නාලන්දා සහ රිච්මන්ඩ් ජය ලබයි

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

248

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A තවත් තරග දෙකක් ඊයේ (19) ක්‍රියාත්මක වුනා.

එහි දී රිච්මන්ඩ් විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය ජයග්‍රහණ ලබා ගන්නට සමත් වුනා.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය අතර සාන්ත සෙබස්තියන් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී රිච්මන්ඩ් විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 164ක් ලබා ගත්තේ නියමිත පන්දුවාර 50 අවසන් වීමටත් පෙරයි.

එහි දී නායකත්වයේ ඉනිමක් දියත් කළ සංදීෂ් ප්‍රනාන්දු ලකුණු 51ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා. ඔහුගේ ඉනිම 4 පහර 7කින් සහ එක් 6 පහරකින් වර්ණවත් වුනා.

පිළිතුරු ඉනිම දියත් කළ රිච්මන්ඩ් විද්‍යාලයේ නායක තරින්ද නිර්මාල් පන්දු 69ක දී ලබා ගත් නොදැවුණු ලකුණු 59* ඉනිම නිසාවෙන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පරාජය කරමින් පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට රිච්මන්ඩ් විද්‍යාලයට හැකියාව ලැබුණා.

ඒ අනුව රිච්මන්ඩ් විද්‍යාලය තවදුරටත් සිය අපරාජිත බව රැකගනිමින් මෙවර තරගාවලියේ Tier A කොටසේ Y කාණ්ඩයේ පෙරමුණ දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

නිර්මාල්ගේ එම මනරම් ඉනිම 4 පහර 4කින් සහ 6 පහර 4කින් වර්ණවත් වුනා. කවිඳු නිර්මාණ ලකුණු 32යි. පන්දු යැවීමේ දී රිච්මන්ඩ් විද්‍යාලයේ මනුජ දුල්නෙත් ලකුණු 15කට කඩුලු 2ක් දවාගෙන තරගයේ හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්වූවා.

කුරුණෑගල දී පැවැත්වුණු අනෙක් තරගයේ කාසියේ වාසිය දිනූ නාලන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙමින් සියල්ලන්ම දැවී ලකුණු 115ක් ලබා ගත්තා. එහි දී ඔවුන්ගේ එකඳු හෝ පිතිකරුවෙක්ට ලකුණු 20 සීමාව අභිබවා යන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

සාන්ත ආනා විද්‍යාලයේ පන්දු යවන්නන් එල්ල කළ අභියෝගයට නොදෙවෙනි අභියෝගයක් එල්ල කිරීමට සජිත විතානගේ සහ ජනුල ඉඳුසර ඇතුළු නාලන්දා විද්‍යාල පන්දු යවන්නන් ද සමත් වුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස ලකුණු 116ක ඉලක්කයක් හඹා ගිය සාන්ත ආනා ඉනිම ලකුණු 55කට සීමා කිරීමට සමත් වුනු නාලන්දා විද්‍යාලය මේ තරගයෙන් ලකුණු 60ක පහසු ජයක් ලබා ගත්තා.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය (Y කාණ්ඩයේ තරගයක්)

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 164 (44.1): සංදීෂ් ප්‍රනාන්දු 51, මහේන් සිල්වා 29, මනුජ දුල්නෙත් 2/15, නාලක ජයවර්ධන 2/20, මල්ෂ තරුපති 2/30, මහේෂ් වෙත්මින් 2/31.
  • රිච්මන්ඩ් විද්‍යාලය – 166/5 (33.4): තරින්ද නිර්මාල් 59*, කවිඳු නිර්මාණ 32, තමිඳු ප්‍රදීප්ත 27, විමත් දින්සර 2/27.

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 5ක ජයක්

නාලන්දා විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය (X කාණ්ඩයේ තරගයක්)

  • නාලන්දා විද්‍යාලය – 115 (48.2): රුසිරු විලොචන 20, චනුල් අතුකෝරල 19, එරංග ජයකොඩි 18, කෙවින් නානායක්කාර 2/06, කවිඳු බණ්ඩාර 2/21.
  • සාන්ත ආනා විද්‍යාලය – 55 (30.5): මහීම කොටුවිල 20, සජිත විතානගේ 3/06, ජනුල ඉඳුසර 3/15.

නාලන්දා විද්‍යාලයට ලකුණු 60ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<