සිංහයන් රැකවල් දා සිටින ආසියානු කුසලාන ඉතිහාසය

Asia Cup 2023

778

14 වැනි ආසියානු කුසලාන තරගාවලිය සඳහා දින ගණන් කෙරෙද්දී එම තරග මාලාවන් හී ශ්‍රී ලාංකීය දක්ෂතා ගැන ද ඉහළින් ම වර්ණනා වෙනවා. ඒ අතර සනත් ජයසූරිය සහ මුත්තයියා මුරලිදරන් වෙත හිමි වෙන්නේ සුවිශේෂී බවක්. 

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 30 වැනිදා සිට පාකිස්තානයේ දී සහ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.  

තරගාවලියේ සමාරම්භක තරගය මේ මස 30 වැනිදා පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

ආසියානු කුසලාන තරගාවලියක් රටවල් 2ක ක්‍රීඩාංගණවල පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර නේපාල කණ්ඩායමක් ආසියානු කුසලාන තරගාවලියකට එක් වෙන පළමු අවස්ථාව ද මෙයයි 

මෙවර තරගාවලිය කාණ්ඩ 2ක් යටතේ පැවැත්වීමට යෝජිතයි 

A කාණ්ඩය  B කාණ්ඩය 
පාකිස්තානය  බංග්ලාදේශය 
ඉන්දියාව  නේපාලය 
නේපාලය  ශ්‍රී ලංකාව 

 

2023 ආසියානු කුසලාන තරග කාලසටහන 

දිනය  තරගය  ක්‍රීඩාංගණය 
අගෝස්තු 30  පාකිස්තානය සහ නේපාලය අතර   Multan, පාකිස්තානය 
අගෝස්තු 31  බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර   පල්ලෙකැලේ, ශ්‍රී ලංකාව 
සැප්තැම්බර් 02  පාකිස්තානය සහ ඉන්දියාව අතර   පල්ලෙකැලේ, ශ්‍රී ලංකාව 
සැප්තැම්බර් 03  බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර  Lahore, පල්ලෙකැලේ 
සැප්තැම්බර් 04  ඉන්දියාව සහ නේපාලය අතර   පල්ලෙකැලේ, ශ්‍රී ලංකාව 
සැප්තැම්බර් 05  ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර   Lahore, පාකිස්තානය 
සුපිරි 4 දෙනාගේ වටය 
සැප්තැම්බර් 06  A1 සහ B2  Lahore, පාකිස්තානය 
සැප්තැම්බර් 09  B1සහ  B2  ආර්. ප්‍රේමදාස, ශ්‍රී ලංකාව 
සැප්තැම්බර් 10  A1 සහ A2  ආර්. ප්‍රේමදාස, ශ්‍රී ලංකාව 
සැප්තැම්බර් 12  A2 සහ B1  ආර්. ප්‍රේමදාස, ශ්‍රී ලංකාව 
සැප්තැම්බර් 14  A1 සහ B1  ආර්. ප්‍රේමදාස, ශ්‍රී ලංකාව 
සැප්තැම්බර් 15  A2 සහ B2  ආර්. ප්‍රේමදාස, ශ්‍රී ලංකාව 
සැප්තැම්බර් 17  අවසන් මහා තරගය  ආර්. ප්‍රේමදාස, ශ්‍රී ලංකාව 

 

මේ දක්වා පැවති තරගාවලියන්වල දී ඉන්දියාව ජයග්‍රහණ 6ක් ද, ශ්‍රී ලංකාව ජයග්‍රහණ 5ක් ද සහ පාකිස්තානය ජයග්‍රහණ 2ක් ද බැගින් දිනා තිබෙනවා.  

