මල්ෂ තරුපතිගේ දස්කම් හමුවේ තෝමසුවන් පසුබසියි

19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

270

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල අතර තරගය අද (27) කොළඹ දී ක්‍රියාත්මක වුනා.

මෙය Tier A කාණ්ඩයේ X කොටසේ තරගයක් ලෙස ක්‍රියාත්මක වුනා. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලයේ පළමුව පන්දු රැකීමට තීරණය කළා.

සාන්ත තෝමස් විද්‍යාලයේ ආරම්භක පිතිකරු නායක රොමේෂ් මෙන්ඩිස් ඉනිමේ ආරම්භය සවිමත් කරමින් ලබා ගත් ලකුණු 44 ඉනිමට 4 පහර 5ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ පා දඟපන්දු යවන ක්‍රීඩක මල්ෂ තරුපතිගේ (3/24) පන්දු යැවීම හමුවේ සාන්ත තෝමස් පිතිකරුවන් දැඩි අපහසුතාවයකට ලක්වුණු අතර චාරුක පීරිස් ලකුණු 38ක් ලබාගෙන ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළා. ආකාශ් ප්‍රනාන්දු ලකුණු 24යි.

අවසානයේ දී සාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 46කුත් පන්දු 5ක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 148ක් පමණයි. මල්ෂ දවා ගත් කඩුලු 3ට අමතරව නායක තරින්ද නිර්මාල් සහ මනුජ දුල්නෙත් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ලකුණු 149ක ඉලක්කයක් හඹා ගිය රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු කඩුලු 5 ලකුණු 60ක් තුල දවා ගනිමින් යම් අභියෝගයක් එල්ල කිරීමට රජිඳු තිලකරත්න ඇතුළු සාන්ත තෝමස් පන්දු යවන්නන් සමත් වුවත්, අංක 7 පිතිකරු ලෙස පිටියට පැමිණි මල්ෂ තරුපති පන්දු 51ක් තුල නොදැවී වේගවත් ලකුණු 65*ක් ලබාගෙන දැක්වූ දස්කම් නිසාවෙන් රිච්මන්ඩ් විද්‍යාලයේ අපරාජිත බව තවදුරටත් රැකගන්නට හැකි වුනා.

තරුපතිගේ මේ ඉනිමට 4 පහර 3ක් සහ 6 පහර 5ක් ඇතුළත් වුනා. ජනෙත් කෞෂාල් ලකුණු 23යි.

ඒ අනුව Tier A කාණ්ඩයේ X කොටස යටතේ තරග වදිනු ලබන රිච්මන්ඩ් කණ්ඩායම මේ දක්වා ක්‍රීඩා කර තිබෙන තරග 5න් 5ම ජයගෙන අපරාජිතව සිය කාණ්ඩයේ පෙරමුණ දිනාගෙන සිටින අතර මොරටුව සාන්ත සෙබස්තියන්, වෙස්ලි, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාල පිළිවෙළින් එහි පළමු ස්ථාන 4 දැනට දිනාගෙන සිටිනවා.

  • සාන්ත තෝමස් විද්‍යාලය – 148 (46.5): රොමේෂ් මෙන්ඩිස් 44, චාරුක පීරිස් 38, ආකාශ් ප්‍රනාන්දු 24, මල්ෂ තරුපති 3/41, තරින්ද නිර්මාල් 2/24, මනුජ දුල්නෙත් 2/30.
  • රිච්මන්ඩ් විද්‍යාලය – 151/5 (33.1): මල්ෂ තරුපති 65*, ජනෙත් කෞෂාල් 23, රජිඳු තිලකරත්න 2/35.

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 5ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<