ඔලිම්පික් යන ශ්‍රී ලංකා සංචිතයට COVID-19 එන්නත්

159

මෙරට තුළ නැවත හිස ඔසවමින් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමින්, ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු සියල්ල එම වසංගතයෙන් ආරක්ෂා කරමින් තරගාවලියට සහභාගී කරවීමට ගත හැකි පියවර පිළිබඳව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ අවධානය යොමුව ඇත.

ඒ අනුව ජූලි 23 වැනිදා ආරම්භ වන මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලුම දෙනා හට තරගාවලියට පෙර කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ද්විත්‍යම ලබා දීමට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ගාමිණී ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ දැනටමත් සුදුසුකම් ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සම්පූර්ණ එන්නත් ලබා දීමට අවශ්‍ය පියවරන් සූදානම් කර ඇති බවත්, අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එයට යොමු කිරීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් සිදු කරන බවයි.

එමෙන්ම COVID-19 එන්නත් සිදු කළ බව තහවුරු කරන එම එන්නත් කාඩ්පත නොමැතිව කිසිදු අයෙකුට මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වීමට අවසර ලබා නොදෙන බව ද එතුමා ප්‍රකාශ කළා.

මීට අමතරව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ජපන් COVID-19 සම්බන්ධතා නිලධාරීවරයා ලෙස පත්කළ ආචාර්ය හිමන් ද සිල්වා මහතා හට තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන් ඇතුළු සියල්ල ජපන් සංවිධායකයින් විසින් නිකුත් කළ දැඩි කොරෝනා නීති අනුගමනය කරනවා ද යන්න නිරීක්ෂණය කිරීමේ වගකීම පැවරී ඇත.

එමෙන්ම තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ජපානයට පිටත් වීමට අවම දින තුනකට පෙර PCR පරීක්ෂාවන්ට ලක් කිරීමට නියමිත අතර ජපානයේ දී ඔවුන්ට දින 14ක් නිරෝධායන කාලසීමාවකට යටත් වීමට ද සිදු වේ.

තවත් ක්‍රීඩා පුවත්: 

එම නිරෝධායන කාලසීමාවත් සමඟ ඔවුන් ජෛව ආරක්ෂිත බුබුලකට හැඩ ගැසීමට නියමිත අතර එය තුළින් කණ්ඩායමේ සියල්ලන්ගේම මෙන්ම තරගාවලියේ ආරක්ෂාව ද තහවුරු වේ.

එමෙන්ම මෙවර ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට කටයුතු කිරීම සහ සහයෝගය දැක්වීම පිළිබඳව ජපාන රජයට, එහි වැසියන්ට සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ස්තූතිය පුද කරන බව ද ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණා.

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 23 වැනිදා ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වීමට නියමිතව ඇති නමුත් තවමත් එම තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරමින් සහභාගි වීමේ වරම් දිනා ඇත්තේ අශ්වාරෝහක ඉසව්ව නියෝජනය කරන මැතිල්ඩා කාර්ල්සන් පමණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<