මේ දක්වා පැවති ආසියානු කුසලාන එක්දින තරග මාලාවේ ගමන් මඟ 

  Year  Host  Result  Runner Up  No of Team 
1  1984  UAE  ඉන්දියාවට ජයග්‍රහණය.  ශ්‍රී ලංකාව  3 
2  1986  ශ්‍රී ලංකාව  ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්.  පාකිස්තානය  3 
3  1988  බංග්ලාදේශය  ඉන්දියාවට කඩුලු 6ක ජයක්.   ශ්‍රී ලංකාව  4 
4  1990  ඉන්දියාව   ඉන්දියාවට කඩුලු 7ක ජයක්.   ශ්‍රී ලංකාව   3 
5  1995  UAE  ඉන්දියාවට කඩුලු 8ක ජයක්.  ශ්‍රී ලංකාව   4 
6  1997   ශ්‍රී ලංකාව   ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.  ඉන්දියාව   4 
7  2000  බංග්ලාදේශය  පාකිස්තානයට ලකුණු 39ක ජයක්.   ශ්‍රී ලංකාව   4 
8  2004   ශ්‍රී ලංකාව   ශ්‍රී ලංකාවට ලකුණු 25ක ජයක්.   ඉන්දියාව   6 
9  2008   පාකිස්තානය  ශ්‍රී ලංකාවට ලකුණු 100ක ජයක්.   ඉන්දියාව   6 
10  2010  ශ්‍රී ලංකාව   ඉන්දියාවට ලකුණු 81ක ජයක්.   ශ්‍රී ලංකාව   4 
11  2012  බංග්ලාදේශය  පාකිස්තානය ලකුණු 2ක ජයක්.   බංග්ලාදේශය  4 
12  2014  බංග්ලාදේශය  ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්.   පාකිස්තානය  5 
13  2018  UAE  ඉන්දියාවට කඩුලු 3ක ජයක්.   බංග්ලාදේශය  6 

 

මෙම නිමා වූ තරගමාලා 13 අතරින් සෑම තරගාවලියක් ම නියෝජනය කර ඇත්තේ ශ්‍රී ලංකාව වීම විශේෂත්වයක්. මෙසේ නිමා වී ඇති ආසියානු කුසලාන තරග මාලාවන් හී වැඩිම ලකුණු ලාභියා මෙන් ම වැඩිම කඩුලු ලාභියා ද වන්නේ මෙරට නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙක් වන සනත් ජයසූරිය සහ මුත්තයියා මුරලිදරන්. 

ආසියානු කුසලාන තරග ඉතිහාසයේ පිතිකරණ දක්ෂතා  

සනත් ජයසූරිය මෙම තරගමාලාවේ වැඩිම ලකුණුලාභී පිතිකරුවා, මෙන් ම වැඩිම හතරේ පහර සහ හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ද ලෙසින් මේ දක්වා ඉහළින් ම වැජඹෙනවා.  

ඔහු විසින් 1990 සිට 2000 වසර දක්වා තරග 25කට ක්‍රීඩා කරමින් ඉනිම් 24ක දී ලකුණු 1220ක් ලබා ගනිමින් පිතිකරණ ලැයිස්තුවේ පළමු අසුන වෙන් කර ගන්නවා. එහි සාමාන්‍ය 53.04ක් ලෙසින් පවත්වා ගැනීමට ද ඔහු සමත් වෙනවා.  

මෙම ලකුණු අතරට 1997 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 108ක්, 2000 වසරේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 105ක්, 2004 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව නොදැවි ලකුණු 107ක්, එම වසරේ ම ඉන්දියාවට එරෙහිව ලකුණු 130ක්, 2008 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 130ක් සහ එම වසරේ දී ම ඉන්දියාවට එරෙහිව ලකුණු 125ක් ලෙසින් ශතක 6ක් එක් කර ගන්නා අතර එය ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක ලාභීන් අතර පෙරමුණට එක් වෙනවා.  

තරගාවලියේ වැඩිම හයේ සහ හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක් වීමට ද සනත් ජයසූරිය සමත් වෙනවා. ඔහු එල්ල කරන ලද හයේ පහර සංඛ්‍යාව 23ක් වන අතර හතරේ පහර 139ක්. 

එමෙන් ම එක් තරගාවලියක් තුළ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා ලෙසින් ද ජයසූරිය වාර්තා පොත් අතරට එක් වෙනවා. ඔහු 2008 වසරේ පාකිස්තානයේ පැවති තරගාවලියේ දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 378ක්. 

