ලංකාවේ පිහිනුම්වලින් ඔලිම්පික් යන්නේ කවුද?

199
Matthews, Kimiko, MIchiko

මෙම වසරේ අගෝස්තු මස 5 වැනිදා සිට 21 වැනිදා දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් පිහිනුම් ඉසව්වෙන් සුදුසුකම් ලැබීමට නම්, ජූලි 02 වැනිදා ආරම්භ වන හොංකොං විවෘත පිහිනුම් තරගාවලිය දෙස බලා සිටීමට මැතිව් අබේසිංහටත්, කිමිකෝ හා මචිකෝ රහීම්ට මෙන්ම චෙරන්ත ද සිල්වාටත් සිදුව තිබේ.

ජූලි 2 වැනිදා හා 3 වැනිදා පැවැත්වෙන එම තරගාවලිය මොවුන් සිවු දෙනාට ඔලිම්පික් සුදුසුකම් ලැබීම සඳහා හිමිව ඇති අවසන් අවස්ථාව බවට පත්ව ඇති අතර, එහිදී දක්වන දක්‍ෂතා අනුව මෙරට පිහිනුම් ක්‍රීඩාවෙන් ඔලිම්පික් නියෝජනය කරන්නේ කවුද යන්න ජාත්‍යන්තර ජල ක්‍රීඩා සම්මේලනය තීරණය කරනු ඇත.

ඒ අනුව ජාත්‍යන්තර ජල ක්‍රීඩා සම්මේලනය මගින් ජූලි 06 වැනිදා හෝ ඊට පසුදින ඔවුන්ගේ තීරණය ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට එවීමට නියමිතය.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග සඳහා “ඒ” ශ්‍රේණියේ පරිසාධන මට්ටම ඉක්මවන අයට පළමු තැනත්, ඉන් අනතුරුව තුන්වැනි ලෝකයේ රටවලට සහනදායී පදනම මත පිරිනැමෙන අවස්ථා (වයිල්ඩ් කාඩ්) ලබා දීමෙන් අනතුරුව “බී” ශ්‍රේණියේ පරිසාධන මට්ටම ඉක්මවන ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට අවස්ථාව හිමිවන අතර, මෙවර ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 900ක් ඔලිම්පික් තරගාවලියේ පිහිනුම් තරග සඳහා තෝරාගැනීමට නියමිතය.

එහිදී මැතිව් අබේසිංහ මීටර් 100 නිදහස් ආර ඉසව්වේදී වාර්තා කළ හොඳම කාලය තත්.50.86ක් වන අතර, එහි ඔලිම්පික් “බී” ශ්‍රේණියේ පරිසාධන මට්ටම 50.70කි. මීටර් 200 නිදහස් ආර ඉසව්වේදී ඔහු වි.1.52.88කදී වාර්තා කළ කාලය හොඳම කාලය බවට පත්ව ඇති අතර, එහි ඔලිම්පික් “බී” ශ්‍රේණියේ පරිසාධන මට්ටම වී ඇත්තේ වි.1.51.75කි.

කිමිකෝ රහීම් මීටර් 50 නිදහස් ආර ඉසව්ව පසුගිය දකුණු ආසියානු උළෙලේදී තත්.26.49කදී අවසන් කර ඇති අතර, එහි ඔලිම්පික් “බී” ශ්‍රේණියේ පරිසාධන මට්ටම බවට පත්ව ඇත්තේ තත්.26.17කි. මීටර් 100 නිදහස් ආර ඉසව්ව ඇය තත්.57.20කදී අවසන් කර ඇති නමුත් තත්. 56.34 එහි ඔලිම්පික් “බී” ශ්‍රේණියේ පරිසාදන මට්ටම බවට පත්ව තිබේ.

එයට අමතරව පසුගිය දකුණු ආසියානු උළෙලේදී මීටර් 100 පසුපස ආර ඉසව්ව වි.1.03.78කදී තැබූ කාලය ඇය මෙම වසරේ වාර්තා කළ හොඳම කාලය බවට ඇති අතර, එහි ඔලිම්පික් “බී” ශ්‍රේණියේ පරිසාධන මට්ටම බවට පත්ව ඇත්තේ වි.1.02.36කි.

පසුගියදා මලයාසියාවේ පැවැති තරගාවලියේදී ඔලිම්පික් පරිසාධන මට්ටමට ආසන්න වී ඇති චෙරන්ත එහිදී මීටර් 100 සමනල ආර ඉසව්වද තත්.54.99 කින් අවසන් කර තිබූ අතර, මෙහි “බී” ශ්‍රේණියේ පරිසාධන මට්ටම වී ඇත්තේ තත්. 54.19 කි.

මේ අතර ශ්‍රී ලංකාවේ අනෙක් බලාපොරොත්තුව වන මචිකෝ රහීම් පසුගිය දකුණු ආසියානු තරගාවලියේදී මීටර් 200 නිදහස් ආර ඉසව්වේදී වි.2.09.02ක කාලයක් වාර්තා කළද මෙහි ඔලිම්පික් “බී” ශ්‍රේණියේ පරිසාදන මට්ටම වනුයේ 2.03.13කි. එහෙත් ඇය 2014 වසරේදී දෝහ කටාර්හි පැවැති ලෝක පිහිනුම් තරගාවලියේදී වාර්තා කළ වි.2.02.88ක කාලය මෙම ඉසව්වේ ඇය වාර්තා කළ හොඳම කාලය බවට පත්ව ඇත. තවද ඇය 2014 වසරේ පැවැති එම තරගාවලියේදීම මීටර් 50 නිදහස් ආර ඉසව්ව තත්.26.13කදී නිමා කර ඇති අතර, එම කාලයද මෙවර ඔලිම්පික් පරිසාධන මට්ටම (26.17) ඉක්මවා තිබීමද විශේෂත්වයකි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට