පසුගිය ඉරිදා දිනයෙන් නිමා වූ 2026 IPL තරගාවලියේ දී Sunrisers Hyderabad කණ්ඩායම වෙනුවෙන් එශාන් මාලිංග විසින් ලබා දුන් දායකත්වය විශේෂයෙන්ම කැපී පෙනුණා.
මීට දශකයට එහා කාලයේ සිට ඉන්දියාවට මාලිංග යන නාමය කනට හුරු වී ඇති නිසාම, පසුගිය වසරේ දී Sunrisers Hyderabad කණ්ඩායම විසින් පසුගිය වසරේ දී එශාන් මාලිංග ඉන්දීය රුපියල් කෝටි 1.20ක වටිනාකමක් සහිතව තම කණ්ඩායමට එක් කර ගැනීම පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා.
කෙසේ වෙතත් ඒ වන විටත් එශාන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෝ කැපී පෙනෙන දක්ෂතා නොතිබුණු නිසා, ඔහු පිළිබඳ සම්පූර්ණ අදහසක් ලබා ගැනීමට බොහෝ දෙනෙකුට අපහසු වුනා.
මේ වන විට 25 වැනි පසු වන එශාන් මේ දක්වා ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 07ක් සහ විස්සයි විස්ස තරග 08ක් පමණයි. එම තරගවල දී එශාන් විසින් එක්දින කඩුලු 04ක් මෙන්ම, විස්සයි විස්ස කඩුලු 08ක් ද දවා ගැනීමට සමත් වී තිබෙනවා.
කෙසේ වෙතත් 2025 සහ 2026 තරග වාර දෙක තුළ එශාන් IPL තරගාවලිවල දී Sunrisers Hyderabad කණ්ඩායම නියෝජනය කරමින් තරග 22ක් ක්‍රීඩා කර තිබීම විශේෂත්වයක්.
එශාන් සිය ආරම්භක IPL තරගාවලියේ දී SRH කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වරම් ලබා ගත්තේ තරග 07ක් පමණයි. කෙසේ වෙතත් එම තරග 07 තුළ ඔහු විසින් කඩුලු 13ක් දවා ගැනීමට සමත් වුනා.
එශාන් විසින් 2025 දී දැක්වූ දක්ෂතා සමඟ මෙවර තරගාවලියේ දී එශාන් හට පෙර නොවූ විරූ අවධානයක් හිමි වූ අතර, ඔහු ඒ වෙනුවෙන් සිය උපරිම සාධාරණය ද ඉටු කිරීමට සමත් වුනා.
මෙවර තරගාවලියේ දී Sunrisers Hyderabad කණ්ඩායම මූලික වටයේ දී තමන් ක්‍රීඩා කළ තරග 14න් 09ක් ජය ගනිමින් ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත් වීමට සමත් වුනා.
කෙසේ වෙතත් ඔවුන් Playoff වටයේ ක්‍රීඩා කළ එකම තරගය වූ Eliminator තරගයේ දී Rajasthan Royals කණ්ඩායම හමුවේ ලද පරාජය නිසා තරගාවලියෙන් ඉවතට විසි වී ගියා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
කෙසේ වෙතත් මෙම තරග 15 පුරාවටම Sunrisers කණ්ඩායමේ ගැලවුම් කරුවකු බවට පත් වීමට එශාන් මාලිංගට හැකියාව ලැබීම විශේෂත්වයක්.
තරගාවලිය ආරම්භයේ සිටම SRH කණ්ඩායමට පන්දු යවන්නන් පිළිබඳ ගැටලු කිහිපයක් පැවතුණා. ඔවුන්ගේ නිත්‍ය නායක සහ ප්‍රධාන වේග පන්දු යවන්නා වන Pat Cummins තරගාවලියේ මුල් අර්ධයට සහභාගී නොවීම නිසා මෙන්ම, ඔවුන් සතුව සිටි ප්‍රධාන පෙළේ පන්දු යවන්නන්ගේ ආබාධ ගැටලු සහ දුර්වල ක්‍රීඩා රටාව නිසා එශාන් මාලිංගගේ උර මතට වැටෙන බර කෙමෙන් කෙමෙන් වැඩි වුනා.
කෙසේ වෙතත් ඔහු තම වගකීම අකුරට ඉටු කිරීමට සමත් වීමත් සමඟම Sunrisers පන්දු යැවීම ඔහු වටා ගොඩ නැගීමට කණ්ඩායම් නායකත්වය සහ වගකීම් පියවර ගත් බව දක්නට ලැබුණා.