එහි දෙවැනි ස්ථානය 2012 වසරේ බංග්ලාදේශයේ දී පැවති තරගාවලියේ දී ලකුණු 357ක් ලබා ගත් ඉන්දියාවේ Virat Kohli ද සහ තෙවැනි ස්ථානය 2004 වසරේ දී මෙරට දී පැවති තරගාවලියේ දී ලකුණු 316ක් ලබා ගත් පාකිස්තානයේ Shoaib Malik ට ද හිමි වෙනවා 

ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකරුවෝ 

  ලකුණු  පිතිකරු  රට  තරග  ඉනිම්  වැඩිම  සාමාන්‍ය  100  50 
1  1220  සනත් ජයසූරිය   ශ්‍රී ලංකාව  25  24  130  53.04  6  3 
2  1075  කුමාර් සංගක්කාර  ශ්‍රී ලංකාව  26  23  121  48.86  4  8 
3  971  Sachin Tendulkar  ඉන්දියාව  23  21  114  51.10  2  7 

 

මේ අතර පිතිකරුවන් අතරින් ඉනිමක වැඩිම ලකුණුලාභියා ලෙසින් ප්‍රමුඛයා වී සිටින්නේ ඉන්දියාවේ Virat Kohli. ඔහු 2012 වසරේ බංග්ලාදේශයේ පැවති තරගාවලියේ දී පාකිස්තානයට එරෙහිව පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 183ක් ලබා ගනිමින් මෙම වාර්තාවට හිමිකම් කියනවා. 

වැඩිම අර්ධ ශතක ලැබූ පිතිකරු ලෙසින් ඉදිරියෙන් ම සිටින්නේ කුමාර් සංගක්කාර. ඔහු තම ඉනිම් 23 නිමා කරන්නේ ශතක 4ක් සහ අර්ධ ශතක 8ක් ලබා ගනිමින්. එක් තරගාවලියක් තුළ ශතක 3ක් වාර්තා කිරීමට සංගක්කාර එවන් දක්ෂතාවක් කළ එක ම ක්‍රීඩකයා ලෙසින් ද ආසියානු තරග වාර්තා අතරට එක් වෙනවා.  

ඔහු 2008 වසරේ දී පාකිස්තානයේ පැවති තරගාවලියේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 101ක්, පාකිස්තානයට එරෙහිව ලකුණු 112ක් සහ නැවත බංග්ලාදේශයට එරෙහිව ලකුණු 121ක් ලබා ගනිමින් මෙම වාර්තාවට පිවිසෙනවා.  

ආසියානු කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නන්ගේ දක්ෂතා 

ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වී සිටින්නේ මුත්තයියා මුරලිදරන්. ඔහු තරග 24කට සහභාගී වෙමින් කඩුලු 30ක් ලබා ගනිමින් මෙම ස්ථානය තහවුරු කරගෙන සිටිනවා.  

මෙම ලැයිස්තුවේ පළමු ස්ථාන තුන ම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සතු වෙන අතර 5 වැනි ස්ථානය ද හිමි වෙන්නේ අපේ ක්‍රීඩකයෙක්ට. ඒ තරග 19ක දී කඩුලු 23ක් ලබා සිටින චමින්ද වාස් වෙතයි.   

ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නෝ 

  කඩුලු  පන්දු යවන්නා  රට   තරග   ඕවර  ලකුණු  හොඳම  4  5 
1  30  මුත්තයියා මුරලිදරන්  ශ්‍රී ලංකාව  24  230.2  865  5/31  1  1 
2  29  ලසිත් මාලිංග  ශ්‍රී ලංකාව  14  128.1  596  5/34  1  3 
3  26  අජන්ත මෙන්ඩිස්  ශ්‍රී ලංකාව  8  68.0  271  6/13  2  2 

 

පන්දු යවන්නන් අතරින් ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට අජන්ත මෙන්ඩිස් සමත් වෙනවා. ඔහු 2008 වසරේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 13කට කඩුලු 6ක් දවා ගනිමින් එහි ස්ථාවර වෙනවා.  

ඊට අමතර ව එක් තරගාවලියක දී වැඩිම කඩුලු ලබා ගැනීමේ වාර්තාව ද සතු කර ගැනීමට අජන්ත මෙන්ඩිස් සමත් වෙනවා. ඔහු 2008 වසරේ දී පාකිස්තානයේ දී පැවති 9 වැනි ආසියානු කුසලානයේ දී කඩුලු 17ක් ලබා ගනිමින් මෙම වාර්තාවට හිමිකම් කියනවා.  

