සුද්දන් දණගැස්වූ ඕවල් වික්‍රමය!

1127
Muttiah Muralitharan in action for Sri Lanka during the Cornhill Test match against England at the Kennington Oval in London, 31st August 1998. Muralitharan took 16 wickets in the match and Sri Lanka won by ten wickets. (Photo by David Munden/Popperfoto via Getty Images/Getty Images)

විදේශයක දී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබා ගත් සුවිශේෂී ටෙස්ට් ජයග්‍රහණයක් ලෙස 1998 වසරේ ඕවල් ක්‍රීඩාංගණයේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබා ගත් ජයග්‍රහණය හඳුන්වන්න පුළුවන්.

සම්ප්‍රදායික තරග රටාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පිළිගැනීමක් ලබා දුන් ජයග්‍රහණයක් ලෙස මේ ටෙස්ට් තරගය හඳුන්වා දීමේ වරදක් නැහැ. මෙම ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයට ඊයේට (අගෝස්තු 31 වැනිදාට) වසර 25ක් සම්පූර්ණ වෙනවා. මේ ආකාරයෙන් දිග හැරෙන්නේ ඒ ඓතිහාසික ටෙස්ට් තරගය පිළිබඳව මතකයයි.

1998 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයට එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමඟ තුන්කොන් එක්දින තරගාවලියක් සහ එංගලන්තය සමඟින් එක් ටෙස්ට් තරගයක් ඇතුළත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ දී පුහුණු තරග රාශියකට ක්‍රීඩා කළා. එංගලන්තයේ තෙතබරිත ස්වභාවයට හුරුවෙන්නට ශ්‍රී ලංකා පිතිකරුවන්ට යම් කාලයක් ගියත් පුහුණු තරග බොහෝමයක් ජයග්‍රහණවලින් නිමා කරගන්නට සංචාරකයින්ට හැකියාවක් ලැබුණා.

පුහුණු එක්දින තරග සියල්ල ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනත්, එංගලන්ත තණතීරු ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ක්‍රීඩා කරන ශෛලියට නොගැලපෙනු ඇති බවට විචාරකයින් මත ඉදිරිපත් කළා.

මුත්තයියා මුරලිදරන්ගේ අනගි පන්දු යැවීමත්, මාවන් අතපත්තුගේ වගකීම් සහගත පිතිකරණයත් හේතුවෙන් එංගලන්ත කණ්ඩායම ලෝඩ්ස් පිටියේ දී කඩුලු පහකින් පරාජය කරමින් එමිරේට්ස් තුන්කොන් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණේ විචාරකයින් පළ කළ මත පුස්සක් බවට පත් කරමින්.

එක්දින තරග පිටියේ සාර්ථකත්වය ටෙස්ට් පිටියට රැගෙන එන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් තිබේ දැයි නැවත වතාවක් එංගලන්ත ජනමාධ්‍යවේදීන් සැක පහළ කළා.

ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග එමිරේට්ස් තුන්කොන් කුසලාන අතැතිව

ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පිලේ සියලුම ක්‍රීඩකයින් ලකුණු 54 කට දැවී ගියා. ඒ අවස්ථාවේ දී එංගලන්ත මාධ්‍ය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කණ්ඩායම එක් ටෙස්ට් තරගයකට වඩා ලබා දීම නැවත සලකා බැලිය යුතු බවක්.

ඕවල් ටෙස්ට් තරගය ජය ගතහොත් අනාගතයේ දී එංගලන්තය තුල වැඩි තරග ප්‍රමාණයක් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායම දැන සිටියා. කෙසේ වුවත් ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග මුහුණ දී සිටියේ විශාල ප්‍රශ්නයකට. ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය ශක්තිමත් කරන්නට සිටි චමින්ද වාස් සහ නුවන් සොයිසා ආබාධයන්ට ලක්වීම නිසා මේ සංචාරයට එක් වුනේ නැහැ.

වාස් සහ සොයිසා සහභාගී නොවූ නිසා ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස ප්‍රමෝදය වික්‍රමසිංහ කටයුතු කළා. ඔහුගේ සහයක වේගපන්දු යවන්නා වූයේ නවක ක්‍රීඩක සුරේෂ් පෙරේරා. ඔහු ටෙස්ට් වරම් දිනා ගත්තේ මේ තරගයේ දීයි.

මුත්තයියා මුරලිදරන් ප්‍රධානත්වය දැරූ දඟපන්දු බලඇණියට කුමාර ධර්මසේන, සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වාගේ සහය ලැබුණා.

සනත් ජයසූරිය, මාවන් අතපත්තු, අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග, මහේල ජයවර්ධන, හෂාන් තිලකරත්න, රොමේෂ් කඵවිතාරණ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව ශක්තිමත් කළා.

