සාන්ත සර්වේසස් සහ සාන්ත තෝමස් දැවැන්ත ජයග්‍රහණ ලබා ගනී

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය 2022

829
U19 Schools Cricket Tournament 2022/23

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (23) ක්‍රියාත්මක වුනා.

දිනය තුල ක්‍රියාත්මක වුනු තරගවල දී මොරටුව සාන්ත සෙබස්තියන්, ගාල්ල රිච්මන්ඩ්, ගල්කිස්ස සාන්ත තෝමස් සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත් අතර ඔවුන් හමුවේ පිළිවෙළින් කඳාන ද මැසනොඩ්, කුරුණෑගල මලියදේව, කොළඹ ඩී. එස්. සේනානායක සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් යන විද්‍යාල කණ්ඩායම් පරාජයට පත් වුනා.

Tier A කොටසේ Y කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මලියදේව – රිච්මන්ඩ් තරගයේ දී රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කළ මල්ෂ තරුපති සමත් වුනා.

එහි දී ඔහු පන්දු යැවීමෙන් කඩුලු 5ක් සහ පිතිකරණයෙන් නොදැවී ලකුණු 47*ක් ලබාගෙන දස්කම් දැක්වූ අතර අවසානයේ දී රිච්මන්ඩ් විද්‍යාලය ඔවුන් සහභාගී වුනු සිව්වැනි තරගය ද ජය ගත්තේ තවදුරටත් තරගාවලිය තුල අපරාජිතව සිටිමින්. එහි දී මලියදේව විද්‍යාලය වෙනුවෙන් උෂාන් බිම්සර අර්ධ ශතකයක් ලබා ගත්තා.

අවම ලකුණු වාර්තා වුනු නමුත් උණුසුම් තරගයක් පැවති සාන්ත සෙබස්තියන් – ද මැසනොඩ් තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් ලබා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් වුනා. තරග 5කට සහභාගී වී සිටින සාන්ත සෙබස්තියන් විද්‍යාලය මේ වන විට තරග 4ක් ජයගෙන Tier A කොටසේ Y කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවෙනවා.

මහිත් පෙරේරා ලබා ගත් අර්ධ ශතකය සහ රජිඳු තිලකරත්න දැක්වූ පන්දු යැවීමේ දස්කම් නිසාවෙන් ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව ලකුණු 164ක දැවැන්ත ජයක් ලබාගෙන අමතර ප්‍රසාද ලකුණක් සිය කණ්ඩායම වෙනුවෙන් දිනා ගන්නට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත් වුනා.

දිනයේ ක්‍රියාත්මක වුනු එකම Tier B කොටසේ තරගය බවට පත්වුණේ සාන්ත සර්වේසස් සහ සාන්ත සිල්වෙස්ටර් අතර තරගයයි.

මහනුවර ධර්මරාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු එම තරගයෙන් ලකුණු 179ක ජයක් ලබාගෙන මේ දක්වා ක්‍රීඩා කළ තරග 4ම ප්‍රසාද ලකුණු සහිතව ජය ගැනීමට සාන්ත සර්වේසස් විද්‍යාලය සමත් වුනා.

එහි දී චරිත් නෙත්තරු අර්ධ ශතකයක් ලබා ගනිමින් සාන්ත සර්වේසස් ඉනිම සවිමත් කළ අතර සාන්ත සර්වේසස් විද්‍යාලය ද මෙවර තරගාවලියේ දැනට අපරාජිතව සිටින කණ්ඩායම් හතර (සාන්ත ජෝසප්, රිච්මන්ඩ්, සාන්ත සර්වේසස් සහ සාන්ත පීතර) අතරින් එක් කණ්ඩායමක් වෙනවා.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (Tier A – Y කාණ්ඩය)

  • ක්‍රීඩාංගණය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
  • කාසියේ වාසිය – මලියදේව විද්‍යාලය

මලියදේව විද්‍යාලය – 161 (48.2): උෂාන් බිම්සර 72, අමේෂ් තෙන්නකෝන් 36, මල්ෂ තරුපති 5/35, මහීෂ වෙත්මින් 2/19.

රිච්මන්ඩ් විද්‍යාලය – 163/5 (37.2): මල්ෂ තරුපති 47*, තමිඳු ප්‍රදීප්ත 36, තේමිය බණ්ඩාර 2/37

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 5ක ජයක්

කඳාන ද මැසනොඩ් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය (Tier A – Y කාණ්ඩය)

  • ක්‍රීඩාංගණය – ද මැසනොඩ් විද්‍යාල ක්‍රීඩාංගණය
  • කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය

ද මැසනොඩ් විද්‍යාලය – 138 (47.3): නෙශාන් ඩයස් 33, උවිඳු පෙරේරා 27, රයන් දිසානායක 2/05, නදීෂ ප්‍රනාන්දු 2/20, සංදීෂ් ප්‍රනාන්දු 2/35

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 140/8 (39.5): ආලෝක ප්‍රනාන්දු 29, සිතුම් ප්‍රනාන්දු 4/25.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 2ක ජයක්

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය (Tier A – Y කාණ්ඩය)

  • ක්‍රීඩාංගණය – සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණය
  • කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලය – 244/9 (50): මහිත් පෙරේරා 64, රොමේෂ් මෙන්ඩිස් 39, දිනෙත් ගුණවර්ධන 37, පූර්ණ සුලක්ෂණ 4/57.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 80 (28.1): දේශාන් හෙට්ටිගේ 17, රජිඳු තිලකරත්න 4/29

සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 164ක ජයක්

සාන්ත සර්වේසස් විද්‍යාලය සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (Tier B – X කාණ්ඩය)

  • ක්‍රීඩාංගණය – ධර්මරාජ ක්‍රීඩාංගණය
  • කාසියේ වාසිය – සාන්ත සර්වේසස් විද්‍යාලය

සාන්ත සර්වේසස් විද්‍යාලය – 296 (49.2): චරිත් නෙත්තරු 77, කුෂාන් විජේරාම 41, මිතිල මින්සර 40, කවිෂ්ක ඉමේෂ් 3/68

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 117 (37.3): චන්දුප වඩුගේ 27, විරාන් චමුදිත 3/05, චතුම් කුලසේකර 3/29

සාන්ත සර්වේසස් විද්‍යාලයට ලකුණු 179ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<