අකලට මියැදි ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව් සිහිනය! – පළමු කොටස

11910

1998 වසරේ නොවැම්බර් මාසයේ එක්තරා අඳුරු හැන්දෑවක කිරුලපන පොදු සුසාන භූමියට එක්ව සිටියේ මහා විශාල ජනකායක්. හැමෝගෙම මූණුවල තිබුණේ මහා හිස් බවක්, බලාපොරොත්තු කඩවූ බවක්.

මේ විශාල ජන ගඟ එක්රොක් වෙලා ඉන්නේ නිදහසින් පසු යුගයේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ චමත්කාරජනකම ක්‍රිකට් ක්‍රීඩකයා වෙත සිය අවසාන බුහුමන් දැක්වීමට.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවටම උපන් අයෙක්. ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස්ට අනුව ඔහු හා සම වෙන්නට හෝ ඔහු ඉක්මවා යන්නට පවා හැකියාව තිබූ ක්‍රීඩකයෙක්. හැබැයි දෛවය ඔහු වෙනුවෙන් ලියලා තිබුණේ වෙනත්ම කතාවක්.

ඔහුගේ විශිෂ්ට පිතිහරඹය සහ සටකපටි පන්දු යැවීම නැරඹීමට දුර බැහැර ප්‍රදේශවලින් ජනතාව බ්ලූම්ෆීල්ඩ් පිටිය වෙත බත්මුල් සහ වතුර බෝතල් අතැතිව ඇදී ආපු බව කියවෙනවා. ඔහු අපේ රටේ ජනතාවට අයිති පොදු වස්තුවක් කිව්වොත් ඒකේ කිසිම වැරැද්දක් නෑ.

මෙතන ඉඳලා දිග හැරෙන්නේ ඒ උද්වේගය, කුතුහලය, අභිරහස්බව කැටි කර ගත් ඔහුගේ අනුවේදනීය කතා වස්තුව.

අපේ කතානායකයාගේ නම අනුර රණසිංහ.

අනුර නන්දන රණසිංහ උපන්නේ 1956 ඔක්තෝබර් මාසේ 13 වැනිදා.

අනුරගේ තාත්තා ඖෂධවේදියෙක්. ඔහුගේ සායනය තිබුණේ කොළඹ 14 වේල්ස් කුමර මාවතේ.

අනුරට සහෝදර සහෝදරියෝ පස්දෙනෙක් හිටියා. සහෝදරයෝ තුනයි, සහෝදරියෝ දෙන්නයි. අනුර තමයි පවුලේ පස්වැන්නා.

අනුර කුඩා කාලයේ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන ළැදියි. සැහැල්ලු පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරපු අනුරගේ ක්‍රිකට් ගමනට සවිමත් පදනමක් වැටෙන්නේ කොළඹ නාලන්ද විදුහල හරහා.

නෙල්සන් මෙන්ඩිස් මහත්මයා, ජෙරී ගුණරත්න මහත්මයා වගේම කිරුලපන මහජන ක්‍රීඩාංගණයේ දී අනුර රණසිංහ කියන කුඩා දරුවාගේ සහජ දක්ෂතාව හොඳින්ම අවබෝධ කර ගත් ප්‍රේමසර ඈපාසිංහ මහත්මයාටත් අනුරගේ ගමන වෙනුවෙන් විශාල ගෞරවයක් හිමිවෙන්න ඕන.

අනුර රණසිංහ කියන්නේ ඉතාම කුඩා අවධියේ ඉඳලාම සටන්කාමියෙක්.

ඒ අනුර වයස අවුරුදු 12න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටින කාලය. පන්දුවක් හිසේ වැදීමෙන් ඔහුට මැහුම් කිහිපයක් දාන්න වුනා.

ඊට පස්සේ දවසේ තමයි සමස්ත ලංකා ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරගය තිබුණේ.

මේ අතරේ පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහත්මයා ගිහින් කුඩා අනුරගෙන් අහනවා හෙට මැච් එක ගහන්න පුළුවන් ද කියලා.

