ආණ්ඩුකාර කුසලානය නාරම්මලට

Governors Trophy One Day Tournament – 2023

333
Governor's Trophy One Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ආණ්ඩුකාර කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව Crusaders ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගත් නාරම්මල ක්‍රීඩා සමාජය විසින් දිනා ගත්තා. ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගත්තේ අපරාජිතව සිටිමින් වීම විශේෂත්වයක්. 

තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් සහභාගී වූ අතර ඔවුන් කාණ්ඩ 2ක් යටතේ පළමු වටයේ දී තරග කළා. ඒ අනුව කාණ්ඩ 2 ප්‍රමුඛයන් වූ නාරම්මල ක්‍රීඩා සමාජය සහ කළුතර Crusaders ක්‍රීඩා සමාජය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා 

නාරම්මල ක්‍රීඩා සමාජයේ ජයග්‍රාහී ගමන් මඟ 
1  අන්තෝනියන් ක්‍රීඩා සමාජය  නාරම්මල ක්‍රීඩා සමාජයට කඩුලු 3ක ජයක්.  
2  සඳලංකාව ක්‍රිකට් සමාජය  නාරම්මල ක්‍රීඩා සමාජයට ලකුණු 85ක ජයක්.  
3  යුනිචෙලා ක්‍රීඩා සමාජය   නාරම්මල ක්‍රීඩා සමාජයට ලකුණු 40ක ජයක්.  
4  කඳුකර ක්‍රිකට් සමාජය  නාරම්මල ක්‍රීඩා සමාජයට ලකුණු 158ක ජයක්.  
5  රජරට ක්‍රීඩා සමාජය  නාරම්මල ක්‍රීඩා සමාජයට ලකුණු 103ක ජයක්.  
6  දිගාමඬුල්ල ක්‍රිකට් සමාජය  නාරම්මල ක්‍රීඩා සමාජයට ලකුණු 142ක ජයක්.  
7  Old Survatius ක්‍රීඩා සමාජය  නාරම්මල ක්‍රීඩා සමාජයට කඩුල්ලක ජයක්. 
8  Crusaders ක්‍රීඩා සමාජය  නාරම්මල ක්‍රීඩා සමාජයට ලකුණු 23ක ජයක්.  

 

  • නාරම්මල ක්‍රීඩා සමාජය: සුලේක රණසිංහ (නායක), අරුණ ශ්‍රී බණ්ඩාර, තිසර මධුශාන්, ශෂික ප්‍රියමාල්, චතුමල් නිමේෂ්, කුසල් ද සිල්වා, විදත් බටේපොළ, ධනංජය බණ්ඩාර, ෂෙහාර චන්දිමාල් (කඩුලු රකින්නා) නිමේෂ් මධුශංක, යොහාන් කල්හාර. 
  • Crusaders ක්‍රීඩා සමාජය: ඩිල්ශාන් මෙන්ඩිස් (නායක) රුසිත් ජයවර්ධන, කෞෂාන් කුලසූරිය, ශිහාන් ප්‍රනාන්දු, ගවින් බොතේජු (කඩුලු රකින්නා) ගීත් සංකල්ප, විනුජ රණසිංහ, තිතිර වීරසිංහ, රොමේෂ් නල්ලපෙරුම, අතීෆ් සිද්ධික්, බිශාන් හෙට්ටිආරච්චි. 

අවසන් මහා තරගය  

කොළඹ NCC ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්  Crusaders නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාරම්මල ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 267ක් ලබා ගත්තා.  

එම ඉනිම වෙනුවෙන් චතුමල් නිමේෂ් පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා. ඔහු අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා.  

ඊට අමතර ව ආරම්භක පිතිකරු අරුණ ශ්‍රී බණ්ඩාර පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේ අනෙක් ආරම්භක පිතිකරු තිසර මදුශාන් (17) සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට ලකුණු 67ක සබඳතාවක් ද ගොඩ නගමින්.  

ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62ක දී ලකුණු 100ක සබඳතාවක් එක් කිරීමට චතුමල් නිමේෂ් සහ විදත් බටේපොළ සමත් වුනා. විදත් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.  

එතැන් සිට ඉනිමේ දැවී ගිය කඩුලු 4 ලකුණු 12ක් තුළ දවා ගැනීමට Crusaders පන්දු යවන්නෝ සමත් වුනා.  

