සංජනා පාකිස්තානයටත් සැරට තලයි

Women’s U 19 T20 Tri-Series in Pakistan 2026

2
Women’s U 19 T20 Tri-Series in Pakistan 2026

නැවත වතාවක් සංජනා කාවින්දි ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඉවහල් වෙනවා. මෙවර ඇය තම ප්‍රහාරය එල්ල කරන්නේ සත්කාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි.

එහි දී ඇය විමෝක්ෂා බාලසූරිය හා එක් ව ශතක සබඳතාවක් ද ගොඩ නගනවා.

ඇය මෙම දක්ෂතාව දක්වන්නේ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ නිමා වූ 6 වැනි තරගයේදීයි.

>>සංජනා නැවතත් බංග්ලාදේශය අමාරුවේ දමයි<<

Faisalabad හී Iqbal ක්‍රීඩාංගණයේ දී (9දා) නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 110ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පන්දු 28ක් ඉතිරි ව තිබිය දී කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.

මෙම තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක් වෙන්නේ පෙර තරගය හා එක් වූ මනුදි නානායක්කාර වෙනුවට උමයංගනා පීරිස් එක් කර ගනිමින්. පාකිස්තාන කණ්ඩායම මෙම තරගය හා එක් වෙන්නේ පෙර ශ්‍රී ලංකාව හා තරගයට එක් වූ Aqsa Habib සහ Mah Noor වෙනුවට Areesha Ansari සහ Barira Saif එක් කර ගනිමින්.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

චමුදි ප්‍රබෝදා (නායිකාව), සංජනා කාවින්දි (කඩුලු රකින්නිය), විමෝක්ෂා බාලසූරිය, ලිමංසා තිලකරත්න, නෙත්මි උපේක්ෂා,  ශෂිනි ගිම්හානි, අසේනි තලගුණේ, උමයංගනා පීරිස්, ප්‍රමුදි මෙත්සරා, දනෝද්‍යා සෙව්මිණි සහ චමෝදි හේරත්.

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

Fizza Fiaz (නායිකාව), Komal Khan (කඩුලු රකින්නිය),, Ravail Farhan, Shahar Bano, Zoofishan Ayyaz, Areesha Ansari, Qamrosh Farhan, Qamrosh Farhan, Memoona Khalid, Rozina Akram, Mahnoor Zeb සහ Barira Saif.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉනිම ආරම්භ කළ Komal Khan සහ Ravail Farhan සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 62ක දී ලකුණු 57ක් එක් කරනවා.

එම ප්‍රහාරය නතර වෙන්නේ Ravail Farhan ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.

Komal Khan ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා.

ඊට අමතර ව Shahar Bano පන්දු 9ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා ගත් අතර අනෙක් සෑම ක්‍රීඩිකාවකගේ ම ඉනිම් තනි ඉලක්කමකට සීමා වුණා.

පාකිස්තාන  ඉනිමේ කඩුලු 5ක් ම දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙද්දී චමෝදි හේරත්, දනෝද්‍යා සෙව්මිණි සහ නෙත්මි උපේක්ෂා කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය එක් ව ආරම්භ කරන ලද අතර ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 89ක දී ලකුණු 108ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව නිමා වෙන්නේ සංජනා කාවින්දි ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා සිටියා. එය ඇය මෙම තරගාවලියේ පිට පිට ලබා ගත් 2 වැනි අර්ධ ශතකයයි.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී විමෝක්ෂා බාලසූරිය පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා සිටි අතර ලිමංසා තිලකරත්න පන්දුවකට පමණක් මුහුණ දෙමින් ලකුණු නොලබා නොදැවී රැඳී සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Mahnoor Zeb සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී 110 (20.0) Komal Khan 54, Ravail Farhan 26

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුල්ලක් දැවී 111 (15.2) සංජනා කාවින්දි 61, විමෝක්ෂා බාලසූරිය නොදැවී 43

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

  • තරගයේ වීරයා – සංජනා කාවින්දි (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 5 වැනි තරගය නැවතත් පාකිස්තානය සමඟින් ඔක්තෝබර් 12 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<