ThePapare Most Popular Schoolboy Cricketer කිරුළ තරිඳු හර්ෂණට

2022 ThePapare Most Popular Schoolboy Cricketer | Powered by The Chance Sports

180

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් The Chance Sports ආයතනයේ ද අනුග්‍රාහකත්වය සහිතව දෙවැනි වරටත් සංවිධානය කරන ලද “2022 ThePapare Most Popular Schoolboy Cricketer” ලෙස කිරුළු පැලඳීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ තරිඳු හර්ෂණ සමත් වුනා.

තර්ස්ටන් විද්‍යාලයේ දක්ෂ ආරම්භක කඩුලු රකින පිතිකරුවෙකු වන 19 හැවිරිදි තරිඳු මනාප 43,786ක දැවැන්ත SMS මනාප ප්‍රමාණයක් ලබා ගනිමින් 2022 ThePapare Most Popular Schoolboy Cricketer ලෙස අභිෂේක ලබා ගන්නා විට, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අශේන් ද සොයිසා දෙවැනි ස්ථානය දිනා ගත්තේ SMS මනාප 31,173ක ප්‍රමාණයක් ලබා ගනිමිනි.

මෙවර තරග වාරයේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කළ මහිත් පෙරේරා SMS මනාප 13,029ක් ලබා ගනිමින් තුන්වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී තරිඳු හර්ෂණ විසින් ඉතාමත් ඉහළ මට්ටමේ කැපී පෙනෙන දස්කම් වාර්තා කරන්නට සමත් වුනා. එහි දී ඔවුන්ගේ කණ්ඩායම නිමා වුනු සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ Tier B කොටසේ අනුශූරතාවය ද දිනා ගත්තා.

2022 ThePapare Most Popular Schoolboy Cricketer හි මූලික වටය පසුගිය අගෝස්තු 22 වැනිදා සවස 4 සිට (ශ්‍රී ලංකා වේලාවෙන්) අගෝස්තු 31 වැනිදා රාත්‍රි 11.59ට අවසන් වුනා. ඒ සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරග රටාවේ 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් කණ්ඩායම් 36න්, එක් පාසලකින් ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් ක්‍රීඩකයින් 108 දෙනෙකු තෝරා ගනු ලැබුවා.

එහි දී අගෝස්තු 31 වැනිදා වන විට ThePapare.com වෙබ් අඩවිය හරහා වැඩිම මනාප දිනාගෙන සිටි ක්‍රීඩකයින් 36 දෙනා දෙවැනි වටය හෙවත් SMS මනාප වටය සඳහා සුදුසුකම් ලබා ගත් අතර ඉන් දින කිහිපයක විරාමයකින් පසුව එනම් සැප්තැම්බර් 2 වැනිදා සිට 16 වැනිදා සවස 5.59 දක්වා මෙහි තීරණාත්මක දෙවැනි වටය ක්‍රියාත්මක වුනා.

2022 ThePapare Most Popular Schoolboy Cricketer ලෙස කිරුළු පැළඳී තරිඳු හර්ෂණ හට The Chance Sports ආයතනය විසින් වටිනා ත්‍යාග රැසක් ලබා දීමට සූදානම් කර තිබෙන අතර දෙවැනි සහ තුන්වැනි ස්ථාන දිනා ගත් ක්‍රීඩකයින් සඳහා ද The Chance Sports ආයතනය විසින් වටිනා තෑගි වවුචර් ලබා දීමට සූදානමින් සිටිනවා.

දෙවැනි වටය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් 36 දෙනා සඳහා SMS මනාප 119,192ක දැවැන්ත ප්‍රමාණයක් ලැබී තිබුණා. ජයග්‍රාහී සියලුම ක්‍රීඩකයින්ගේ අනාගත ක්‍රිකට් සිහින සියල්ල යථාර්ථයක් වන්නට ThePapare.com සුබාශිංසන එකතු කරන්නෙමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<