සචිත ජයතිලක සංචාරක ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

Uganda Tour of Sri Lanka 2024

397

සංචාරක උගන්ඩා ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (18) නිමා වූ 5 වැනි තරගය ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත කණ්ඩයාම සමත් වූවා.

මේ අනුව මේ දක්වා පැවැති සෑම තරගයක දී ම ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණා.

අද පැවැති තරගයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 11ක තියුණු ජයග්‍රහණයක් හිමි වූ අතර අද තරගයේ දී තුන් ඉරියව් ක්‍රීඩක සචිත ජයතිලක කැපී පෙණෙන දක්ෂතා දැක්වීමට සමත් විම කැපී පෙණුනා.

5 වැනි තරගය, ගාල්ල, 17, පෙබරවාරි 2024, Uganda Tour of Sri Lanka

o ක්‍රීඩාංගණය: ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල

o කාසියේ වාසිය: උගන්ඩාව

දෙරට අතර පැවැති මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 2ක් ලබා ගත් ක්‍රිශාන් සංජුල, කඩුලු රැකි ක්‍රීඩක සොහාන් ද ලිවේරා, චමිඳු වික්‍රමසිංහ සහ කවිඳු නිර්මාන වෙනුවට අද තරගය සඳහා ලසිත් කෲස්පුල්ලේ, සචිත ජයතිලක, ලහිරු සමරකෝන් සහ රනුද සෝමරත්න එක් කර තිබුණා.

මෙම තරගයේ දී උගන්ඩා කණ්ඩායමේ නායකත්වයට නැවතත් Brian Masaba කැඳවා තිබූ අතර කඩුලු රකින්නා ලෙසින්  Kakuru Cyrus ද ඊට අමතර ව Robinson Obuya, Bilal Hassun සහ Innocent Mwebaze කැඳවා තිබූ අතර ඒ වෙනුවට Fred Achellam, Henry Ssenyondo, Juma Miyagi, Dinesh Nakrani සහ Ronald Lutaya හට තම ස්ථාන අහිමි ව තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත කණ්ඩායම: අහන් වික්‍රමසිංහ (නායක), ලසිත් කෲස්පුල්ලේ, කමිල් මිෂාර (කඩුලු රකින්නා), අයන සිරිවර්ධන, මුදිත ලක්ෂාන්, සචිත ජයතිලක, ලහිරු සමරකෝන්,  ලක්ෂාන් සඳකැන්, කවිඳු නදීශාන්, දනාල් හේමානන්ද සහ රනුද සෝමරත්න.

උගන්ඩා කණ්ඩායම: Brian Masaba (නායක), Kakuru Cyrus (කඩුලු රකින්නා), Roger Mukasa, Simon Ssesazi, Frank Nsubuga, Kenneth Waiswa, Robinson Obuya, Bilal Hassun, Alpesh Ramjani, Innocent Mwebaze, Biazat Ali Shah,

කාසියේ වාසිය දිනා ගත් උගන්ඩා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 168ක් ලබා ගැනීමට සමත් වූවා. ඊට පිළිතුරු ලෙසින් උගන්ඩා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 157ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩි මෙහෙවරක නිරත වූයේ 26 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩක සචිත ජයතිලක. ඔහු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා.

ඊට අමතර ව ලසිත් කෲස්පුල්ලේ පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ද සහ අයන සිරිවර්ධන පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.

ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 11ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 20ක් ලබා ගනිද්දී ලහිරු සමරකෝන් ද පන්දු 12ක දී හතරේ පහර 2ක් සමඟින් නොදවී ලකුණු 15ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී නායක Brian Masaba ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත් අතර Innocent Mwebaze සහ Kenneth Waiswa කඩුල්ල බැගින් දවා ගත්තා.

ප්‍රතිවාදී උගන්ඩා ඉනිමේ කඩුලු 4ක් ලකුණු 45කට දැවී ගොස් තිබිය දී ඉනිම ගොඩ ගැනීමේ නිරත වූයේ Kenneth Waiswa සහ Alpesh Ramjani. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 97ක සබඳතාවක් එක් කළා.

ඒ සඳහා ඔවුන් දෙදෙනා පන්දු 51ක් වැය කළ අතර Alpesh Ramjani ගේ ඉනිම නිමා වීමත් සමඟින් එම සබඳතාව බිඳී ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා.

ඊට අමතර ව දෙවැනි විස්සයි විස්ස තරගයේ දී ද අර්ධ ශතකයක් ලබා ගත් Kenneth Waiswa පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සචිත ජයතිලක ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ලහිරු සමරකෝන් කඩුලු 2ක් ද සහ කවිඳු නදීශාන් කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතය – කඩුලු 5ක් දැවී 168 (20.0) කමිල් මිෂාර 20, ලසිත් කෲස්පුල්ලේ 31, අයන සිරිවර්ධන 23, සචිත ජයතිලක නොදැවී 50, ලහිරු සමරකෝන් නොදැවී 15, Brian Masaba 3/12

උගන්ඩාව – කඩුලු 6ක් දැවී 157 (20.0) Kenneth Waiswa 59, Alpesh Ramjani 52, ලහිරු සමරකෝන් 2/42, සචිත ජයතිලක 3/28

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතයට ලකුණු 11ක ජයක්.

මෙම තරගාවලියේ 5 වැනි තරගය පෙබරවාරි 20 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<