පන්දු යැවීමේ දී බිෂාන් හෙට්ටිආරච්චි ලකුණු 73කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර කෞෂාන් කුලසූරිය ද ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත්තා.  

ලකුණු 268ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි Crusaders ක්‍රීඩකයන්ට ඉනිම අවසන් වීමට තවත් පන්දු 3ක් ඉතිරිව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 244ක් පමණයි.  

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු කෞෂාන් කුලසූරිය පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තා. ඊට අමතර ව රුසිත් ජයවර්ධන, ශිහාන් ප්‍රනාන්දු, ගවින් බොතේජු, ගීත් සංකල්ප සහ තිතිර වීරසිංහ ලකුණු අතරට පිවිසිය ද ඔවුන්ට තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් දායකත්වයක් දැක් වීමට හැකි වූයේ නැහැ.  

පන්දු යැවීමේ දී නායක සුලේක රණසිංහ ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනිද්දී විදත් බටේපොළ ලකුණු 37කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව නිමේෂ් මධුශංක සහ චතුමල් නිමේෂ් කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

ලකුණු පුවරුව 

  • නාරම්මල ක්‍රීඩා සමාජය – කඩුලු 9ක් දැවී 267 (50) අනුර ශ්‍රී බණ්ඩාර 41, චතුමල් නිමේෂ් 100, විදත් බටේපොළ 38, බිෂාන් හෙට්ටිආරච්චි 4/73, කෞෂාන් කුලසූරිය 2/35 
  • Crusaders ක්‍රීඩා සමාජය – සියලුම දෙනා දැවී 244 (49.3) රුසිත් ජයවර්ධන 27, කෞෂාන් කුලසූරිය 72, ශිහාන් ප්‍රනාන්දු 25, ගවින් බොතේජු 23, ගීත් සංකල්ප 25, තිතිර වීරසිංහ 27, සුලේක රණසිංහ 3/38, විදත් බටේපොළ 2/37 

නාරම්මල ක්‍රීඩා සමාජයට ලකුණු 23ක ජයක්.  

තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෝ  

තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ නාරම්මල ක්‍රීඩා සමාජය නියෝජනය කළ චතුමාල් නිමේෂ්. ඔහු තරග 8ක ඉනිම් 8කට එක් වෙමින් ශතකය 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 416ක් ලබා ගත්තා.  

නාරම්මල ක්‍රීඩා සමාජයේ නායක සුලේක රණසිංහ ජයග්‍රාහී කුසලානය ලබා ගනිමින්.

අවසන් මහා තරගයේ වීරයා වීමට දායකත්වය දැක්වූ ශතක ඉනිමට අමතර ව ඔහු දිගාමඬුල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත්තා. තරගාවලියේ ශතක 2ක් වාර්තා කරන ලද එක ම ක්‍රීඩකයා වන්නේ ද චතුමාල්.  

ඊට අමතර ව ඔහු සඳලංකා ක්‍රිකට් සමාජයට (51), කඳුකර ක්‍රිකට් සමාජයට (52) සහ රජරට ක්‍රීඩා සමාජයට (62) ලෙසින් අර්ධ ශතක ද වාර්තා කළා.  

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය නියෝජනය කළ සසිරි අදිකාරි විසින් වෙන් කර ගන්නේ තරග 7ක ඉනිම් 7ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 381ක් හේතුවෙන්.  

ඔහු රත්නපුර ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 122ක් ලබා ගන්නා ලද අතර එය තරගාවලියේ එක් ක්‍රීඩකයෙක් විසින් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ද වුනා.  

ඊට අමතර ව ඔහු Old Zahirians ක්‍රිකට් සමාජයට එරෙහිව නොදැවී ලකුණු 61ක් සහ අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 80ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.  

Old Zahirians කණ්ඩායම නියෝජනය කරන Sherif Irudeen මෙම ලැයිස්තුවේ තෙවැනි අසුන හිමි කර ගන්නා. ඒ වෙනුවෙන් ඔහු තරග 7ක ඉනිම් 7ක දී ලකුණු 277ක් ලබා ගන්නවා.  

ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 87යි. ඊට අමතර ව ඔහු කුරුණෑගල ක්‍රීඩා සමාජයට එරෙහිව ද ලකුණු 78ක් ලබා ගන්නවා.  

මෙම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය ඉනිම් 7ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 275ක් ලබා ගත් කුරුණෑගල ක්‍රීඩා සමාජය නියෝජනය කළ කවිඳු අමමෙත් වෙත ද සහ 5 වැනි ස්ථානය ඉනිම 6ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 274ක් ලබා ගත් යුනිචෙලා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ගිම්හාන් ආශිර්වාද වෙත ද හිමි වෙනවා.  

අවසන් තරගයේ වීරයා චතුමල් නිමේෂ්

මේ අතර තරගාවලියේ ශතක ලැබූවන්ගේ ලැයිස්තුවට Crusaders ක්‍රීඩා සමාජයේ රුසිත් ජයවර්ධන සහ ගවින් බොතේජු, යුනිචෙලා ක්‍රීඩා සමාජයේ ජනිඳු බණ්ඩාර, නාරම්මල ක්‍රීඩා සමාජයේ තිසර මධුශාන් සහ දිගාමඬුල්ල ක්‍රිකට් සමාජයේ පසිඳු මේනක එකතු වෙනවා.  

තරගාවලියේ තරග 8ක දී කඩුලු 25ක් දවා ගන්නා නාරම්මල ක්‍රීඩා සමාජයේ සුලේක රණසිංහ කඩුලු ලාභීන් අතර පෙරමුණ ගන්නවා. ඔහු Antonian ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 25කට කඩුලු 6ක් දවා ගන්නා ලද එය ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙනවා. ඊට අමතර ව සඳලංකාව ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 4ක් සහ යුනිචෙලා ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 5ක් ද දවා ගනිමින් දක්ෂතා දැක්වීමට ඔහු සමත් වෙනවා.  

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය Crusaders ක්‍රීඩා සමාජයේ ඩිල්ශාන් මෙන්ඩිස් සතු වෙනවා. ඔහු තරග 7ක දී කඩුලු 7ක් දවා ගනිමින් මෙම ස්ථානය තහවුරු කර ගන්නා අතර මහනුවර යොවුන් ක්‍රිකට් සමාජයට සහ රත්නපුර ක්‍රිකට් සමාජයට එරෙහිව කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත් වීම ඔහුගේ හොඳම දක්ෂතා අතර රැඳෙනවා.  

Antonian ක්‍රීඩා සමාජය නියෝජනය කරන සිතුක ගුණවර්ධන මෙම තරගාවලියේ ඉනිම් 7ක දී කඩුලු 18ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය සතු කර ගන්නවා. තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Servatius ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 33කට දවා ගත් කඩුලු 5යි.  

ඊට අමතර ව Antonian ක්‍රීඩා සමාජයේ සෙල්වකදීර් කබිලේස්වරන් සහ අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජයේ ඉඳුනිල් සංජීව කඩුලු 15 බැගින් දවා ගනිමින් මෙම ලැයිස්තුව සරසනවා.  

තරගාවලියේ ඉනිමක කඩුලු 8 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වීමට Crusaders ක්‍රීඩා සමාජයේ රුසිත් ජයවර්ධන සහ අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජයේ හෙලංක විදුරංග සමත් වීම කැපී පෙනෙනවා.  

හෙලංක විදුරංග ලකුණු 15කට කඩුලු 8ක් දවා ගනිමින් තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී, රුසිත් ජයවර්ධන ද ලකුණු 27කට කඩුලු 8ක් දවා ගනිමින් ඉනිමක වැඩිම කඩුලු ලාභීන් අතරට එක් වෙනවා. ඔවුන් දෙදෙනා ම මෙම දක්ෂතාව දක්වන්නේ අහුංගල්ල ගෙස්ටෝ ක්‍රිකට් සමාජයට එරෙහිව වීම විශේෂත්වයක්.   

තරගාවලියේ ශූරයන් වූ නාරම්මල ක්‍රීඩා සමාජයට සහ අනුශූරයන් වූ Crusaders ක්‍රීඩා සමාජයට ThePapare.com හී සුබ පැතුම්! 

ක්‍රීඩා පිටියේ නැවුම් තොරතුරු එසැනින් ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<