පස්සේ තඩි බල්ලෙක්! 

1979 වසරේ දෙවැනි වතාවටත් එක්දින ලෝක කුසලාන තරගාවලියක් එංගලන්තයේ දී ආරම්භ වුනා 

කාණ්ඩ දෙකක් යටතේ රටවල් අටක් සහභාගී වූ මේ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ කාණ්ඩයෙන් එවකට ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, නවසීලන්තය සහ ඉන්දියානු කණ්ඩායම් ක්‍රීඩා කළා. 

මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගය ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී ක්‍රියාත්මක වෙමින් තිබුණා.  

මෙම ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තව තවත් සවිමත් වුනේ පර්සි අබේසේකරගේ සහාය කණ්ඩායමට ලැබීම නිසායි. පර්සි සුපුරුදු පරිදි සිය කණ්ඩායම දිරිමත් කරමින් සිටිය දී තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඔහුට එකතු වුනා 

ඒ පෙරදින උදෑසන එංගලන්තයට පැමිණ තිබුණු “රත්න ලංකා” නම් නෞකාවේ සේවය කළ පිරිසක් මේ තරගය නැරඹීමට ක්‍රීඩාංගණයට පැමිණ සිටියා. 

මේ තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 60 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 238ක් ලබා ගත්තා.  

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සුනිල් වෙත්තමුණි ලකුණු 67ක් ලබා ගනිද්දී, දුලිප් මෙන්ඩිස් පන්දු 57කින් වේගවත් ලකුණු 64ක් ලබා ගත්තා.  

එදා දුලිප් ලකුණු 30 ගණන්වල පසුවෙද්දී එල්ල කළ අපරික්ෂාකාරී පහරක් හතරේ සීමාව අසල දී උඩපන්දුවක් ලෙසින් රැක ගැනීමට ඉන්දීය කණ්ඩායමේ බිෂන් බේඩි උත්සාහ කළා.  

එම අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වුන පර්සි “බේඩි ඔන්න උඹේ පිටිපස්සෙන් තඩි බල්ලෙක් ඉන්නවා” යැයි මහා හඬින් කෑගැසන්නට වුනා. 

එවිට අනිත් ශ්‍රී ලාංකිකයන් පිරිස ද පර්සි සමඟ එක්වෙමින්බේඩි  උඹ දැන් නාකි හින්ද ඕක අල්ලගන්න බැහැ” යනුවෙන් හඬ නගන්නට වුනා. 

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ එම බාධා කිරීම් හමුවේ අන්දමන්ද වී ගිය බේඩි අතින් උඩපන්දුව අතහැරි ගියා. ඉන් උපරිම වාසි ලබා ගත් දුලිප්ට ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුනා. 

පසුව ලකුණු 239ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දියානු කණ්ඩායමට සියලුම පිතිකරුවන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 191ක් පමණයි. සුනිල් ගවස්කාර්, ගුන්දප්පා විශ්වනාත්, දිලිප් වෙන්සාකර්, කපිල් දේව්, මොහින්දර් අමර්නාත් වැනි අනර්ඝ පිතිකරුවන් රැසක් නියෝජනය කළ ඉන්දියානු කණ්ඩායමට ජයග්‍රාහී ඉලක්කය කරා යෑමට ඉඩ හසර නොදෙමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අති දක්ෂ ලෙස පන්දු යැවීමේ යෙදුණා. 

මේ තරග ජය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ මංගල ජයග්‍රහණය ලෙසින් සටහන් වුනා. 

ටෙස්ට් වරම් නොලද රටක් ටෙස්ට් වරම් ලැබූ රටකට එරෙහි ව ලබා ගත් මුල් ම ජයග්‍රහණය ලෙසින් මේ ජයග්‍රහණය ඉතිහාස පොත්වල ලියවුනා. 

මේ තරගය අවසාන වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඇමෙරිකානු ඩොලර් 100ක මුදලක් එකතුකොට පර්සිට තිළිණයක් ලෙස ලබා දුන්නා. ඒ තරගාවලිය පුරාවට පර්සි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් දිරියට කෘතගුණ සැලකීමක් ලෙසයි.  

පර්සි එකහෙළාම ඒ ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කළා. මේ සියල්ල තමා කරන්නේ මුදල් ඉලක්ක කරගෙන නොවන බව ඔහු ශ්‍රී ලංකා නායක අනුර තෙන්නකෝන්ට පැවසුවා. නමුත් ශ්‍රී ලංකා නායකයා බල කරමින් කියා සිටියේ පර්සි අනිවාර්යයෙන්ම එය ලබා ගත යුතු බවක්. බලවත් පෙරත්තයකින් අනතුරුවයි ත්‍යාග මුදල ලබා ගැනීමට පර්සි තීරණය කළේ. 

තවත් කතා කිහිපයක් සමඟ හමුවෙමු. 

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<