එහි දෙවැනි ස්ථානය 2004 වසරේ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියේ දී කඩුලු 14ක් ලබා ගත් ඉන්දියාවේ Irfan Pathan ද සහ තෙවැනි ස්ථානය 2014 වසරේ බංග්ලාදේශයේ දී පැවති තරගාවලියේ දී කඩුලු 11ක් බැගින් ලබා ගත් ලසිත් මාලිංග සහ පාකිස්තානයේ Saeed Ajmal ද සතු වෙනවා.  

එමෙන් ම කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා වාර්තා කළ පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත් වෙන්නේ ද අපේ ක්‍රීඩකයෙක්. ඒ ලසිත් මාලිංග. ඔහු එවන් අවස්ථා 3ක් වාර්තා කර තිබෙනවා. ඒ 2010 වසරේ දී පාකිස්තානයට එරෙහිව ලකුණු 34කට කඩුලු 5ක්, 2014 වසරේ දී පාකිස්තානයට එරෙහිව ලකුණු 52කට කඩුලු 5ක් සහ නැවතත් පාකිස්තානයට එරෙහිව එම වසරේ දී ම ලකුණු 56කට කඩුලු 5ක් ලෙසයි.  

ආසියානු කුසලාන ඉතිහාසයේ වෙනත් වාර්තාවන් 

තරගාවලියේ වැඩිම තරග ප්‍රමාණයකට සහභාගී වූ ක්‍රීඩකයා ලෙසින් තරග 28කට සහභාගී වූ මහේල ජයවර්ධන වාර්තා පොත් අතරට එක් වෙන අතර පන්දු රකින්නෙක් ලෙසින් වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැක ගත් ක්‍රීඩකයා ලෙසින් ද ඔහු ඉතිහාසයට එක් වෙනවා. ඔහු ලබා ඇති උඩ පන්දු ප්‍රමාණය 15ක්. 

මේ අතර වැඩිම තරග ප්‍රමාණයකට නායකත්වය දුන් ක්‍රීඩකයා ලෙසින් ඉන්දියාවේ MS Dhoni පත් ව සිටින අතර ඔහු නායකත්වය දී ඇති තරග ප්‍රමාණය 14ක්. එමෙන් ම ආසියානු කුසලාන තරග මාලාවේ කඩුලු දවා ගැනීමට වැඩියෙන් ම දායකත්වය දැක්වූ කඩුලු රකින්නන් අතර සම තැන් ගැනීමට ද MS Dhoni සමත් වෙනවා.  

MS Dhoni මෙන් ම කුමාර් සංගක්කාර ද කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනීම් 36කට දායකත්වය දක්වා තිබෙනවා.  

ආසියානු කුසලාන ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලැබූ කණ්ඩායම ලෙස පාකිස්තානය වාර්තා අතරට එක් වෙනවා. ඔවුන් 2010 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 7ක් දැවී ලකුණු 385ක් ලබා ගනිමින් එම ස්ථානය තහවුරු කර ගන්නවා.  

එමෙන් ම ඔවුන් 2000 වසරේ දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 87කට සීමා කරමින් කණ්ඩායමක් අඩුවෙන් ම දවා ගත් කණ්ඩායම ලෙසින් ද ඉතිහාසයට එක් වෙනවා.   

මෙතෙක් පැවති තරගාවලිවල දී තරගාවලියේ වීරයා සම්මාන අවස්ථා දෙකක දී දිනා ගැ‍ෙමට අර්ජුන රණතුංග (1986 සහ 1997) සහ ඉන්දියාවේ Navjot Sidhu (1988 සහ 1995) සමත් ව සිටිනවා.  

එමෙන් ම තරග මාලාව තුළ අවසන් මහා තරගවල තරගයේ වීරයා සම්මානය අවස්ථා 2ක් බැගින් දිනා ගැනීමට ක්‍රීඩකයන් දෙදෙනෙක් සමත් ව සිටිනවා. ඒ 1990 සහ 1995 වසරවල දී ඉන්දියාවේ Mohammad Azharuddin සහ 1997 සහ 2004 වසරවල මාවන් අතපත්තු විසින් දැකවූ දක්ෂතා අනුවයි.  

මෙතෙක් පැවති ආසියානු කුසලාන තරග මාලාවන් හී මෙන් ම තරග ඉතිහාසයේ ද වාර්තාවන් වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී ද එවන් වූ වාර්තා අතරට එක් වෙනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.  

ඒ වෙනුවෙන් ThePapare.com හී සුබ පැතුම්! 

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<