එංගලන්ත කණ්ඩායම මෙම තරගයට පෙර දකුණු අප්‍රිකානු තරගාවලිය ජය ගෙන සිටි නිසාත්, ටෙස්ට් තරගවල ශ්‍රී ලංකා කණ්ඩායම එතරමි තර්ජනාත්මක කණ්ඩායමක් ලෙස නොසිතූ නිසා මෙම තරගය සඳහා විශාල කැපවීමක් කළේ නැහැ. දකුණු අප්‍රිකානු තරගාවලියකින් අනතුරුව ශ්‍රී ලංකාව සමඟ එක් ටෙස්ට් තරගයක් පමණක් ක්‍රීඩා කිරීමේ අරමුණ සමහරෙක් ප්‍රශ්න කළා.

දකුණු අප්‍රිකානු තරගාවලියේ ක්‍රීඩා කල මයිකල් ඇතර්ටන්, නසාර් හුසේන් සහ ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් මෙම තරගයට සහභාගි වූවේ නැහැ. ඔවුන්ගේ ස්ථාන ස්ටීව් ජේම්ස්, ජෝන් ක්‍රෝලි සහ බෙන් හොලියෝක් යන ක්‍රීඩකයන්ට හිමි වුනා.

එංගලන්ත කණ්ඩායම අකමැති වූ තවත් කාරණයක් වුනේ දඟපන්දු යවන්නන්ට හිතකර ඕවල් වැනි තණතිල්ලක තරග වැදීමට සිදුවීමයි. කණ්ඩායම් රැස්වීම්වල දී ඔවුන් වැඩි අවධානයක් යොමු කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන නොව තණතිල්ලේ ස්වභාවය පිළිබඳව.

ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග කාසියේ වාසිය දිනා මුලින් පන්දු යැවීමට තීරණය කළ තීරණය ගැන එංගලන්ත ක්‍රීඩකයින් අතිශයින්ම පුදුම වුනා.

එංගලන්ත ඉනිම වරක කියවුණේ කඩුලු තුනක් දැවී ලකුණු 81ලෙස. විශාල සම්බන්ධතාවයක අවශ්‍යතාව එංගලන්ත කණ්ඩායමට දැනෙන්නට වුනා. හතරවැනි කඩුල්ල සඳහා ග්‍රැහැම් හික් සහ මාක් රාම්ප්‍රකාශ් ලකුණු 128ක් එකතු කළේ මේ අවස්ථාවේ දී.

වසර අවසානයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත අළුබඳුන තරගාවලිය වෙනුවෙන් එංගලන්ත සංචිතයේ එක් ස්ථානයක් වෙනුවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් සටන් කරමින් සිටියා.

ඒ ග්‍රැහැම් හික් සහ ජෝන් ක්‍රෝලි. මේ ක්‍රීඩකයින් දෙදෙනාම මේ තරගයේ දී ශතක ලබා ගැනීමට සමත් වුනා. ක්‍රෝලි ලකුණු ලබා ගැනීමට පෙර මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබා දුන්නත් එය නිපන්දුවක් බවට සංඥා වුනා.

තණතිල්ල කොතරම් පිතිකරුවන්ට යෝග්‍ය වුවත් ලකුණු වේගය පාලනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. මුරලිදරන් හමුවේ එංගලන්ත පිතිකරුවන් අනුගමනය කළ උපාය වූයේ අනවශ්‍ය ලෙස අවදානම් සහගත පහරවල් වලට යොමු නොවී ඔහුගෙන් කඩුලු ආරක්ෂා කර ගැනීමයි.

එංගලන්ත කණ්ඩායම සිය මුල් ඉනිමට ලකුණු 445 ලබා ගත්තේ හික් (107) සහ ක්‍රෝලි (156*) දෙදෙනාගේ අගනා ඉනිම් නිසාවෙන්. ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් ලකුණු 155කට කඩුලු හතක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්නට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන්ට ස්ථාවර වන්නට එංගලන්ත පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම විශාල මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ පදනම වුනේ සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 243ක අනර්ඝ සබඳතාවයයි. ජයසූරිය එංගලන්ත සංචාරය පුරාම ලකුණු අතර සිටියේ නැති වුවත්, අවශ්‍යම මොහොතේ ලකුණු අතරට පැමිණියා.

සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා ලකුණු 243ක දැවැන්ත සම්බන්ධතාවය අතරතුර

ඕවල් තණතිල්ල පිතිකරුවන්ට ඉතා වාසිදායක ලෙස හැසිරීම, උණුසුම් කාලගුණික තත්ත්වය, දකුණු අප්‍රිකානු තරගාවලිය තුල වැඩි පන්දුවාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීම නිසා එංගලන්ත වේගපන්දු යවන්නන් වෙහෙසට පත්ව තිබීම, ප්‍රධාන දඟපන්දු යවන්නා නිසි රිද්මයේ නොසිටීම වැනි හේතු නිසා එංගලන්ත කණ්ඩායම මේ වෙද්දී පත්ව සිටියේ දැඩි අසීරුතාවයකට.