“ඇයි බැරි සර්?” ඒක තමයි අනුරගේ ප්‍රතිචාරය. නැහැ, බැහැ කියන වචන අනුරගේ ශබ්දකෝෂයේ තිබුණේ නැහැ.

නාලන්ද විදුහලේ වයස 12න් පපහළ ක්‍රිකට් කණ්ඩායම. ඡායාරූපයේ පිටුපස පේළියේ දකුණු කෙළවරේ සිටින්නේ අනුර රණසිංහ. මේ ඡායාරූපය 1966 වසරේ ගත් එකක්.

අනුර නාලන්දා විද්‍යාලයේ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම මුලින්ම නියෝජනය කළේ අවුරුදු 15ක් වගේ අඩු වයසකින්. ඔහුගේ පිත්තෙන් පළමු තරගයේ දී ම කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව ලකුණු 115ක් වාර්තා වෙනවා.

අනුර කියන විදියට පාසල් ක්‍රිකට් පිටියේ එයා ක්‍රීඩා කරපු හොඳම ඉනිම ක්‍රීඩා කරලා තිබුණේ කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව.

එවකට රාජකීය විද්‍යාලයේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළ එෆ්. සී. ද සේරම් තරගයට කළින් කියල තිබුණා, අනුරගේ ඔය සෙල්ලම් අපිත් එක්ක හරියන්නේ නෑ. මගේ කොල්ලෝ ටික එයාව ඉක්මනින් එලියට ඇදලා දාවි, කියලා.

මේ තරගයේ දී අනුර පන්දු අසූවකින් ලකුණු 120ක් ලබා ගන්න සමත් වුනා. තරගයෙන් පස්සේ අනුර ගාවට ආපු එෆ්. සී ද සේරම් උඹ සෑහෙන හොඳට ක්‍රීඩා කළා. උඹේ පාරවල් දැක්කාම මට මතක් වුනේ මහදේවන් සතාසිවම්ව කියලා.

අනුර කියන්නේ ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි කියන්න මේ සිදුවීම තවත් උදාහරණයක්.

1975 ලෝක කුසලානය වෙනුවෙන් පැවති තේරීම් තරගයක දී ඩෙනිස් චන්මුගම් එවපු කෙටි පන්දුවක් අනුරගේ මූණේ වදිනවා. මේ සිදුවීම වෙන්නේ ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාමයට දවස් හතරකට කළින්.

තුවාල ලබපු අනුර කෙළින්ම ඇතුළත් කෙරෙන්නේ කොළඹ ජාතික රෝහලේ හදිස්සි අනතුරු අංශයට. වෛද්‍ය නිර්දේශය වුනේ අනුර පාසල් මහා තරගයට ක්‍රීඩා නොකළ යුතු බව.

අනුර රෝහලේ ඉන්න අතරේ එවකට ක්‍රීඩා ඇමති කේ. බී. රත්නායක අනුරගේ සැපදුක බලන්න රෝහලට එනවා. ක්‍රීඩා ඇමතිවරයාගේ මතය වුනේත් අනුර අවදානමක් නොගත යුතු බව.

“මේක මගේ අන්තිම අවුරුද්ද. මම කොහොමහරි සෙල්ලම් කරන්න ඕන,” වෛද්‍යවරුන්ටවත් හිතුවක්කාර අනුර රණසිංහ නවත්වන්න ලැබෙන්නේ නැහැ.

මුහුණෙන් අඩක් ශල්‍ය ප්ලාස්ටර්වලින් වෙලාගෙන කොළඹ ජාතික රෝහලේ සිට ඕවල් පිටියට පැමිණි අනුර රණසිංහ නම් නාලන්ද නායකයා ආනන්ද පළමු ඉනිම සම්පූර්ණයෙන්ම සුනුවිසුනු කරමින් ලකුණු 39කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුනා. එය දශක ගණනාවකට පෙර පී. ඩබ්ලිව්. පෙරේරා විසින් ලකුණු 51කට කඩුලු 8ක් දවා ගනිමින් තබා තිබූ වාර්තාව ඉක්මවා යෑමක් වුනා.

