අර්ජුනට වගක් නොවූ ශතකය!

5691
අර්ජුනට වගක් නොවූ ශතකය

ආසියානුකරයේ ක්‍රිකට් ශක්තිය උරගා බැලීමට තවත් ආසියානු කුසලාන තරගාවලියක් හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ආසියානු කුසලාන උණුසුම එක්ක අපි කතා කරන්න යන්නේ පහුගිය තරගාවලියක සිදු වූ අපූරු සිදුවීමක් ගැනයි.

1997 අවුරුද්දේ ශ්‍රී ලංකා පැවැත්වුණ ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මූලික වටයේ තරගයක් පැවැත්වෙනවා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී. මේ තරගාවලියට අනුග්‍රාහකත්වය දැක්වූයේ පෙප්සි සමාගම.

ප්‍රේක්ෂකයින්ගෙන් අතුරු සිදුරු නැතුව ක්‍රීඩාංගණය පිරිලා ඉතිරිලා ගිහින්. ඒ අස්සේ පපරේ බෑන්ඩ් මහ සද්දෙන් වැඩ. ශ්‍රී ලංකාව ඇතුළේ පළවෙනි වතාවට වෙන්න ඕන චියර්ලීඩර්ස්ලා සෙට් එකකුත් බැහැලා. ඔය ගෑණු දැරිවියෝ සෙට් එකට නොසෑහෙන්න විවේචනත් ආවා වගේ මතකයි ඒ දවස්වල.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගගේ ආරාධනාවෙන් තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියානුවන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු හයකට ලකුණු 227ක් රැස් කළා.

ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ ඉන්දියානු පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස් කරන්න අවස්ථාවක් ලැබුණේ නම් නැහැ.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක නිරත වෙච්ච හිටපු නායක මොහොමඩ් අසාරුඩීන් නොදැවී ලකුණු 81ක් රැස් කළ අතර රාහුල් ඩ්‍රාවිඩ් ලකුණු 69ක් රැස් කරගත්තා.

පන්දු යැවීමේ දී ඉන්දියානු පිතිකරුවන්ට වඩාත්ම තර්ජනයක් එල්ල කළේ ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත් චමින්ද වාස්. වාස්ගේ පන්දුවක් හමුවේ ඉන්දීය නායක සචින් තෙන්දුල්කාර් දැවී ගියේ ඔහු සාමාන්‍යයෙන් එල්ල නොකරන අන්දමේ පහරකට ගොසින්. ඒ තෙන්දුල්කාර් වෙත වාස් ඇතුළු අපේ පන්දු යවන්නන්ගෙන් එල්ල වෙච්ච අසීමිත පීඩනය නිසා.

ඉන්දියානුවන් ලබා දීපු ඉලක්කය ඒ කාලේ අපේ පිතිකරුවෝ ක්‍රීඩා කරපු විදියට අසීරු එකකුත් නෙවෙයි.

දැන් අපි කියන්න යන වැඩේ වෙන්නේ ශ්‍රී ලංකාව බැට් කරන්න ආවාම. වෙන්කතේශ් ප්‍රසාද් එවපු මුල්ම බෝලේට සනත් ජයසූරිය ගහන්නේ එයාගේ සුපුරුදු ෆ්ලික් එක, බිම දිගෙත් නෙවෙයි උඩින්ම. ඒ කාලේ සනා බෝයි ඉන්දියාව එක්ක ගනුදෙනු කරපු විදියට එයාට Sighters එහෙම ඕන නෑ. පළවෙනි බෝලේ සෙට් වුනා ද ගැහුවා එළියටම.

එදා TV එකේ මැච් බලපු අපි හිතුවා හරි හයකින්ම වැඩ ඇල්ලුවා කියලා. මොන මෙන්න බවුන්ඩ්‍රි ලයින් එක ගාව ඉන්නවා රාහුල් ඩ්‍රාවිඩ්. මං ජීවිතේට දැකලා නෑ රාහුල් කැච් එකක් අරන් එහෙම සෙලිබ්‍රේට් කරනවා. ඩ්‍රාවිඩ් ඇතුළු අනෙක් ඉන්දියානුවෝ සනත්ගේ විකට් එක සැමරුවේ මැච් එකෙන් සීයයට පනහක් දිනුවා වගේ.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව නමයක් වෙද්දී අරවින්ද ද සිල්වාත් වෙන්කතේශ් ප්‍රසාද්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක සබා කරීම් අතට උඩපන්දුවක් දීලා අවුට් වෙනවා.

මැච් එකේ තුන්වැනි ඕවරේ වෙද්දී එදා ශ්‍රී ලංකා ටීම් එකේ ඉන්න හොඳම මැච් විනර්ස්ලා දෙන්නෙක් පැවිලියන් එකේ.

එහෙමයි කියලා මැච් එක අතාරින්න පුළුවන් ද?

ඔව්. ඉතින් ඒ කාලේ එහෙම ලේසියෙන් අතාරින්නේ නෑ.

එතන ඉඳන් නායක අර්ජුන රණතුංග වැඩේ පටන් ගන්නවා. මාවන් අතපත්තු අනෙක් පැත්තේ ඉඳන් අර්ජුනට මනා සහායක් දෙනවා.

