අහන් සහ ලහිරු දක්ෂතා දක්වයි

Uganda Tour of Sri Lanka 2024

224
Uganda Tour of Sri Lanka

සංචාරක උගන්ඩා ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (20) අවසන් වූ 6 වැනි තරගය ද ජයග්‍රහණය කිරීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වූවා.  

6 වැනි තරගය, ගාල්ල, 20, පෙබරවාරි 2024, Uganda Tour of Sri Lanka 

  • ක්‍රීඩාංගණය: ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල 
  • කාසියේ වාසිය: උගන්ඩාව 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත කණ්ඩායම අද තරගයට එක් වුණේ එක් වෙනස්කමක් කරමින්. ඒ පෙර තරගයට ක්‍රීඩා කළ රනුද සෝමරත්න වෙනුවට කවිඳු නිර්මාණ කැඳවමිනුයි 

උගන්ඩාව අද තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ කඩුලු රැකි ක්‍රීඩක Kakuru Cyrus, Frank Nsubuga, Alpesh Ramjani, Innocent Mwebaze සහ Biazat Ali Shah විවේක ගන්වා තිබූ අතර ඒ වෙනුවට කඩුලු රැකීම සඳහා Fred Achellam ද සහ ඊට අමතර ව Henry Ssenyondo, Roger Ali Shah, Dinesh Nakrani සහ Juma Miyagi කැඳවා තිබුණා.  

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත කණ්ඩායම: අහන් වික්‍රමසිංහ (නායක), ලසිත් කෲස්පුල්ලේ, කමිල් මිෂාර (කඩුලු රකින්නා), අයන සිරිවර්ධන, මුදිත ලක්ෂාන්, සචිත ජයතිලක, ලහිරු සමරකෝන්, කවිඳු නිර්මාණ, ලක්ෂාන් සඳකැන්, කවිඳු නදීශාන් සහ දනාල් හේමානන්ද.  

උගන්ඩා කණ්ඩායම: Brian Masaba (නායක), Fred Achellam (කඩුලු රකින්නා), Roger Mukasa, Henry Ssenyondo, Kenneth Waiswa, Simon Ssesazi, Bilal Hassun, Roger Ali Shah, Dinesh Nakrani, Juma Miyagi සහ Robinson Obuya. 

කාසියේ වාසිය දිනා ගත් උගන්ඩා කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 193ක් ලබා ගත්තා.   

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු කමිල් මිෂාර සහ නායක අහන් වික්‍රමසිංහ අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.  

අහන් වික්‍රමසිංහ පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 75ක් ලබා ගත් අතර කමිල් මිෂාර පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.  

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 13කට දැවී තිබිය දී පිටියේ එක් වූ මොවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54ක දී ලකුණු 92ක සබඳතාවක් එක් කළා.  

ඊට අමතර ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 57ක සබඳතාවක් එක් කිරීමට අහන් වික්‍රමසිංහ සහ සචිත ජයතිලක සමත් වූවා. සචිත ජයතිලක පන්දු 16කට මුහුණ දෙමින් හතරේ හයේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා. 

ඉනිම අවසන් වන විට ලහිරු සමරකෝන් පන්දු 5කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී  Bilal Hassun ලකුණු 54කට කඩුලු 2ක් දවා ගනිද්දී Dinesh Nakrani සහ Juma Miyagi කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි උගන්ඩා ක්‍රීඩකයන්ට තම පන්දුවාර 20.0 දී ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 183ක් පමණයි. 

එම ඉනිම වෙනුවෙන් Roger Ali Shah අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වීම කැපී පෙණුනා. එහි දී ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.  

ඊට අමතර ව Robinson Obuya ද පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගත් අතර Dinesh Nakrani පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා.  

ආරම්භක පිතිකරු Roger Mukasa ද පන්දු 23ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.  

පන්දු යැවීමේ දී ලක්ෂාන් සඳකැන් ලකුණු 33කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ලහිරු සමරකෝන් කඩුලු 2ක් ද සහ අයන සිරිවර්ධන ද කඩුල්ලක් දවා ගත්තා.  

උගන්ඩාව – කඩුලු 7ක් දැවී 183 (20.0) Roger Mukasa 25, Robinson Obuya 41, Roger Ali Shah 50, Dinesh Nakrani නොදැවී 34, ලහිරු සමරකෝන් 2/32, ලක්ෂාන් සඳකැන් 3/33 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතය – කඩුලු 5ක් දැවී 193 (20.0) කමිල් මිෂාර 50, අහන් වික්‍රමසිංහ නොදැවී 75, සචිත ජයතිලක 26, ලහිරු සමරකෝන් නොදැවී 14, Bilal Hassun 2/54 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිත කණ්ඩායමට ලකුණු 10ක ජයක්.  

මෙම තරගාවලියේ 7 වැනි සහ අවසන් තරගය හෙට (පෙබරවාරි 21 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.  

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<