තිශාන් සහ කනිල්ක දක්ෂ පන්දු යැවීමක නිරත වෙයි

U19 Sri Lanka Youth League 2026

26
U19 Sri Lanka Youth League 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (16) පැවැති අතර එහි දී මහනුවර සහ කොළඹ උතුර කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.

  • ගාල්ල සහ මහනුවර අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

මෙම තරගයේ දී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ අබ්දුල් මාජිඩ් වෙනුවට සෙනුර ලක්ෂාන් කැඳවා තිබුණ අතර මහනුවර කණ්ඩායම තරගයට එක් වෙන්නේ වෙනස්කම් 4ක් සිදු කරමින්.

ඒ අනුව මහනුවර කණ්ඩායමේ නිත්‍ය නායක දිමන්ත මහවිතාන වෙනුවට මෙම තරගය මෙහෙයවීමේ වගකීම චනිරු සේනාරත්න සතු ව තිබුණා. දිමන්ත මහවිතාන සමඟින් පෙර තරගයට එක් ව සිටි ප්‍රවීන් රුකුනායක, රයන් ග්‍රෙගරි සහ සෙත්මික සෙනෙවිරත්න මෙම තරගයේ දී විවේක ගන්වා තිබූ අතර ඒ වෙනුවට සිසිල් හේමක, දිනුල් විජේසිංහ, ශෂිත් බණ්ඩාර සහ  සංජන සචින්ද්‍ර කණ්ඩායමට එක් කර තිබුණා.

ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම  

 

චමරිඳු නෙත්සර (නායක සහ කඩුලු රකින්නා), අරෝෂ සිතුමිණ, දුල්සිත් දර්ශන, පුල්ජිත් වත්සුක, සෙනුර ලක්ෂාන්, ගිම්හාන් රසාංජන, ලිදුල නෙත්මිණ, සඳරු මල්ශාන්, ටෙනුෂ නිම්සර, එස්. ඒ. ඉඳුවර සහ ලතීන්ද්‍ර ආකාශ්.

මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

චනිරු සේනාරත්න (නායක), ආදිල් ෆෙරීෆ්, මහේන්ද්‍ර අබේසිංහ, සිසිල් හේමක, කෞෂික කුමාරසිංහ, දිනුල් විජේසිංහ (කඩුලු රකින්නා), ශෂිත් බණ්ඩාර, සංජන සචින්ද්‍ර, සුමේධ ප්‍රසාද්, කෝලිත සුගත් සහ කනිල්ක ඇන්තනී.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 293ක් ලබා ගන්නවා.

එම ඉනිම වෙනුවෙන් සිසිල් හේමක සහ කෞෂික කුමාරසිංහ අර්ධ ශතක ඉනිම් වාර්තා කරන්නට සමත් වෙනවා. සිසිල් හේමක පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 84ක් ද සහ කෞෂික කුමාරසිංහ පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අමතර ව නායක චනිරු සේනාරත්න පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත් අතර ඔහු සිසිල් හේමක හා එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 109ක දී ලකුණු 90ක සබඳතාවක් එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී ටෙනුෂ නිම්සර ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව ලිදුල නෙත්මිණ, එස්. ඒ. ඉඳුවර සහ ලතීන්ද්‍ර ආකාශ් කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 180ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ පුල්ජිත් වත්සුක. ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා. ඊට අමතර ව ලිදුල නෙත්මිණ පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කනිල්ක ඇන්තනී ලකුණු 15කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව කෝලිත සුගත් ලකුණු 28කට කඩුලු 3ක් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මහනුවරවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 293 (50.0)මහේන්ද්‍ර අබේසිංහ 30, සිසිල් හේමක 39, කෞෂික කුමාරසිංහ 68, දිනුල් විජේසිංහ 21, එස්. ඒ. ඉඳුවර 2/51, ලිදුල නෙත්මිණ 2/47, ලතීන්ද්‍ර ආකාශ් 2/60, ටෙනුෂ නිම්සර 3/37
  • ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– සියලුම දෙනා දැවී 180 (38.1)දුල්සිත් දර්ශන 20, පුල්ජිත් වත්සුක 38, චමරිඳු නෙත්සර 21, ගිම්හාන් රසාංජන 23, ලිදුල නෙත්මිණ 30, කෝලිත සුගත් 3/28, කනිල්ක ඇන්තනී 4/15

මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 113ක ජයක්.