ඉන් උපරිම ප්‍රයෝජන ගත් ජයසූරිය සහ අරවින්ද වේගයෙන් ලකුණු රැස් කිරීමට සමත් වුනා. ජයසූරිය පන්දු 278කින් ලකුණු 213ක් රැස් කළේ හතරේ පහර 33ක් සහ එක් හයේ පහරක් සමඟින්.

ජයසූරියගේ දැවී යෑමෙන් පසුව කඩුල්ලට එකතු වූ අරවින්ද සහ අර්ජුන හතරවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක් එකතු කළා.

අරවින්ද මේ ඉනිම අතරතුර ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකර ගියා. ටෙස්ට් ලකුණු 5000 සීමාව ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වන්නට අරවින්දට මේ සමඟ හැකියාව ලැබුණා.

හතරවැනි කඩුල්ල ලකුණු 450 දී බිද වැටීමෙන් පසු තවත් කඩුලු කිහිපයක් ඉක්මනින් දැවී යෑම ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රගතිය අඩාල කළත්, මුත්තයියා මුරලිදරන් සහ සුරේෂ් පෙරේරා අවසන් කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 59ක වේගවත් සබඳතාවය එංගලන්ත කණ්ඩායම මානසිකව තවත් පහළ මට්ටමකට ඇද දැමීමට සමත් වුනා. ඉනිම පුරා පන්දුවාරයකට ලකුණු හතරක පමණ දල වේගයක් පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමේ දී එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 146ක් ඉදිරියෙන් සිටීමට සමත් වුනා.

තරගයේ පරාජයෙන් බේරීම සඳහා එංගලන්තයට සැසි හතරක් පිතිකරණයේ යෙදීමට සිදු වුනා. මාක් බුචර් සහ ග්‍රැහැම් හික්ගේ දැවී යෑම් සමඟ එංගලන්ත පිතිකරුවන් තමන්ගේ කඩුලු ආරක්ෂා කර ගැනීම මූලික අරමුණ බවට පත් කර ගනිමින් පන්දුවට පහර දුන්නා.

අවසන් දිනය වන විට පන්දුව තියුණු ලෙස දඟ කැවීමට පටන් ගත්තා. උපුල් චන්දනගේ විශිෂ්ට පන්දු රැකීමක් හමුවේ පිටියේ ස්ථාවර බවක් පෙන්නුම් කළ එංගලන්ත නායක ඇලෙක් ස්ටුවර්ට් දුවද්දී දැවී යෑමකට හසු වුනේ ශ්‍රී ලංකා ජයග්‍රහණය තවත් ස්ථීර කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දෙන්නට පැමිණි නරඹන්නන්

ශ්‍රී ලංකා නායකයා තියුණු ලෙස දඟ කැවෙන තණතිල්ලක, ඉතා ආක්‍රමණශීලී ලෙස පිටිය සකස් කිරීම නිසා මුරලිගේ පන්දු යැවීම හමුවේ එංගලන්ත කඩුලු එකින් එක බිද වැටුණා. හුදකලා සටනක නිරත වෙමින් සිටි රාම්ප්‍රකාශ් හට අවශ්‍ය සහයෝගය ලබා දීමට ඉදිරිපත් වුනේ ඩැරන් ගෆ් පමණයි.

කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ඔවුන් පන්දුවට පහර දුන්නේ තරගය බේරා ගැනීමේ බලාපොරොත්තුවක් එංගලන්ත ප්‍රේක්ෂක සිත් තුල ඇති කරමින්. පන්දුවාර 42ක් ක්‍රීඩා කිරීමෙන් පසු එම සබඳතාවය බිඳ වැටුණේ ශ්‍රී ලංකා පිලට ලකුණු 36 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි කර දෙමින්.

පන්දුවාර පහක් තුල කිසිවකු නොදැවී තම ඉලක්කය කරා ළඟා වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. දෙවැනි ඉනිමේ දී බෙන් හොලියෝක්ගේ පන්දුවක් හමුවේ පොයින්ට් ප්‍රදේශයට ඉහළින් සනත් ජයසූරිය එල්ල කළ හයේ පහර අදටත් ප්‍රේක්ෂක මතකයේ තිබෙනවා.

තරගය පුරාවටම කඩුලු 16ක් දවා ගත් මුරලිදරන් තරගයේ වීරයා බවට පත් වුනා. එංගලන්ත පුහුණුකරු ඩේවිඩ් ලොයිඩ් මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන මතු කළ සැකසංකා පළ කරමින් ප්‍රකාශ නිකුත් කළ අතර ඔහුට ඒ වෙනුවෙන් ගෙවන්නට වූ වන්දිය අති විශාලයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වතාවක් එංගලන්තය සමග ක්‍රීඩා කරද්දීත් නැවත වතාවක් එංගලන්තයේ  සංචාරය කළ 2002 වසරේ දීත් ටෙස්ට් තරග තුනක් ලබා දෙන්නට එංගලන්ත බලධාරීන් තීරණය කර තිබුණේ මේ අනගි ටෙස්ට් ජයග්‍රහණය නිසායි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<