ශ්‍රී ලංකාව T20 තරගාවලිය සම කරමින් විශිෂ්ට ජයක් ලබයි!

31
Sri Lanka Tour Of West Indies 2026

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (14) උදෑසන ක්‍රියාත්මක වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය කොදෙව්වන් සතු වූ අතර, තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වුනා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපුරුදු පරිදි ඉනිම ආරම්භ කිරීම සඳහා පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පිටියට අවතීර්ණ වූ අතර, ඔවුන් දෙදෙනා නැවතත් පන්දුවාර 5 එළඹීමට පෙර ලකුණු 40ක් එකතු කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් මෙහි දී පැතුම්ගේ පිත්ත එතරම් සාර්ථක ලෙස ක්‍රියාත්මක වුනේ නැහැ. පැතුම්ගේ ඉනිම ලකුණු 07කට නිමා වන විට, කුසල් මෙන්ඩිස් විසින් පන්දු 19කින් ලකුණු 31ක් ලබා ගනිමින් වේගවත් ආරම්භයක් ඉනිමට ලබා දුන්නා.

කෙසේ වෙතත් මෙන්ඩිස්ගේ ද දැවී යාමෙන් පසුව පිටියට පිවිසි පවන් රත්නායක ද ඉක්මනින් පිටියෙන් ඉවත් කිරීමට කොදෙව්වන් සමත් වීමෙන් පසුව කමිඳු මෙන්ඩිස් සහ අද තරගයට කණ්ඩායම සමඟ එක් වූ කමිල් මිශාර ලකුණු 45ක් ඉනිමට එක් කිරීමට සමත් වුනා.

මෙහි දී කමිඳු හයේ පහර 2ක් ද සමඟ ලකුණු 24ක් ලබමින් පිටියෙන් ඉවත් වූ පසුව කමිල් මිශාර සමඟ දසුන් ශානක පිටියේ එක් වුනේ ශ්‍රී ලංකාවට ස්ථාවර පිතිකරණ සබඳතාවක් මෙන්ම වේගවත් ලකුණු ද අවශ්‍ය වූ මොහොතකයි.

එතැන් පටන් දසුන් සහ කමිල් යුගලය විසින් පන්දු 42ක් පමණක් වැය කරමින් ලකුණු102ක විශිෂ්ට සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූ අතර, මෙහි දී දසුන් විසින් පන්දු 24ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුනේ හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර 4ක් ද සමඟයි.

මේ අතර කමිල් මිශාර පළමුව තරමක් මන්දගාමී පිතිකරණයක නියැලුණාත් පසුව ඉනිමට වේගය එක් කරමින් පන්දු 40කින් ලකුණු 61ක් වාර්තා කිරීමට සමත් වුනේ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟයි.

මේ අනුව ශ්‍රී ලංකාව විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 194ක් වාර්තා කිරීමට සමත් වුනා.

මෙහි දී කොදෙව්වන් වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Shamar Joseph කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

මින් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පිටියට අවතීර්ණ වූ අතර, ඔවුන්ගේ මුල් කඩුලු ද්විත්වය ලකුණු 09ක් තුළ බිඳ දැමීමට දුනිත් වෙල්ලාලගේ සහ දුශ්මන්ත චමීර සමත් වුනා.

කෙසේ වෙතත් එතැනින් පසුව පිටියේ එක් වූ Shimron Hetmyer සහ Rovman Powell විසින් වේගවත් ලකුණු 81ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුනේ තරගයේ ජය කොදෙව්වන් දෙසට හරවමිනුයි.

කෙසේ වෙතත් මේ මොහොතේ ක්‍රියාත්මක වූ පවන් රත්නායක විසින් Hetmyer දුවද්දී දවා ගැනීමට සමත් වූ අතර, මේත් සමඟම තරගය නැවතත් ශ්‍රී ලංකාව දෙසට හැරුණා.

එතැන් සිට කොදෙව් ඉනිමේ ඉතිරි කඩුලු 07ම ලකුණු 67ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මෙහි දී කොදෙව්වන් වෙනුවෙන් Hetmyer ලකුණු 36ක් වාර්තා කරන අතරේ, Rovman Powell ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වුනා.

කොදෙව් ඉනිම බිඳ දැමීමට මූලිකත්වය ගත් වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර කඩුලු 3 බැගින් දවා ගනිද්දී, දුනිත් වෙල්ලාලගේ විසින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකාවට තරගයෙන් ලකුණු 37ක ජයක් හිමි වූ අතර, තරගයේ වීරයා සම්මානය දසුන් ශානක සතු වුනා.

මේ අනුව දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය1-1ක් ලෙස සම මට්ටමට පැමිණි අතර, තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය හෙට (15) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<