පැතුම් සහ අවිශ්කගෙන් අර්ධ ශතක; වනිඳු සහ චමීර නැවතත් රිද්මයට

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

3035

ශ්‍රී ලංකාව සහ පැපුවා නිව් ගිනියාව අතර පැවති දෙවැනි පුහුණු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 39ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. තරගය අද (14) අබුඩාබි හි ටොලෙරන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව එහි දී කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා. මෙහි දී පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතක ලබා ගත් අතර පැතුම් පන්දු 58ක් සඳහා මුහුණ දෙමින් ලකුණු 76ක් ලබා ගත්තේ 4 පහර 6ක් සහ 6 පහර 2ක් එල්ල කරමිනි කරමිනි.

මේ තරගයේ දී පැතුම් සහ ධනංජය ද සිල්වා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි අතර ධනංජය හට සාර්ථකත්වයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණ් නැහැ. ඉන්පසුව චරිත් අසලංක අංක 3 පිතිකරණ ස්ථානයෙන් ක්‍රීඩා කළ අතර එම ස්ථානය ශ්‍රී ලංකාවට තවදුරටත් ගැටලුකාරී පිතිකරණ ස්ථානයක් බවට පත් කරමින් අසලංක ලකුණු 8කට දැවී ගියා.

අනතුරුව අංක 4 ස්ථානය සඳහා ඉතාමත් හොඳ රිද්මයකින් සිටින අවිශ්ක ප්‍රනාන්දු සමඟ එකතු වූ පැතුම් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 103ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිම සඳහා යම් ජීවයක් එකතු කළා.

මේ තරගයේ දී ද අවිශ්ක අර්ධ ශතකයක් ලබා ගත් අතර පන්දු 37ක දී ගොඩනැංවුණු ඔහුගේ ඉනිමට ලකුණු 61ක් ඇතුළත් වුනා. එම ඉනිම සඳහා 4 පහර දෙකක් සහ 6 පහර 4ක් අන්තර්ගත වුනා.

අවිශ්ක සහ පැතුම් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර දෙක තුල දැවී ගිය අතර, ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු කිහිපයක් එක ළඟ බිදී ගියා. භානුක රාජපක්ෂට ද මේ තරගයේ දී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 2ක් පමණයි.

දසුන් ශානක සහ චාමික කරුණාරත්න පිළිවෙළින් නොදැවී ලකුණු 2*ක් සහ ලකුණු 8*ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන Kabua Morea ලකුණු 25කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂ පන්දුකරණයක නිරත වුනා.

ලකුණු 163ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි පැපුවා නිව් ගිනියා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 123ක් පමණයි.

ඔවුන් සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුත් ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඉතාමත් දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කිරීම එයට හේතු වුනා.

එසේම චමීර සහ වනිඳු නැවතත් පන්දු යැවීමෙන් දස්කම් අතරට පැමිණීම ශ්‍රී ලංකාවට ඉදිරි තරගවල දී ඉතාමත් වැදගත් වනු නිසැකයි.

පැපුවා නිව් ගිනියාව වෙනුවෙන් ඔවුන්ගේ අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන නායක Assad Vala පන්දු 44ක දී ලකුණු 51ක් ලබා ගනිමින් දස්කම් අතරට පැමිණි අතර ඔහුගේ එම ඉනිම 4 පහර 2කින් සහ 6 පහර 3කින් වර්ණවත් වුනා.

එසේම ඔවුන්ගේ ආරම්භක පිතිකරු Tony Ura ලකුණු 24ක් ලබා ගත්තා.  Charles Amini ලකුණු 15යි. පන්දු යැවීමේ දී චමීර සහ හසරංග අතරේ කඩුලු 2ක බැගින් බෙදී යද්දී, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ සහ නායක දසුන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකාව – 162/5 (20): පැතුම් නිස්සංක 76, අවිශ්ක ප්‍රනාන්දු 61, Kabua Morea 4/25.

පැපුවා නිව් ගිනියාව – 123/7 (20): Assad Vala 51*,Tony Ura 24, වනිඳු හසරංග 2/16, දුෂ්මන්ත චමීර 2/21.

2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 17 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය 18 වැනිදා නැමීබියාව සමඟ අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි. එහි තරග තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු  වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<