ලක්වින්ගේ තුන් ඉරියව් දස්කම් ධර්මරාජයට ඉනිමක ජයක් ගෙන දෙයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

204
U19 division 1 schools cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (04) දිනයේ දී අවසන් වුනේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 3ක ජයග්‍රහණයක් හිමි කර දෙමිනුයි. 

කොළඹ සහිරා විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර ඊයේ (03) දිනයේ ආරම්භ වුන මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් සහිරා පිතිකරුවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 92ක් පමණයි. මෙහි දී ධර්මරාජය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලක්වින් අබේසිංහ කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. 

එයට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ආරම්භ කළ ධර්මරාජ විද්‍යාලය ඊයේ (03) දිනය නිමා වන විට කඩුලු 2ක් දැවී ලකුණු 95ක් ලබා සිටියා. 

අද දිනයේ දී ඔවුන් විසින් සිය ඉනිම ලකුණු 245ක් ලබා ගැනීමෙන් පසුව අත්හිටවීමට තීරණය කළ අතර ඒ වන විටත් ධර්මරාජ ඉනිමේ බිඳ වැටී තිබුණේ කඩුලු 5ක් පමණයි. 

ධර්මරාජය වෙනුවෙන් නැවත ක්‍රියාත්මක වූ ලක්වින් අබේසිංහ නොදැවුණු ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර ඉනිම අත්හිටුවන විට ඔහු ලකුණු 117ක් ලබා සිටියා. මීට අමතරව ඉසුරු පන්නල ලකුණු 75ක් ලබා ගනිමින් ධර්මරාජ ඉනිම ශක්තිමත් කළා. 

මින් පසුව සහිරා විද්‍යාලයට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා සටනක නිරත වීමට සිදු වුනත් එය සාක්ෂාත් කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. 

ධර්මරාජය විසින් පළමු ඉනිමේ ලබා ගත් ලකුණු 153ක ඉදිරියට ලකුණු 3ක් මෙපිටින් සිටිය දී සහිරා දෙවන ඉනිම ද නිමා වුනා. මෙහි දී සහිරා දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රොශාන් කරීම් ගේ පිත්තෙන් ලකුණු 38ක් වාර්තා වුනා. 

පන්දු යැවීමෙන් නැවතත් සාර්ථක වූ ලක්වින් අබේසිංහ කඩුලු 3ක් බිඳ හෙළුවා. 

  • කොළඹ සහිරා විද්‍යාලය – 92/10 (31.6) රොශාන් කරීම් 29, ලක්වින් අබේසිංහ 4/21, දක්ශික මනුකල්ප 3/13 & 150/10 (60.1) රොශාන් කරීම් 38, පවන් ජයවර්ධන 30, ලක්වින් අබේසිංහ 3/39, දුලාර බන්දුලසේන 3/56 
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය – 245/5d (84) ලක්වින් අබේසිංහ 117, ඉසුරු පන්නල 75, ඉස්මත් සයාන් 2/76, තරුශ නවෝද්‍ය 2/49 

මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 03ක ජයග්‍රහණයක්. 

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<