වාර්තා පහක් සමඟ දෙවැනි දිනය අවසන්

52 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

553

Ritzbury ආයතනයේ අනුග්‍රාහකත්වය යටතේ පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනයේ තරග අද (04) පැවැත්වුනා.

උණුසුම් ඉසව් කිහිපයක අවසන් තරගවලින් සමන්විත වූ දෙවැනි දිනයේ දී නව තරගාවලි වාර්තා පහක් බිඳ හෙළීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

දිනයේ වාර්තා වූ පළමු වාර්තාව පිහිටුවමින් 15න් පහළ බාලක මීටර් 800 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සීදූව සාන්ත තෝමස් ක්‍රිස්තු පාසලේ සෙනුර කොස්තා සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය මිනිත්තු 2:01.01ක් ලෙස සටහන් වුනා.

සෙනුර මෙම තරගාවලියේ ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔහු එම තරගයෙන් කෙටි වේලාවකට පසුව පැවති 15න් පහළ බාලක මීටර් 200 තරගය ද ජයග්‍රහණය කිරීමට සමත් වීම කැපී පෙනුණා.

උදෑසන පැවති බාලිකා මීටර් 600 ඉසව්වේ 14න් පහළ කාණ්ඩය නියෝජනය කළ මාවනැල්ල සුජාතා විද්‍යාලයේ එම්.එන්. ධර්මදාස ඉසව්වේ තරගාවලි වාර්තාව බිඳ හෙළුවේ මිනිත්තු 1:42.6ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

14න් පහළ බාලක හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මීටර් 55.70ක දස්කමක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ එම්. සී. රාජසිංහ සමත් වූ අතර ඔහු ඊයේ දිනයේ දී සිය වයස් කාණ්ඩයේ යගුලිය දැමීමේ වාර්තාව ද බිඳ හෙළා තිබුණා.

එම වයස් කාණ්ඩයේම බාලිකා හෙල්ල විසි කිරීමේ වාර්තාව බිඳ හෙළීමට වත්තල OKI ජාත්‍යන්තර පාසලේ ඒ. සමස්ති සමත් වූ අතර ඇය එහි දී වාර්තා කළ දස්කම මීටර් 31.10ක් ලෙස සටහන් වුනා.

අද දිනයේ දී මෙම තරගවලට අමතරව බාලක සහ බාලිකා මීටර් 200 සහ මීටර් 4×100 සහය දිවීමේ ඉසව් පැවති අතර එම තරග සඳහා විශාල අවධානයක් හිමිව තිබුණා.

>> තරගාවලියේ මෙතෙක් ප්‍රතිඵල <<

52 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි සහ අවසන් දිනයේ තරග ඉසව් හෙට (05) පැවැත්වීමට නියමිතව ඇති අතර එම ඉසව්වල උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<