ගණිත කර්ම ගැන ඇෆ්ගනිස්තානය දැනන් හිටියේ නැති ලු!

Asia Cup 2023

3496

“පරිගණක පිටුපස සිටින තරග විශ්ලේෂකයින් යැයි කියා ගන්නා අය, සහය කාර්ය මණ්ඩලය සහ ක්‍රීඩකයින් අතර ඇති සන්නිවේදන දුර්වලතා නිසා Rashid (Khan)ට පණිවිඩය නොලැබීම ගැන දුකයි. ඒ වගේ පොඩි අතපසු වීමකින් ඔබට ආසියානු කුසලානය අහිමි වෙන්න පුළුවන්. මේ මට්ටමේ දී එවැනි වැරදි සිදු කළ නොහැකි.”

2023 ආසියානු කුසලානයේ මූලික වටයේ අවසන් තරගය ලෙස ඊයේ (05) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගයේ අවසන් භාගයේ දී හිටපු ශ්‍රී ලංකා නායක සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරක මාවන් අතපත්තු විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කළේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසින් පෙන්වූ දුර්වල ක්‍රීඩා විලාශය පදනම් කර ගෙනයි.

තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඇෆ්ගනිස්තානය විසින් මෙම තරගය නියත වශයෙන් ම ජයග්‍රහණය කළ යුතුව තිබුණා. නමුත් ඔවුන්ගේ ජයග්‍රහණය පමණක් ඉදිරි වටයට ප්‍රමාණවත් නොවූ අතර ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 292ක ඉලක්කය පන්දුවාර 37 එක් පන්දුවක දී හඹා යා යුතුව ද තිබුණා. එසේ වුවහොත් ශ්‍රී ලංකාවට මීළඟ වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වී යන නිසාම තරගයේ අවසන් පන්දුවාර කිහිපය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.

කෙසේ වෙතත් තරගයේ 37 වැනි පන්දුවාරය නිමා වන විට ඇෆ්ගනිස්තානය කඩුලු 8ක් දැවී ලකුණු 289ක් ලබා සිටි අතර, සියලු දෙනා ම දැන සිටි අයුරින් මීළඟ වටයට පිවිසීමට නම් ඔවුන් තවත් එක් පන්දුවක් තුළ ලකුණු 3ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළ යුතු වුනා. කෙසේ වෙතත් මේ අවස්ථාවේ දී ධනංජය ද සිල්වාගේ පන්දුවකට පහරක් එල්ල කිරීමට යාමේ දී Mujeeb Ur Rahman දැවී යාමත් සමඟ ඔවුන්ගේ 9 වැනි කඩුල්ලත් දැවී ගියා. එමෙන්ම ඔවුන්ට ඉදිරි වටයට පිවිසීම සඳහා ඉලක්කය හඹා යා යුතු පන්දුවාර 37.1 අවස්ථාව ද අහිමි වුනා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඒ මොහොතේ බලාපොරොත්තු බිඳ වැටුණු මුහුණුවරින් යුතුව කනස්සලු වීමට පටන් ගත්තේ සිය ඉදිරි වටයේ බලාපොරොත්තු සියල්ල අහිමි වී ගිය බව සිතමිනුයි. නමුත් ඔවුන්ට තරගාවලියේ ඉදිරි වටය වෙත පිවිසීම සඳහා තවත් අවස්ථා ඉතිරි වී තිබූ බව ඒ මොහොතේ පිටිය තුළ දණින් වැටී සිටි Rashid Khan හෝ ක්‍රීඩාගාරය තුළ සිටි අනෙක් එකඳු ඇෆ්ගන් කණ්ඩායම් සාමාජිකයෙකු හෝ දැන සිටි බවක් පෙනුණේ නැහැ.

“එම ගණනය කිරීම් අපිට කිසිම වෙලාවක දැනුම් දුන්නේ නැහැ. අපිට දැනුම් දුන් එකම දේ තමයි පන්දුවාර 37.1ක දී ජයග්‍රහණය කළ යුතු බව.”

ඇෆ්ගන් ප්‍රධාන පුහුණුකරු Jonathan Trott විසින් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේ පන්දුවාර 37.1 පසු වීමෙන් පසුව හෝ තම කණ්ඩායමට තවත් අවස්ථා ඉතිරි වී තිබූ බව තමන් හෝ කණ්ඩායමේ කිසිවකු දැනුවත් නොවුණු බවයි.