නාලන්ද කණ්ඩායම පිතිකරණයට පිවිසි අවස්ථාවේ අනුර රණසිංහගේ පිත්තෙන් එල්ල වුනේ දැඩි ප්‍රහාරයක්. වැඩි වෙලා යන්නට පෙර ලකුණු 47ක් රැස් කරගන්නට අනුර සමත් වුනා. අර්ධ ශතකය වෙනුවෙන් අනුර එල්ල පහර අනර්ඝතම උඩපන්දුවක් ලෙසින් ආනන්ද කණ්ඩායමේ කුෂිල් ගුණසේකර රැක නොගන්නට අනුර නැවැත්වීමට හැකියාවක් ආනන්ද පන්දු යවන්නන්ට එදා නොතිබූ බව එදා තරගය නැරඹූවන් පවසනවා.

එදා නාලන්ද නායකයා නැවත ක්‍රීඩා මණ්ඩපයට පැමිණෙන අවස්ථාවේ දී ක්‍රීඩාංගණයේ සිටි සියලුම දෙනා ඔහු නොපෙනී යනතුරු නැගිට ආචාර සමාචාර කළ බව කියවෙනවා.

ඉන් නොනැවතුණු අනුර, ආනන්ද දෙවැනි ඉනිමේ කඩුලු 6ක් දවා ගනිමින් තරගය පුරාවට කඩුලු 14ක් දවා ගැනීමට සමත් වුනා.

මේ තරගය අතරතුර අනුරගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කිරීමට වෛද්‍යවරුන් දෙදෙනෙක්ගෙන් යුත් විශේෂ කණ්ඩායමක් ක්‍රීඩා මණ්ඩපයේ රැඳී සිටි බවත් කියවෙනවා.

පාසල් පිටියේ පෑ අසාමාන්‍ය දස්කම් නිසා 1974, 1975 වසර දෙකේම වසරේ පාසල් ක්‍රීඩකයා සම්මානය නිතරගයෙන්ම හිමිවන්නේ අනුරට.

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය එවකට ධීවර ඇමති ලෙස කටයුතු කළ ජෝර්ජ් රාජපක්ෂ මහතා අතින් ලබාගන්නා අනුර රණසිංහ

වේගවත් පිති ප්‍රහාරකයෙක්, ද්විත්ව කාර්‍ය පන්දු යවන්නෙක්. ඒ කියන්නේ වමතින් මද වේගපන්දු යවන්න වගේම පන්දුව පරණ වුනාම වමතින් පිට දඟපන්දු යවන්නත් අනුරට පුළුවන්කම තිබුණා. අනුර කියන්නේ අති දක්ෂ පන්දු රකින්නෙක්. ඊට අමතරව අනුර අති දක්ෂ නායකයෙක්.

1975 අවුරුද්දේ පාකිස්තානයේ පැවැත්වුණ අලි භූතෝ කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායමට දිනා දෙන්න අනුර සමත් වෙනවා. අන්තර්ජාතික මට්ටමෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ මුල්ම කුසලානය එයයි.

1975 එංගලන්තයේ පැවති පෘඩෙන්ෂල් ලෝක කුසලානයේ දී අනුර ජාත්‍යන්තර වරම් දිනා ගන්නවා. ඒ වෙද්දීත් අනුර පාසල් ශිෂ්‍යයෙක්.

1979 අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මේලනය විසින් වසරේ හොඳම පිතිකරුවා තෝරගන්න තරගාවලියක් සංවිධානය කරනවා. මේ තරගාවලියේදී ලංකාවේ නම් දැරූ පිතිකරුවන් සියල්ල පරාජයට පත් කරමින් අනුර හොඳම පිතිකරුවා සම්මානය දිනා ගන්නවා.