  • කොළඹ දකුණ සහ කොළඹ උතුරකණ්ඩායම් අතර තරගය කොළඹ P. Sara Ovalක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

කොළඹ උතුර කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගය හා එක් ව සිටි ලිත්ම පෙරේරා සහ තරුෂ නවෝද්‍ය වෙනුවට රමිත් බණ්ඩාර සහ තරුෂ රණසිංහ කණ්ඩායමට එක් කර තිබුණා.

කොළඹ දකුණ කණ්ඩායමේ සිදු කර තිබූ වෙනස්කම් ප්‍රමාණය 5ක්. ඒ අනුව පෙර තරගයට එක් ව සිටි ජේඩන් අමරවීර, අසදිස ද සිල්වා, ජේසන් ප්‍රනාන්දු, හිමරු දේශාන් සහ අදීශ ලක්ශාන් වෙනුවට දිනෙත් සිතුමිණ, පසිඳු කුමාර, රෙශාන් සොලමන්ස්, ජනිරු ඇතුලත්මුදලි සහ මෙවිඳු කුමාරසිරි කණ්ඩායමට එක් කර තිබුණා.

කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

රමිරු පෙරේරා (නායක), හිරුන් මතීෂ, දිනෙත් සිතුමිණ (කඩුලු රකින්නා), පසිඳු කුමාර, රෙශාන් සොලමන්ස්, නේක්ෂ ඉද්දමල්ගොඩ, ජනිරු ඇතුලත්මුදලි, මෙවිඳු කුමාරසිරි, මලින්ත සිල්වා, ගිම්හාන් මෙන්ඩිස් සහ ඔෂඳ මනහර,

කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

රිශ්ම අමරසිංහ (නායක සහ කඩුලු රකින්නා), අවීෂ සමාස්, දුල්නිත් සිගේරා, සෙනුජ වැකුණුගොඩ, කිත්ම විතානපතිරණ, රමිත් බණ්ඩාර, තරුෂ රණසිංහ, ශවීන් පෙරේරා, ශ්‍රීරාම් ජීවහන්, තිශාන් නිපුන් සහ ලහිරු ලක්මාල්.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොළඹ දකුණ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 189ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක රමිරු පෙරේරා. ඔහු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණ 74ක් ලබා ගන්නවා.

ඊට අමතර ව නේක්ෂ ඉද්දමල්ගොඩ පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ද සහ හිරුන් මතීෂ පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී වමතින් මඳ වේග පන්දු යවන තිශාන් නිපුන් ලකුණු 38කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව කිත්ම විදානපතිරණ කඩුලු ද්විත්වයක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ උතුර ක්‍රීඩකයෝ ඉනිමේ තවත් පන්දු 67ක් ද ඉතිරි කර ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නේ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමින්.

එම ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දුල්නිත් සිගේරා සහ අවීශ සමාස් සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 51ක දී ලකුණු 51ක් එක් කරනවා.

එහි දී පළමුවෙන් ම දැවී යන්නේ දුල්නිත් සිගේරා. ඔහු දැවී යන විට පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා. අවීෂ සමාස් ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.

ඔහු ඒ වෙද්දී එම කඩුල්ලට නායක රිශ්ම අමරසිංහ හා එක් වෙමින් පන්දු 81ක දී ලකුණු 54ක සබඳතාවක් ද එක් කරනවා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී රිශ්ම අමරසිංහ පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 59ක් ද සහ තරුෂ රණසිංහ පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 29ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 74ක දී නොදැවුණ ලකුණු 67ක් එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී ඔෂඳ මනහර ලකුණු 45කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 189 (36.4) හිරුන් මතීෂ 30, නේක්ෂ ඉද්දමල්ගොඩ 35, රමිරු පෙරේරා 74, තිශාන් නිපුන් 5/38, කිත්ම විදානපතිරණ 2/14
  • කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 5ක්දැවී 190 (38.5)දුල්සිත් සිගේරා 35, අවීෂ සමාස් 50, රිශ්ම අමරසිංහ නොදැවී 59, තරුෂ රණසිංහ නොදැවී 29, ඔෂඳ මනහර 3/45

කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

හෙට (18) තරගාවලියේ තවත් තරග ද්විත්වයක් පැවැත්වෙන අතර ඒ අනුව ද කොළඹ උතුර සහ දඹුල්ල අතර තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ද සහ කොලඹ දකුණ සහ ගාල්ල අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<