පසුව Pat Cummins ද කණ්ඩායම සමඟ එක් වූ නමුත්, ඔහු ද එශාන් මාලිංග සිය කණ්ඩායමේ තුරුම්පුව ලෙසයි භාවිත කළේ. විශේෂයෙන්ම කණ්ඩායමට කඩුල්ලක් අවශ්‍ය සෑම මොහොතකම එශාන් මාලිංගගේ අතට පන්දුව ලබා දීම නායකයාගේ පුරුද්ද බවට පත් වුනා.
එමෙන්ම මාලිංග විසින් ද ඒ වෙනුවෙන් සිය උපරිම සාධාරණය ඉටු කරමින් තරග 15 තුළ කඩුලු 20ක් දවා ගැනීමට සමත් වුනා.
එශාන් තරගාවලියේ 06 වැනි වැඩිම කඩුලු ලාභියා ලෙස වාර්තා අතරට එක් වූ අතර, තරගාවලිය තුළ ඔහු විසින් පන්දු 326ක් යොමු කරමින් ලකුණු 507ක් පමණක් ලබා දී තිබීමත් විශේෂත්වයක්. ඔහුගේ පන්දුවාරයකට ලබා දී ඇති ලකුණු සාමාන්‍ය 9.33ක් ලෙස සටහන් වී ඇති අතර, එය මෙවර තරග වාරය තුළ පිතිකරුවන් රජ කල අන්දම හා සලකා බලන විට ඉතා ඉහළ දක්ෂතාවක් ලෙස සැලකිය හැකි.
එමෙන්ම එශාන්ගේ කඩුල්ලක් ලබා ගැනීම වෙනුවෙන් ලබා දුන් ලකුණු සාමාන්‍ය 25.35ක් ලෙස සටහන් වී ඇති අතර, කඩුල්ලක් වෙනුවෙන් වැය කල පන්දු ප්‍රමාණය 16.30ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඔහුගේ මෙම කඩුලු විස්ස වෙනුවෙන් සටහන් වූ හොඳම පන්දු යැවීම ලකුණු 32කට කඩුලු 4ක් ලෙස සටහන් වුනා.
මෙවර තරගාවලියේ SRH වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා එශාන් වන අතරම, 2024-26 තරග කාලසීමාව තුළ Pat Cummins හට පමණක් දෙවැනි වෙමින් Sunrisers කණ්ඩායමේ දෙවැනි සාර්ථකම පන්දු යවන්නා ලෙස වැජඹීමටත් එශාන් සමත් වීම විශේෂත්වයක්. මෙහි දී එශාන්ගේ පන්දු යැවීමේ සාමාන්‍ය අගය සහ ලකුණු ලබා දීම ද Pat Cumminsට වඩා ඉහළ තත්වයක ඇති බවයි සංඛ්‍යා දත්ත හරහා පැහැදිලි වන්නේ.
එමෙන්ම ESPN Crickinfo වෙබ් අඩවිය මගින් දත්ත එකතු කරමින් ලබා Impactful Bowler දත්ත සටහන විමසීමේ දී, එශාන් එහි ද ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබමින් පෙරමුණේ රැඳෙනවා.
එශාන් ලකුණු 516.2ක් ලකුණු ලබමින් එම සටහනේ 06 වැනි ස්ථානයේ රැඳෙන අතර, මෙම දත්ත මගින් පන්දු යවන්නකු තරගාවලිය තුළ තරගයක් වෙනස් කිරීමට කෙතරම් දායක වී ඇති ද යන්නයි සලකා බැලෙන්නේ. මෙහි දී එශාන්ට ඉදිරියෙන් සිටින පන්දු යවන්නන් වන්නේ Bhuwaneshwar Kumar, Kagiso Rabada, Jofra Archer, Mohammed Siraj සහ Sunil Narine පමණයි.
මේ අනුව එශාන් මාලිංග සාධකය Sunrisers Hyderabad වෙනුවෙන් කෙතරම් දායකත්වයක් ලබා දී ඇති ද යන්න පැහැදිලියි.
එමෙන්ම IPL තරගාවලිය අවසාන වීමෙන් අනතුරුව එශාන් විසින් ශ්‍රී ලංකාව සමඟ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සංචාරයකට සූදානමින් සිටිනවා. එහි දී ඔහු විසින් ලබා ඇති IPL අත්දැකීම් ද සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සිය උපරිමය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි.
එමෙන්ම ඉන් අනතුරුව ඔහුට LPL 2026 තරගාවලිය සමඟින් ද එක් වීමට අවස්ථාව හිමි වන අතර, එහි දී නැවතත් සිය LPL කණ්ඩායම වන Galle Gallants වෙනුවෙන් උපරිම සාධාරණය ලබා දෙනු ඇති.
එම තරගාවලි සියල්ල පිළිබඳ තරග විස්තර ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<




















