සාන්ත ජෝසප් අපරාජිත බව ඩාර්ලි පිටියේ දීම බිඳ වැටෙයි

19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

609

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 2022/23 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 8ක් අද (26) ක්‍රියාත්මක වුනා.

එහි දී ත්‍රිත්ව, මාතර සාන්ත තෝමස්, මහනුවර සාන්ත අන්තෝනි, වේල්ස් කුමර, සාන්ත සර්වේසස්, ඉසිපතන, ලුම්බිණි, තර්ස්ටන් යන විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ හිමි කරගත්තා. ඔවුන් හමුවේ පිළිවෙළින් සාන්ත ජෝසප්, සාන්ත ආනා, ගුරුකුල, නාලන්දා, මොරටු මහා විද්‍යාලය, ධර්මාශෝක, ධර්මරාජ සහ දේවපතිරාජ යන කණ්ඩායම් පරාජයට පත්වුනා.

දිනයේ පැවති තරග වලදී වඩාත් අවධායනට ලක්වුනු තරග ප්‍රතිඵලය බවට පත්වුනේ සාන්ත ජෝසප් විද්‍යාලය සිය සත්කාරක ක්‍රීඩාංගණයේ දීම ත්‍රිත්ව විද්‍යාලය හමුවේ පරාජයට පත්වීමයි. එම තරගයේ දී සාන්ත ජෝසප් නායක සදීෂ් ජයවර්ධන අර්ධ ශතකයක් වාර්තා කළ නමුත් ත්‍රිත්ව පිතිකරුවන් කිහිපදෙනෙකුම ලකුණු 30 සීමාව ඉක්මවා යමින් සිය ජයග්‍රහණය තහවුරු කළේ තරග 3ම ජයග්‍රහණය කරමින් අපරාජිතව සිටි ප්‍රබල සාන්ත ජෝසප් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

දිනයේ වාර්තා වුනු එකම ශතකයේ හිමිකරු බවට පත්වුනේ නාලන්දා විද්‍යාලයේ ආරම්භක පිතිකරු රුසිරු විලෝචනයි. පන්දු 162ක දී වාර්තා වුනු ඔහුගේ ඉනිමට 4 පහර 6ක් අන්තර්ගත වුනා. කෙසේ නමුත් ඔහුගේ ශතකයේ නියම වටිනාකම ලබාගෙන තරගය සාර්ථකව අවසන් කරගන්නට නාලන්දා විද්‍යාලයට හැකියාවක් නොලැබුනු අතර වේල්ස් කුමර විද්‍යාලයේ නායක ඔමේෂ් මෙන්ඩිස් සහ තරිඳු අමරසිංහ වාර්තා කරගත් අර්ධ ශතක නිසාවෙන් නාලන්දා විද්‍යාලයට එරෙහිව කඩුලු 5ක ජයක් හිමි කරගන්නට වේල්ස් කුමර විද්‍යාලයට හැකියාව ලැබුනා.

එසේම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ නායක ලහිරු අබේසිංහ පන්දු 28ක් තුළ 4 පහර 3ක් සහ 6 පහර 6ක් එල්ල කරමින් රැස් කරගත් නොදැවුණු වේගවත් ලකුණු 60* නිසාවෙන් ගුරුකුල විද්‍යාලයට එරෙහිව පහසු ජයක් හිමි කරගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලයට අවස්ථාව ලැබුනා.

දිනයේ වාර්තා වුනු පන්දු යැවීමේ දස්කම් සලකා බැලීමේ දී ඉඳුවර ගල්පිටගේ (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය), කවීෂ පියුමාල් (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය), මනුග යොනාල් (මාතර සාන්ත තෝමස් විද්‍යාලය), විරාන් චමුදිත (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය), දුලර බන්දුලසේන (ධර්මරාජ විද්‍යාලය) සහ ඉරුෂික තිමිර (දේවපතිරාජ විද්‍යාලය) යන ක්‍රීඩකයින් කඩුලු 4 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

Tier B කොටසේ X කාණ්ඩය යටතේ පැවැත්වුණු මොරටු මහා විද්‍යාලයට එරෙහි තරගය ද මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 7කින් ජයගනිමින් මේ දක්වා ඔවුන් ක්‍රීඩා කළ තරග 5ම ප්‍රසාද ලකුණු සහිතව ජයගෙන අපරාජිතව සිටින්නේ සම්පූර්ණ ප්‍රසාද ලකුණු 25ක් හිමි කරගෙනයි.

ලකුණු සාරාංශයන්,

සාන්ත ජෝසප් විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය (Tier A – X කාණ්ඩය)

  • කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත ජෝසප් විද්‍යාලය – 197/9 (50):සදීෂ් ජයවර්ධන 78, හිරාන් ජයසුන්දර 30, තීරක රණතුංග 3/36, දිනුක තෙන්නකෝන් 3/39 .