කෙසේ නමුත් ඇෆ්ගනිස්තානය විසින් 37.2 දී 293, 37.3 දී 294, 37.5 දී 295, 38 දී 296ක් සහ 38.1 දී 297 යන එක් අවස්ථාවක් හෝ සම්පූර්ණ කර ගැනීමට සමත් වී නම් ඔවුන්ට ඉදිරි වටයට පිවිසීමට හැකියාව ඉතිරිව තිබුණා.

නමුත් ඒ කිසිවක් පිළිබඳ නොදැන පිටියට පිවිසුණු Fazalhaq Farooqi විසින් ධනංජය විසින්‍ යොමු කළ මීළඟ පන්දු දෙක ම ආරක්ෂාකාරී ලෙස පිළිගත් අතර ඔහු මුහුණ දුන් තෙවැනි පන්දුවෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියේ ශ්‍රී ලංකාවට ඉදිරි වටය වෙත දොර විවර කරමින් සහ නොසිතූ ජයග්‍රහණයක් ද හිමි කර දෙමිනුයි.

“මේ දවස්වල, තාක්ෂණික යුගයක Mujeebගේ දැවී යාමෙන් පසුවත් ඔවුන්ට ඉදිරියට යාමට අවස්ථාව තිබූ බව ඇෆ්ගනිස්තානය නොදැන සිටීම මට විශ්වාස කළ නොහැකි. තුන්වැනි පන්දුවට පහසු ලකුණක් මග හැරුණා.

හදවත බිඳුණා, නමුත් ශ්‍රී ලංකාවට සුබ පැතුම්.”

ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ කණ්ඩායම් සහයකයින් සහ විශ්ලේෂකයින් සේවයෙන් ඉවත් කළ යුතුයි. ඒ තමයි Farooqi සහ Rashid Khan වෙත ලැබිය යුතු මූලික තොරතුරු. ඔවුන් ගැන දුකයි.

ඊයේ රාත්‍රියේ සහ මේ වන විටත් මෙවැනි අදහස් සමාජ මාධ්‍ය පුරාවටම දකින්නට පුළුවන්. ඔවුන් බොහෝ දෙනා ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සිය කනගාටුව පළ කරන අතරේ ම ඔවුන්ගේ දුර්වල තරග විශ්ලේෂණ පිළිබඳ දැඩි ලෙස විවේචනය කරනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මීට වසර 20කට පෙර සම්බන්ධ වූ මේ හා සමාන ම සිදු වීමක් පිළිබඳ ව ද නැවතත් මතකය අවදි වී තිබෙනවා.

“මෙම තරගයේ අවසානයත් 2003 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ වගෙයි.”

2003 ලෝක කුසලානයේ මූලික වටයේ තරගයක දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ Mark Boucher විසින් මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවකට ආරක්ෂාකාරී පහරක් එල්ල කිරීම නිසා ඔවුන්ට තරගාවලියේ ඉදිරි වටයට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි වුනා.

ඒ මොහොත වන විට Duckworth-Lewis න්‍යාය අනුව තරගයේ ලකුණු සම මට්ටමේ පැවති අතර, Boucher විසින් ඉතිරි පන්දුවට එක් ලකුණක් ලබා ගත්තා නම් දකුණු අප්‍රිකාවට තරගය ජයග්‍රහණය කිරීමට හැකියාව තිබුණා.

එදා Boucher සේ ම ඊයේ Farooqi විසින් ද අනවශ්‍ය ලෙස ආරක්ෂාකාරී වීමට ගොස් තමන්ගේ අවාසනාව තමන් විසින් ම ලියා ගත්තා සේ හැඳින්විය හැකියි.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව ඇෆ්ගන් පුහුණුකරු Trott විසින් තරගය පරාජය වීමට එකම හේතුව එය නොවන බවයි සඳහන් කළේ.

“අපි තරගය පරාජය වෙන්න එක හේතුවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. අපිට වඩා හොඳින් ක්‍රීඩා කළ හැකි අංශ තියෙනවා. එය අද (05) තරගයට වගේම බංග්ලාදේශය සමඟ පැවැත්වුණු තරගයටත් අදාළයි.”

සිය පන්දු යැවීමේ අංශයේ දුර්වලතා ඉලක්ක කරමින් Trott එසේ පැවසුවා. කෙසේ වෙතත් අවසානයේ 2023 ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර අතරට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

ඒ අනුව සුපිරි හතර වටයේ දී ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව සහ බංග්ලාදේශය එකිනෙකා හා තරග වැදීමට නියමිතයි.

මෙම තරග වටයේ පළමු තරගය අද (06) පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු තරගය එළඹෙන 09 (සෙනසුරාදා) බංග්ලාදේශය සමඟ පැවැත්වෙනු ඇති.

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Wisden සහ ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<