දෙදිනක් පුරා සිංහල සමාජ ක්‍රීඩා පිටියේ පැවති මේ තරගාවලියේ දී අනුරගේ පිතිකරණ කෞෂල්‍යය හමුවේ නම් දැරූ පිතිකරුවන් පසුබා ගිය අන්දම දැකගන්න පුළුවන් වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මේලනය මෙහෙය වූ හොඳම පිතිකරුවා තේරීමේ තරගයේ ජය සමරමින්

1981 වසරේ කිම් හියුස්ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එනවා. මේ සංචාරයේ එක් තරගයේ දී අනුර අගනා ලකුණු 61ක් ලබා ගන්නවා. ලකුණු 102කට කඩුලු 5ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම අසීරු අවස්ථාවක සිටිය දී තමයි අනුර මේ ඉනිම දියත් කරන්නේ. අනුරගේ තරග දිවිය පිරිස්සා බැලීමේ දී පෙනී යන්නේ තමන්ගේ කණ්ඩායම අසීරුතාවයකට පත්වූ සෑම අවස්ථාවේ දී ම ඔහු දස්කම් දක්වා ඇති බවයි.

අනුර කියන්නේ මිත්‍රයන් අතරේ බොහොම ජනප්‍රිය චරිතයක්. මෝටර් රථයක් තිබූ අතලොස්සක් ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ඔහු එක් අයෙක්. එය ඔහුට ලැබී තිබුණේ ලංකා දුම්කොළ සමාගමෙන්. ක්‍රිකට් ගසන මිත්‍රයින් වෙනුවෙන් ඒ මෝටර් රථය දිවා රෑ නොබලා මහන්සි වූ බව වරක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සුපිරිතම පිතිකරුවෙකු වූ රෝයි ඩයස් පුවත්පතකට පවසා තිබුණා.

“මගේ මගුල් ගෙදර දවසේ මාව පල්ලියට පදවාගෙන ගියෙත් අනුර ඒ කාර් එකේ.”

බ්ලූම්ෆීල්ඩ් තරග නරඹා නිවෙස් බලා යන්නට සිටි ප්‍රේක්ෂකයින් ද මේ මෝටර් රථයේ නංවා ගෙන ගොස් ඇරලවන්නට ඔහු කිසිම විටෙක පසුබට වූයේ නැහැ. ඔහු ඒ තරම්ම උසස් මානව හිතවාදියෙක්.

ඒ වගේම සමකාලීන ක්‍රීඩකයින්ට ඔහු ගැන තිබුණේ විශාල ගෞරවයක්.

“මම හිතන්නේ මම දැකලා තියන සහජ හැකියාවෙන් පරිපූර්ණම ක්‍රීඩකයා අනුර රණසිංහ වෙන්න ඕන.

වතාවක් ඔහු එවූ වේගවත් පන්දුවක් මගේ බඩේ වැදුණා. සති ගානක් යනකල් පන්දුවේ සීම් එකේ හැඩය බඩේ සටහන් වෙලා තිබුණා. ඒ දවස්වල මම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ඉඳලා කොළඹ ක්‍රිකට් සමාජයට මාරු වෙච්ච දවස්. බ්ලූම්ෆීල්ඩ් දාලා ගිය එකට ඔහුගේ ප්‍රතිචාරය තමයි ඒ.

මට ඔහු කෙරෙහි නිමා නොවන විශාල ගෞරවයක් තිබෙන්නේ,” මෙහෙම කිව්වේ කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ චරිත් සේනානායක.

1981 වසරේ ජූලි මාසයේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබෙනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නේ එංගලන්තයේ සංචාරයක නිරත වෙමින්. යෝක්ෂයර් කණ්ඩායම සමඟ තරගය අතරතුර ශබ්ද විකාශන යන්ත්‍රයක් ඔස්සේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වී ඇති බව කියවුනා. ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන වෙනුවෙන් දරදිය ඇදපු ක්‍රීඩකයින් හැඟුම්බර කරන්නට මේ නිවේදනයට හැකියාවක් ලැබුණා. අනුරත් ඉන් කෙනෙක්.

තරගය මොහොතකට නතර වූ අතරේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩා මණ්පයට පැමිණ ජාතික ගීය ගායනා කළා. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළවෙනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ සිහිනය අනුරගේ සිත තුළ නලියමින් නැගෙන්නට වුනා.

අනුර රණසිංහගේ ටෙස්ට් සිහිනය සැබැ නොවූ හැටි. ඒ ගැන ලිපියේ දෙවැනි කොටසේ දී.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<