ඉන්දීය කණ්ඩායම් පරාජයට බය කණ්ඩායම් නෙමෙයි – Inzamam-ul-Haq

ශ්‍රී ලංකා - ඉන්දීය තරගාවලිය 2021

1156

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති විස්සයි විස්ස තරගාවලිය අතරතුර ඉන්දීය නායක Shikhar Dhawan සහ ඉන්දීය කණ්ඩායම පෙන්වූ ගුණාංග පිළිබඳව හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක Inzamam-ul-Haq සිය ප්‍රසාදය පලකර තිබෙනවා.

විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් අනතුරුව සිදු කළ පරීක්ෂණයක දී ඉන්දීය ක්‍රීඩක Krunal Pandya හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුනා. ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් කීපදෙනෙකු නිරෝධායනයට යොමු කළ අතර අවසන් තරග දෙක සඳහා පිතිකරුවන් 5 දෙනෙකු පමණක් යොදාගැනීමට සිදුව තිබුණා. මෙවන් තත්ත්වයක් තුල තරගාවලිය අවලංගු කිරීමට හැකියාව තිබියදීත් එසේ නොකර තරගාවලිය ක්‍රීඩා කිරීමට ඔවුන් ගත් තීරණය මෙලෙස Inzamam-ul-Haqගේ ප්‍රසාදයට ලක්ව තිබුණා.

පළමු තරගය සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 8 දෙනෙකු නොමැතිව ඉන්දීය කණ්ඩායම දෙවැනි තරගයට පිවිසි අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය 1–1ක් ලෙස සම කිරීමට සමත් වුනා.

මූලික සංචිතයේ සිටී ක්‍රීඩකයන්ගෙන් අර්ධයක් අහිමි වුවත් ඉන්දීය කණ්ඩායම ධෛර්ය සම්පන්නව මෙම අභියෝගයට මුහුණ දුන් බව Inzamam-ul-Haq සිය නිල YouTube නාලිකාවේ වීඩියෝවක් පලකරමින් ප්‍රකාශ කළා. ඉන්දීය කණ්ඩායමේ මෙම තීරණය ඔවුන්ගේ අධිෂ්ඨානය, ධෛර්යය මෙන්ම ඔවුන්ගේ ශක්තිය ද මනා ලෙස පෙන්වන බව Inzamam-ul-Haq කියා සිටියා.

“මේ කොරෝනා තත්ත්වයත් එක්ක ඉන්දීය කණ්ඩායමට ලොකු බලපෑමක් එල්ල වුනා. ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩකයන් 8 දෙනෙක් ඔවුන්ට අහිමි වුනා. ඔවුන්ට අවස්ථා තිබුණා තරගාවලියෙන් ඉවත් වෙන්න. ඒත් ඔවුන් එහෙම කරේ නැහැ. ඔවුන් දෙවැනි තරගයට මුහුණ දුන්නා. මම හිතන්නේ මේකෙන් පේනවා ඉන්දීය කණ්ඩායම් පරාජයට බය කණ්ඩායමක් නෙවෙයි කියලා. ඔබ පරාජයට බය නැත්නම් ජයග්‍රහණය කොහොම හරි ඔබව හොයාගෙන එනවා. සංචිතයේ අනෙක් ක්‍රීඩකයන් ගැන ඔවුන් විශ්වාස කළා. Bhuvneshwar Kumar අංක 6 ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කරන්න තරම් ඔවුන්ට අභියෝගයක් තිබුණා” Inzamam-ul-Haq පවසා සිටියා.

“ඉන්දීය කණ්ඩායම වර්තමානයේ දී ශක්තිමත් ලෙස ක්‍රීඩා කරන කණ්ඩායමක්. ඒකට ප්‍රධාන හේතුව ඔවුන් මානසිකව ඕනෑම අභියෝගයක් බාරගන්න සූදානම් කණ්ඩායමක්. මේ වෙද්දී එංගලන්තයේ ඉන්න ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් ආබාධවලට ලක්වෙද්දී ඔවුන් ශ්‍රී ලංකාවේ ඉන්න ක්‍රීඩකයන් යවන්න තීරණය කළා. ශ්‍රී ලංකාව එක්ක තිබුණ දෙවැනි විස්සයි විස්ස තරගය ඔවුන් පරාජය වුනේ ලොකු සටනකින් පස්සේ. ඔවුන් ලකුණු 132ක් වාර්තා කළත් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ ඉලක්කය පසුකර ගියේ පන්දු දෙකක් ඉතිරිව තිබිය දී. ඉන්දීය කණ්ඩායම ලොකු තරගයක් දුන්නා.” 

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම එංගලන්ත තරග සංචාරයක් සඳහා එක්ව සිටින අවස්ථාවක දී ඔවුන් ශ්‍රී ලංකා සංචාරය සඳහා ද සහභාගී වීම විශේෂත්වයක්. මෙම එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ හිටපු ඉන්දීය නායක Rahul Dravid. මෙම තරගාවලිය තුල ඔහුගේ කාර්‍යභාරය ද Inzamam-ul-Haqගේ ප්‍රසාදයට ලක්ව තිබුණා. කිසිදු අවස්ථාවක තරගය ගිලිහීමට නොදීමට තරම් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය වර්ධනය කිරීම පිළිබඳව Rahul Dravid හට ස්තූතිවන්ත විය යුතු බව Inzamam-ul-Haqගේ මතයයි.

“මම අනිවාර්යයෙන්ම අගය කරනවා Rahul Dravidගේ කාර්‍යභාරය. ඔහු ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉතාමත් දක්ෂ ලෙස හසුරුවන්න සමත් වුනා. ක්‍රීඩකයන්ගේ තාක්ෂණික අඩුපාඩු නිවැරදි කිරීම වගේම මානසිකත්වයත් ඉහළ නැංවීම ඔහු ඉතාමත් දක්ෂ ලෙස ඉටු කළා. ඒ වගේ මානසිකව ශක්තිමත් ක්‍රීඩකයන් ඉන්න කණ්ඩායමක් පරාජය කරන එක පහසු නැහැ. ජයග්‍රහණය සහ පරාජය ක්‍රීඩාවේ කොටසක්. ඒත් මේ වගේ තත්වයක් එක්ක ක්‍රීඩා කිරීමම ලොකු ජයග්‍රහණයක්” Inzamam-ul-Haq පවසා සිටියා.

Hindustan Times ඇසුරිනි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<