ජේසන් රෝයි IPL අතහැර ගිය හේතුව

1451

ජේසන් රෝයි මෙවර IPL තරගාවලියෙන් ඉවත් වූ බව පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහු පවසා සිටියේ සිය ශාරීරික යෝග්‍යතාව හොඳ තත්වයකට ගැනීම සඳහා ඔහු මේ විවේකය භාවිතා කරන බවයි. පාකිස්තානයට එරෙහි විස්සයි විස්ස තරගාවලියෙන් ද ඔහු ඉවත් වුනේ ආබාධයක් නිසයි. රෝයි මේ තරග වාරයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියම වී තිබුණා.

“මම මීළඟ මාස දෙක තුන මගේ ශාරීරික සෞඛ්‍ය නගා සිටුවන්නට බලාපොරොත්තු වෙනවා” ඔහු Cricbuzz වෙත පවසා තිබුණා. “COVID-19 වසංගත තත්වය නිසා රට වසා තැබුණු  කාලසීමාවේ දී මම හොඳින් ව්‍යායාම හා බයිසිකල් පැදීම කළා. නමුත් ක්‍රීඩා කරන්න පැමිණියාට පස්සේ මට හිතුණා මම පොඩ්ඩක් පසුපසින් ඉන්නේ කියලා. ඒ නිසා මම හිතනවා ඉතා කාර්යබහුල කාලසටහනකින් පොඩ්ඩක් ඈත්වෙන්න පුළුවන් නම් හොඳයි කියලා.”  

රෝයි ලෝක කුසලානය දිනූ එංගලන්ත කණ්ඩායමේ ද ක්‍රීඩා කළා. ඔහු පවසා සිටියේ මැන්චෙස්ටර් හිදී තමන් තරමක මානසික පසුබෑමකට ලක්වුණු බවයි. “ඒක හරිම අමුතුයි. මම හිතුවා පොඩ්ඩක් එළියට ගිහින් පුහුණුවීම් කරන්න ඕනේ කියලා. පන්දු දෙකකට විතර මුහුණ දෙද්දී මම හිතුවා මට අමතක වෙලා නැහැ පන්දුවට පහර දෙන විදිය කියලා. නමුත් ඉන් පසුව පොඩ්ඩක් මට අපහසු වුනා. මම අතෑරලා දැම්මා. මට තේරුණා මොනාහරි වැරදියි කියලා.”

ඔහු පවසා සිටින්නේ වෙන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව සීමිත පන්දුවාර තරගාවලියට සූදානම් වීම ඔහුගේ ප්‍රධානම බලාපොරොත්තුව බවයි. ඔහු එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවත්වා ගෙන යන සෞඛ්‍යාරක්ෂිත වටපිටාවෙන් මිදී නැවත නිවස බලා පිටවගොස් ඇත්තේ සිය නිවසේ දී පුහුණුවීම් කිරීමේ අරමුණින්. රෝයි එක්දින තරග 90ක් ක්‍රීඩා කර ඇති අතර ශතක නවයක් සමඟින් ඔහු ලකුණු 41ක සාමාන්‍යයක් පවත්වා ගෙන තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්: 

රෝයි පවසා සිටියේ දැන් ලෝක කුසලානය දිනූ මතකයන් පැත්තකින් තබා නැවත පුහුණුවීම් ආරම්භ කළ යුතු බවයි. “අපි ඒක කළා. දැන් අපි විස්සයි විස්ස ලෝක කුසලානයට අවධානය කරන්න ඕනේ. අපිට ඕනේ ඒ කුසලාන දෙකම දිනාගන්න. අපිට කණ්ඩායමක් විදියට ඒ දෙය කරන්න පුළුවන්. අපි එක් තරගයක් ක්‍රීඩා කරනවා ඒක ජයෙන් හෝ පරාජයෙන් තොරව කෙළවර වෙනවා. අපි ඉන් පාඩම් ඉගෙන ගෙන මීළඟ තරගයට යනවා.”

“අපි ඔක්කොම කාලෙකට පස්සේ එකට හම්බුණා” එංගලන්ත කණ්ඩායමේ සෞඛ්‍යාරක්ෂිත වටපිටාව ගැන අදහස් දක්වමින් පවසා සිටියා. “ඒක නිසා තරගයකට යද්දී අපේ මානසික තත්වය වෙනස්. අපි අපේ කාමරයේ සිට ක්‍රීඩා පිටියට යනවා. නැවත අපි ආපසු ක්‍රීඩා පිටියට එනවා. ඒ නිසා ක්‍රීඩාවෙන් ඈත්වෙන්න ටිකක් අමාරුයි.”

2019 අළුබඳුන කුසලානයේ දී ආරම්භ වී 2019 දීම අවසන් වුණු රෝයිගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය ගැන ඔහු මෙසේ අදහස් පළ සිටියා. “මම එක අවබෝධ කර ගත්තා” ඔහු පවසා සිටියා. “මම වෙන කාටත් වඩා බලාපොරොත්තු කඩවුණු කෙනෙකු බවට පත් වුනා. මම හිතුවේ එක මගේ ජීවිතයට දරුණු පහරක් වෙයි කියලා. මගේ ක්‍රීඩා ජීවිතයේ අවාසනාවන්තම මොහොත. ඔවුන්ගේ පන්දු යැවීමේ බල ඇණිය ඉතා දරුණුයි. ගොඩක් දැවී යාම් වලට මම වැරදි නැහැ මට කරන්න දෙයක් තිබුණෙත් නැහැ. ඒ වුනත් අළුබඳුන ඉවර වෙලා මාස දෙක තුනක් යනකම් මට හිත හදාගන්න අමාරු වුනා.”

“මම වසර අවසානයේ දී ඒ ගැන සිතා බලද්දී මට මෙහෙම සිතුණා. මම එකම අවුරුද්දේ දී ලෝක කුසලානය දිනුවා වගේම අළුබඳුන තරගාවලියේ දීත් ක්‍රීඩා කළා. ඒකට සම්බන්ධ වීම ගැන ගොඩක් සතුටුයි. ඒ නිසා මම ධනාත්මක දේවල් ගැන හිතනවා. මම සාර්ථක නොවුණත් කාටවත් මම අළුබඳුන තරගාවලියකට ක්‍රීඩා කළේ නැහැ කියන්න බැහැ.”

පසුගිය මාසයේ බදී 30 වැනි වියට පා තැබූ රෝයි පවසා සිටින්නේ තමන් කෙසේ හෝ ටෙස්ට් තරගවල සාර්ථක වෙන්නට උත්සහ කරන බවයි.මම තවමත් ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම අතහැර නැහැ” ඔහු පවසා සිටියා. “මට පුළුවන් කියලා මටම ඔප්පු කරගන්න ඕන. මගේ ක්‍රීඩා දිවියේ ඒ සංධිස්ථානයත් මම සනිටුහන් කරන්න ඕනේ. අපි දැකලා තියෙනවා ක්‍රීඩකයින් වයස අවුරුදු 32 දී ශතක වාර්තා කරනවා. අපි දන්නෑ මොනවා වෙයි ද කියලා ඉස්සරහට. අපි හිස කෙලින් තබාගෙන වැඩ කරන්න ඕනේ.”

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<