අර්ජුන සහ මාවන් එකතු වෙලා ලංකාවේ ලකුණු පුවරුව ලකුණු 117ක් වෙනකල් උස්සලා තියෙනවා. මාවන් ලකුණු 31ක් ගහලා ඉන්න වෙලාවේ රොබින් සිංගේ පන්දුවක් හමුවේ දැවී යද්දී තරගය දෙපිළටම විවෘත වෙලා තිබුණා.

රොෂාන් මහානාමත් වැඩි වෙලා යන්න කලින් රොබින් සිංගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් අසීරුතාවයකට පත් කරමින්. හැබැයි ශ්‍රී ලංකා නායකයා එහෙම ලේසියෙන් සටන අතාරින්න සූදානම් වුනේ නැහැ.

Arjuna Ranatunga
ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගන්වන යුවතියන්

ඊළඟට බැට් කරන්න ආපු ලංකා ද සිල්වාවත් අල්ලන් හෙමීට ශ්‍රී ලංකා ලකුණු පුවරුව උඩට දාන්න අර්ජුන සමත් වුනා.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 174ක් වෙද්දී අර්ජුනගේ නමට ලකුණු 100යි. මේ ඉනිමට මනස්කාන්ත හතරේ පාරවල් 13ක් ඇතුළත් වෙලා තිබුණා.

ඒක නෙවෙයි හොඳම වැඩේ!

දැන් TV එකේ පෙන්නනවා අර්ජුන 99යි කියල. ශතකයට එක් ලකුණයි ඕන.

ළඟට පොඩ්ඩක් තට්ටුවක් දාපු ගමන් අර්ජුන වෙනුවෙන් සහායට දුවන්න ආපු සනත් ජයසූරිය විදුලි වේගයෙන් අනිත් පැත්තට දුවනවා.

අර්ජුනට සීයයි. අර්ජුනට සීයයි.

කොමෙන්ට්‍රි එකේ ඉඳන් රංජිත් ප්‍රනාන්දු මහත්මයා මහා නාදෙන් බෙරිහන් දෙනවා.

කොහෙද කවුරුත් තඹ සතේකට ගණන් ගන්නේ නෑ. ශ්‍රී ලංකා ටීමේ එකේ අනිත් අයට ගානකුත් නෑ. බලන්න ගියපු එවුන්ට ගානකුත් නෑ. අඩුම ගානේ අර්ජුන බැට් ඉස්සුවේවත් නෑ.

මේ මොකද මේ කියල අපිත් නිකන් අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉන්න කොට තමයි පිට්ටනියේ ලකුණු පුවරුව පෙන්නුවේ.

ඒකේ විදියට ඒ වෙලාවේ අර්ජුන 99යි.

ඊට පස්සේ තව ලකුණක් ගහල අර්ජුන ග්‍රවුන්ඩ් එකේ ලකුණු පුවරුවේ සියය සම්පූර්ණ කරනවා. ඒ වෙලාවේ ඉතින් ප්‍රේමදාසේ තත්ත්වය හිතාගන්න එක ඔබට බාරයි.

අර්ජුන රණතුංග මේ තරගයේ දී නොදැවී ලකුණු 131ක් රැස් කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සෑහෙන අවතක්සේරුවට ලක් වෙච්ච ඉනිමක් මේක.

ඔය මැච් එකේ වැඩි වෙලාවක්, ඒ කියන්නේ වෙන්කතේශ් ප්‍රසාද්ලා වගේ වේගපන්දු යවපු උදවියටත් අර්ජුන ගැහුවේ හෙල්මට් නැතුව සාමාන්‍ය කැප් තොප්පියක් දාගෙන.

තරගය දිනන්න රොමේෂ් කළුවිතාරණ වෙනුවට කණ්ඩායමට ආපු ලංකා ද සිල්වා දීපු සහයෝගයත් අමතක කරන්න බෑ.

තරගයේ 45 වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය ඉක්මවා ගියේ කඩුලු හයක් අතැතිව. එදා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරපු අර්ජුන රණතුංග. අර්ජුනගේ මේ ඉනිමට ඔහු පන්දු 152කට ක්‍රීඩා කළා. ඒ වගේම හතරේ පහර 17ක් මේ ඉනිමට ඇතුළත් වුනා.

ඉන් නොනැවතී තවත් දින කිහිපයක ඇවෑමෙන් නැවත වතාවක් ඉන්දියානු කණ්ඩායම ඉතා පහසුවෙන් පරාජය කරමින් 1997 වසරේ පෙප්සි ආසියානු කුසලානය ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

කාසියේ වාසිය: ශ්‍රී ලංකාව

  • ඉන්දියාව 227/6 (50): මොහොමඩ් අසාරුඩීන් 81*, රාහුල් ඩ්‍රාවිඩ් 69, චමින්ද වාස් 35/2
  •  ශ්‍රී ලංකාව 231/4 (44.4): අර්ජුන රණතුංග 131*, ලංකා ද සිල්වා 37*, රොබින් සිං 29/2

ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්.

තරගයේ වීරයා: අර්ජුන රණතුංග

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<