ත්‍රිත්ව විද්‍යාලය – 199/5 (45): ජනිත් රවිෂ්ක 38, මනුල කුලරත්න 37, රහල් අමරසිංහ 35, කවේන් පතිරණ 2/27.

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය (Tier A – X කාණ්ඩය)

  • කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත ආනා විද්‍යාලය – 70 (29.4): මනුග යොනාල් 4/11.

සාන්ත තෝමස් විද්‍යාලය – 73/5 (26.1): ඔචින්ත චාමික 20, මනාන් මුසම්මිල් 3/18.

සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

ගුරුකුල විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය (Tier A – Y කාණ්ඩය)

  • කාසියේ වාසිය – ගුරුකුල විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණය

ගුරුකුල විද්‍යාලය – 131 (49.2): ජනිත ශෙහාන් 24, මොහොමඩ් මුර්ශාඩ් 18, ඉඳුවර ගල්පිටගේ 4/16, කවීෂ පියුමාල් 4/29.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 135/4 (19.2): ලහිරු අබේසිංහ 60*, ජනිත් රත්නසිරි 26.

සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

නාලන්දා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය (Tier A – X කාණ්ඩය)

  • කාසියේ වාසිය – නාලන්දා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය

නාලන්දා විද්‍යාලය – 220/6 (50):රුසිරු විලෝචන 104, මෙශිත් ද සිල්වා 2/37, යුනෙත් පීරිස් 2/57.

වේල්ස් කුමර විද්‍යාලය – 224/5 (46.1): ඔමේෂ් මෙන්ඩිස් 87, තරිඳු අමරසිංහ 56, සුමල්ක ප්‍රනාන්දු 32*, මිනෝද් කල්දේරා 2/26.

වේල්ස් කුමර විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

මොරටු මහා විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය (Tier B – X කාණ්ඩය)

  • කාසියේ වාසිය – මොරටු මහා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – උයන්වත්ත

මොරටු මහා විද්‍යාලය – 79 (37): දෙනෙත් සිතුමිණ 36, විරාන් චමුදිත 4/11, තිසාන් දෙව්මිත් 2/19.

සාන්ත සර්වේසස් විද්‍යාලය – 82/3 (14.3):දෙනුවන් ප්‍රමෝද් 45*, කවිෂ්ක පීරිස් 2/17.

සාන්ත සර්වේසස් විද්‍යාලයට කඩුලු 7ක් ජයක්.

ධර්මාශෝක විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය (Tier B – X කාණ්ඩය)

  • කාසියේ වාසිය – ධර්මාශෝක
  • ක්‍රීඩාංගණය – BRC

ධර්මාශෝක විද්‍යාලය – 108 (30.4):රන්දුල් සමරහේවා 47, යෙසිත් කළුපහන 3/17, සිතුක ගුණවර්ධන 3/18.

ඉසිපතන විද්‍යාලය – 111/7 (27.5):යුනෙත් සෙනෙවිරත්න 36, පැතුම් මලිත 3/39, ඉශාන් අනුරාධ 2/24.

ඉසිපතන විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

ලුම්බිණි විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය (Tier B – Y කාණ්ඩය)

  • කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය 
  • ක්‍රීඩාංගණය – ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණය

ලුම්බිණි විද්‍යාලය – 156 (37): නබීල් රාජුඩීන් 41, සහන් කෞශල්‍ය 25, දුලර බන්දුලසේන 4/15, රුසිරු ශ්‍රී බණ්ඩාර 3/40.

ධර්මරාජ විද්‍යාලය – 94 (27.4):චන්දිම මහගෙදර 24, මලිත් කවිඳු 3/10, පසිඳු මහීෂ 2/17.

ලුම්බිණි විද්‍යාලයට ලකුණු 62ක ජයක්.

තර්ස්ටන් විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය (Tier B – Y කාණ්ඩය)

  • කාසියේ වාසිය – තර්ස්ටන් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – තර්ස්ටන් ක්‍රීඩාංගණය

තර්ස්ටන් විද්‍යාලය – 145 (40): අසීම් මොහොමඩ් 51, කෞශල්‍ය බාලසූරිය 26, ඉරුෂික තිමිර 4/22, පවන් සන්දේශ් 3/17.

දේවපතිරාජ විද්‍යාලය – 93 (31.5):දර්ශක සන්දීප් 33, තේනුක දේවප්‍රිය 3/15, මියුර නවෝද්‍ය 2/09.

තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 52ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<