තරගය දිනා දඩ කෑ ශ්‍රී ලාංකිකයෝ!

3068
Photo credit should read ROB ELLIOTT/AFP via Getty Images)

ආසියානුකරයේ ක්‍රිකට් ශක්තිය උරගා බැලීමට තවත් ආසියානු කුසලාන තරගාවලියක් මේ දිනවල ආරම්භ වී තිබෙනවා. ආසියානු කුසලාන උණුසුම එක්ක කතා කරන්න යන්නේ පහුගිය තරගාවලියක සිදු වූ අපූරු සිදුවීම් කිහිපයක් ගැනයි. 

මොයින් ඛාන් ඩකා නුවර යකා නටයි. 

ආසියානු කුසලානයේ මුල් තරගාවලි කිහිපයේ වැඩි වශයෙන් ආධිපත්‍යය පතුරන්න සමත් වුනේ ශ්‍රී ලංකා සහ ඉන්දියානු කණ්ඩායම්. කොයිතරම් ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් වුනත්, පාකිස්තානයට ආසියානු කුසලාන තරගාවලිවල විශේෂ දස්කම් දක්වන්න ලැබුණේ නැහැ. 

2000 වසරේ ආසියානු කුසලානය පැවැත්වුණේ බංග්ලාදේශයේ ඩකා නුවර. මේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් පාකිස්තානු කණ්ඩායම.  

අවසන් තරගය කරා එන ගමනේ දී පාකිස්තානු කණ්ඩායම ඉතාම දක්ෂ ලෙස ක්‍රීඩා කළේ තරගාවලිය පුරාවටම අපරාජිත ක්‍රීඩා කරමින්. 

අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානු නායක මොයින් ඛාන් මුලින්ම පන්දුවට පහර දීමේ වාරය තමන් සතු කරගත්තා 

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ආරම්භ පිතිකරු සයිඩ් අන්වර් ලකුණු 82ක් ලබාගත්තේ ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට තර්ජනයක් වෙමින්.  

තරගයේ 39 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී සයිඩ් අන්වර් පාකිස්තානු ඉනිමේ හතරවැනි කඩුල්ල ලෙස දැවී යද්දී පාකිස්තානු ලකුණු පුවරුවේ සටහන් වී තිබුණේ ලකුණු 173ක්.  

තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට එක් කරගැනීමේ වගකීම තමා ඉදිරියේ තබාගෙන පාකිස්තාන නායක මොයින් ඛාන් පිතිකරණයට පැමිණියේ මේ අවස්ථාවේ දී. ආබාධයකට ලක්ව සිටි ඉන්සමාම් උල්හක් සමග පාකිස්තානු ඉනිම උසවා තැබීමේ වගකීම මොයින් බාර ගත්තේ හරිම අපූරු ආකාරයකින්. 

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පිටිය සිසාරා පහර දුන් මොයින් පන්දු 31කින් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තා. මොයින් එල්ල කළ සමහර පහරවල් අද විස්සයි විස්ස පිටියේ දකින්නට ලැබෙන අසාමාන්‍ය පහරවල් සමාන ස්වරූපයක් ගත්තා. 

මොයින් ඛාන්, මුත්තයියා මුරලිදරන්ට හයේ පහර එල්ල කළ ආකාරය

මොයින්ගේ ඉනිමට හතරේ පහරවල් හතරක් ඇතුළත් වූ අතර මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවකට එල්ල කළ හයේ පහර කලකට දකින්නට නොලැබෙන අන්දමේ එකක්. මොයින් ඉදිරියට පැන එල්ල කළ පහර පන්දු  යවන්නාගේ හිසට ඉහළින්, පොළොවට සමාන්තරව හයේ සීමාව පසු කළේ විදිල්ලක වේගයෙන්. 

අවසන් පන්දුවාර 10 තුළ පාකිස්තානුවන් ලකුණු 104ක් සිය ලකුණු පුවරුවට එක් කර තිබුණා. සනත් ජයසූරිය යැවූ පාකිස්තානු ඉනිමේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවටත් මිඩ්ඕන් කලාපය හරහා දැවැන්ත හයේ පහරක් එල්ල කරන්නට මොයින් සමත් වුනා. 

මොයින් ඛාන්ගේ වේගවත් ඉනිම නිසා පළමු වතාවට ආසියානු කුසලානයක පහස ලබන්නට එදා පාකිස්තාන කණ්ඩායමට හැකියාව ලැබුණා. එදා අවසන් මහා තරගයේ වීරයා බවට සම්මානය දිනා ගත්තේත් පාකිස්තානු නායක මොයින් ඛාන්. 

ශ්‍රී ලාංකික විනිසුරුවරයෙකුටත් වැඩ වරදී 

1984 පළමු වරට ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වූ අතර මේ තරගාවලිය වෙනුවෙන් සත්කාරකත්වය දැරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.  

ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සහභාගී වූ මෙම තරගාවලියේ කාගේත් අවධානය යොමු වූ තරගය වූයේ පාකිස්තානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගයයි. 

සාජා ක්‍රීඩාංගණයේ ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක සුනිල් ගවස්කාර් මුලින්ම පන්දුවට පහර දීමේ වාරය තමන් සතු කරගත්තා. 

එවකට ලෝකයේ සිටි දක්ෂතම පා දඟපන්දු යවන්නෙකු වූ අබ්දුල් කදීර් මේ තරගයේ දී පාකිස්තානු කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු එදා තමන්ගේ පන්දුවාර 10 නිමා කළේ ප්‍රතිවාදීන්ට ලකුණු 36ක් පමණක් ලබා දෙමින්. 

නමුත් එදා තරගය විනිශ්චය කළ එංගලන්තයේ ඩිකී බර්ඩ් ශ්‍රී ලංකාවේ හර්බි ෆෙල්සිංගර් යන විනිසුරුවරුන් දෙදෙනා කදීර් යැවූ පන්දුවාර සංඛ්‍යාව නිසි පරිදි ගණනය කර තිබුණේ නැහැ. 

කිසිවක් නොවූ පරිද්දෙන් කදීර් ඔහුගේ 11 වැනි පන්දුවාරය ආරම්භ කර පන්දු දෙකක් යැවූ අතර ඉන්දීය කණ්ඩායමේ සන්දීප් පටිල් මේ පන්දු දෙක තුළ ලකුණක් ලබා ගන්නට සමත් වුනා. 

මේ අවස්ථාවේ දී ලකුණු සටහන් කරන්නන් වියරුවෙන් මෙන් බර්ඩ්ට සහ ෆෙල්සින්ගර්ට සංඥා කරමින් තත්ත්වය දැනුම් දුන්නේ ඔවුන්ට කදී‍ර්ගේ පන්දුවාර සංඛ්‍යාව වැරදී ගිය බව දන්වමින්. 

පිටියේ දීර්ඝ සම්මන්ත්‍රණයකින් පසුව, බර්ඩ් සහ ෆෙල්සින්ගර් කදීර් වැඩිපුර යැවූ දෙක අවලංගු කිරීමට තීරණය කළා. ඉන්දියාවේ මුළු ලකුණු සංඛ්‍යාවෙන් එක් ලකුණක් අඩු කිරීමට ද විනිසුරුවරුන් ඒ අවස්ථාවේ දී තීරණය කළා. 

මේ තරගයෙන් පහසු ජයක් අත් කරගත්තේ ඉන්දියානු කණ්ඩායමයි. ඒ වගේම මුල්ම වරට පැවති ආසියානු කුසලානයේ ශූරයින් බවට පත් වෙන්නත් ඉන්දියානු කණ්ඩායමට හැකියාව ලැබුණා. 

තරගය ජයග්‍රහණය කළත් ශ්‍රී ලාංකිකයෝ දඩ කති! 

2004 වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී. මේ තරගාවලියට අනුග්‍රාහකත්වය දැක්වූයේ ඉන්දියන් ඔයිල් සමාගම විසින්. 

මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 229ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 39.1ක් අවසන් වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 140ක් ලබාගෙන සිටියා. 

ඒ වන විට නොදැවී ලකුණු 74ක් ලබාගෙන පන්දුවට පහර දෙමින් සිටි සචින් තෙන්දුල්කාර් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එල්ල කළේ විශාල පීඩනයක්. 

එම තීරණාත්මක අවස්ථාවේ තිලකරත්න ඩිල්ෂාන් යොමු කළ පන්දුවක් හමුවේ තෙන්දුල්කාර් සම්පූර්ණයෙන්ම පරාජය වුනා. 

එදා පන්දුව කඩුල්ලේ වැදී තෙන්දුල්කාර් පිටියෙන් ඉවත් වන අවස්ථාවේ දී දැඩි ලෙස ප්‍රීතියට පත් වුන දිල්ෂාන් අමුතු තාලයේ සැමරීමක් කරන ආකාරය දැකගන්න පුළුවන් වුනා. 

සචින් තෙන්දුල්කාර්ගේ දැවී යෑම සමරන තිලකරත්න ඩිල්ෂාන්

තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 25කින් ජයගෙන ආසියානු කුසලානය තමන් සතු කරගත්තත්, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර සහ උපුල් චන්දන යන ක්‍රීඩකයින්ට නොමනා වචන භාවිත කිරීම සම්බන්ධයෙන් දඩ නියම කරන්නට තරග තීරක මයික් ප්‍රොක්ටර් කටයුතු කළා. 

ක්‍රීඩකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවරුන් විසින් තරග තීරකවරයාට වාර්තා කිරීමෙන් අනතුරුවයි මේ දඬුවම් නියම කෙරුණේ. 

සංගක්කාර ඉන්දීය පිතිකරු මොහොමඩ් කයිෆ් සමඟ වචන හුවමාරු කර ගැනීමත්, පසුව හර්බජන් සිං සමඟ උණුසුම් ගැටුමක පැටලීමත් සමඟ ෂෙපර්ඩ්ට පියවර ගැනීමට සිදු වුනා. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහය යටතේ 2.9 මට්ටමේ වරදකට සංගක්කාර වැරදිකරු බව ප්‍රොක්ටර් තීරණය කළ අතර ඔහුට ඔහුගේ සම්පූර්ණ තරග ගාස්තුවම දඩ ලෙස නියම කළා. 

එදා චර්යාධර්ම සංග්‍රහයේ 1.4 මට්ටමේ වරදකට වැරදිකරුවන් වූ ඩිල්ෂාන් සහ චන්දන දෙදෙනාට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 50 ක දඩයක් නියම කරන්නටත් තරග තීරකවරයා පියවර ගත්තා. 

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<